ප්‍රශ්නයෙ මුල දහනවය | දිනමිණ

ප්‍රශ්නයෙ මුල දහනවය

දුමින්ද සම්පත්
සුදන්ත ලියනගේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

අගමැතිවරයාට සහ අමාත්‍ය මණ්ඩලයට වාරණ නියෝගයක් අධිකරණය විසින් පැනවීමත් සමග එතෙක් රටේ පැවැති දේශපාලන අර්බුදය අලුත් මාවතකට යොමු වී තිබේ. ඊට බලපෑ දේශපාලන ගැටුමට හේතුව, ඉන් රටට ඇතිවන බලපෑම එය විසඳාගන්නා ආකාරය පිළිබඳ කෙරෙන අදහස් දැක්වීමකි.

අග්‍රාමාත්‍යවරයාටත් අමාත්‍ය මණ්ඩලයටත් අධිකරණයෙන් අතුරු තහනමක් ගෙන ඒම ගැන ඔබ මොකද කියන්නෙ?

ජේ.ආර්.ජයවර්ධන මහත්තයගෙ ව්‍යවස්ථාවට කටයුතු කළා නම් මෙවැනි තත්ත්වයක් ඇතිවෙන්නෙ නැහැ. මොකක් හරි හේතුවක් නිසා ඒ ව්‍යවස්ථාවට විවිධ සංශෝධන ගෙනාවා. අපේ රටේ මොන තීන්දුව ගත්තත් ක්‍රියාත්මක කරන්න යද්දි ගැටලු මතුවෙනවා. බහුතරයෙන් අහල අපේ රටේ හුඟක් දේවල් කරන්න අමාරුයි. 19 වැනි සංශෝධනය ගෙනාවෙ පාර්ලිමේන්තුව ශක්තිමත් කරන්න. රට මේ අර්බුදයට තල්ලු කළේත් 19 වෙනි සංශෝධනය. මේ අර්බුදය ඇති කරගත්තෙ පාර්ලිමේන්තුවෙ ඉන්න 225 දෙනාමයි. ඒ නිසා මේක ලිහාගන්න වෙන්නෙත් පාර්ලිමේන්තුව හරහාමයි.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරවන්න පුළුවන් ක්‍රම දෙකකට විතරයි. ඒ අනුව ජනාධිපතිවරයා ව්‍යවස්ථාවට පටහැනිව කටයුතු කර ඇති බවට චෝදනා නැගෙනවා.

ව්‍යවස්ථාව ගෝල්ඩන් රූල් එකක් නෙවෙයි. නීතිය ප්‍රායෝගික නැත්නම් වෙනස් කරගන්න පුළුවන් වෙන්න ඕන. 19 වැනි සංශෝධනයත් පාර්ලිමේන්තුවෙ කීප දෙනෙක් එකතුවෙලා හදපු අශිෂ්ට සම්පන්න එකක්. ඔබ ඔය කියන වගන්තිය නිසා තමයි අද මේ අර්බුදය ඇති වුණේ. 19 වැනි ව්‍යවස්ථාවෙ පළමු ලියවිල්ලෙ තියෙන්නෙ අවුරුදු තුනකට පස්සෙ ජනාධිපතිට පාර්ලිමේන්තුව විසුරුවන්න පුළුවන් කියල. මේ වසර තුන වසර 4 ½ ට වැඩි වුණේ කොහොමද කියලා පාර්ලිමේන්තුවෙ ඉන්න අයවත් දන්නෙ නැහැ. ආංශික කාරක සභාවෙදි ගොඩක් පනත් එක්සත් ජාතික පෙරමුණට ඕන විදියට වෙනස් කර ගන්නවා. ව්‍යවස්ථාව හරියට බැලුවොත් ජනාධිපතිවරයා ඍජුව ජනතාවට වගකියන කෙනෙක්. ඒ නිසා ජනතා පරමාධිපත්‍ය රැකීම ජනාධිපතිගෙ වගකීමක්. අධිකරණයට විතරයි ව්‍යවස්ථාව අර්ථ දක්වන්න පුළුවන්. අපි බලමු මොකද වෙන්නෙ කියල.

පාර්ලිමේන්තුවෙන් මේ ප්‍රශ්නය විසඳාගන්න ඕන කියල ඔබ කිව්වට එක කණ්ඩායමක් දැනටමත් පාර්ලිමේන්තු යන්නෙ නැහැ.

කතානායකවරයා මේ ප්‍රශ්නයට ඍජුව වගකියන්න ඕන. එතුමාගෙ ක්‍රියාකලාපය ගැන අපිට ගැටලු තියෙනවා. පෙබරවාරි 10 පළාත් පාලන ඡන්දයෙන් පස්සෙ විපක්ෂනායක ධුරය වෙනස් විය යුතුයි කියල මම කිව්වා. කතානායක ප්‍රජාතන්ත්‍රවාදී නම් ඒකාබද්ධයට විපක්ෂ නායකකම දෙන්න තිබුණා. ඒත් තාක්ෂණික ගැටලු ගැන කියමින් ඒ අවස්ථාව දුන්නේ නැහැ. අගමැතිටයි අමාත්‍ය මණ්ඩලයටයි අතුරු තහනමක් දුන්න නම්, සක්‍රීය පාර්ලිමේන්තුවක් තියෙන්න බැරි වුණත්, පාර්ලිමේන්තුව රැස් වුණා. ඒක ව්‍යවස්ථාවටත් , නීතියටත් විරුද්ධයි.

විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය අතර මේ ගැටුම රටට කොහොමද බලපාන්නෙ?

අධිකරණය කොයි තීන්දුව දුන්නත් රටේ ඇතිවෙලා තියෙන තත්ත්වය ඉතාම නරකයි. අපි යමක් හිතේ තියාගෙන ලියවිල්ලක් ලියනවා. හැබැයි ඒ ලියවිල්ලෙ අපේ හිතේ තියෙන දේ නෙවෙයි ලියවිල තියෙන්නෙ. 19 වෙනි සංශෝධනයට වුණෙත් ඒකයි. 19 වෙනි සංශෝධනය තියාගෙන ඉදිරියට යන්න බැහැ. සමහරු කියනවා කෙටිකාලීන විසඳුම මහ මැතිවරණයක් කියලා. ඒකෙන් පමණක් මේ ගැටලු විස‍ඳෙන්නෙ නැහැ. 19 තියෙන ගැටලු හදාගෙන මහ මැතිවරණයකට යනවනම් තමයි හොඳ.නැත්නම් මහ මැතිවරණයකින් හදාගන්න අලුත් පාර්ලිමේන්තුවෙත් මේ ගැටලුවම හැදෙන්න පුළුවන්. මේ වෙලාවෙ බලය නෙවෙයි රට ගැන හිතල සියලු පාර්ශ්ව එකතුවෙලා මේ ගැටලුව විසඳගන්න අවශ්‍යයි.

අගමැතිවරයෙක්, කැබිනට් මණ්ඩලයක් නැතිව රටක් ගෙනියන්න පුළුවන් ද?

ජනාධිපතිතුමයි අමාත්‍යංශ ලේකම්වරුයි හිටියනම් මේ රටට ඇති. පාර්ලිමේන්තුවෙ 225 දෙනාම නාඩගමක් නටන්නෙ. මේ තත්ත්වය ගැන හරියට කතා කරන්නෙ මන්ත්‍රීවරු කිහිප දෙනෙක් විතරයි. මඩ ගහගන්නව ඇරෙන්න අර්බුදයෙන් රට ගොඩගන්නෙ කොහොමද කියල උගතුන් වැඩිම ප්‍රමාණයක් ඉන්න ජනතා විමුක්ති පෙරමුණ් පවා හරි විසඳුමක් නැහැ.

දැන් මිනිස්සු කියන්නෙ පාර්ලිමේන්තුවට කරන වියදම නාස්තියක් කියල?

සම්පූර්ණ ඇත්ත! මේ රටට පළාත් සභා අවශ්‍යත් නැහැ. පළාත් පාලන ආයතන ටිකයි ජනාධිපතිතුමයි හිටියම ඇතියි කියන තත්ත්වයට ජනතාව පත්වෙලා. මේ අය හරියට යුද්ධයක් කරනව වගේ කවුරුවත් නම්‍යශීලි නැහැ. රටකට මෙහෙම යන්න බැහැ.

දේශපාලන අර්බුදය විසඳන්න ‍ඔබේ යෝජනා මොනවද?

කථානායක, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පෙරමුණ, ශ්‍රී ලංකා පොදු‍ජන පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ එක මේසයකට එන්න ඕන. රට ගැන හිතල වෙනස්කම් කරගෙන එක මතයක් හදාගන්න ඕන. ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න පාර්ලිමේන්තුවෙ 225 දෙනාම හවුල්. මේ අය මේ ගැන සාකච්ඡා කරන්න ඕන. රට අරාජික වෙලා තියෙන වෙලාවක ආගමික නායකයන් වහාම මැදිහත් වෙන්න ඕන. පන්සලට ආවම පිරිත් නූල් බඳින එක නවත්තල සියලුම ආගමික නායකයන්ගෙ මතය රටට කියන්න ඕන. විද්වතුන් ඔවුන්ගෙ පාර්ශ්වය වෙනුවෙන් කරුණු කියනව විතරයි. නීති විශාරදයො පවා එහෙමයි. මේ ගැටුම ඇතිවෙන්නෙ 2015 ජනවාරිවලින් පස්සෙ. 19 වෙනි සංශෝධනයත් එක්ක ආපු ගැටලුවට එකම විසඳුම 20 වැනි සංශෝධනය කරල හරි 19 යෙ වැරදි හදන එකයි. ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරන්න ගෙනාපු 19න් ප්‍රජාතන්ත්‍රවාදය නැති වුණා.


ජනපතිවරණයකට යන්න ඕන
- ටෙරන්ස් පුරසිංහ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

අගමැති හා ඇමැති මණ්ඩලයට අභියාචනාධිකරණය මඟින් අතුරු තහනම් නියෝගයක් පැනවීම නිසා රටේ ඇතිවිය හැකි තත්ත්වය ගැන ඔබ මොකද කියන්නෙ?

මේ නියෝගයත් සමඟම අගමැති හා කැබිනට් මණ්ඩලය පත්කිරීම නීතිවිරෝධී බව තහවුරු වුණා. ඒ අයට උසාවිය හමුවේ වගඋත්තර දෙන්නත් එන්න කිව්වා. අධිකරණය ඉතාම පැහැදිලිව මේ තත්ත්වය වටහාගෙන තියෙනවා. ආණ්ඩුව පාර්ලිමේන්තුවේදී තුන්වතාවක් පැරදුනා. ඒ අයගෙ කටයුතු නීති විරෝධියි.

මේ දීල තියෙන්නෙ අතුරු තහනම් නියෝගයක් විතරයි?

අතුරු තහනමක් කියන්නෙ අත්හිටුවීමක්. පක්ෂයක ‍සාමාජිකයෙක් අයින් කළොත් අධිකරණයෙන් අතුරු තහනමක් ගත්තම පක්ෂ සාමාජිකත්වය අහෝසි කරන්න බැහැ. මෙතන වෙලා තියෙන්නෙ අගමැතිට හා කැබිනට් මණ්ඩලයෙ ධූර දැරීම නැවතීම.

මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස පත්කරන්න බැරි වුණත් හිටපු අමාත්‍ය මණ්ඩලය නැවත පත්කළ හැකි බවට තර්කයක් තියෙනවා. ඒ ගැන ඔබ මොකද කියන්නෙ.

ඇමැති මණ්ඩලයටත් එක්කම තමයි අතුරු තහනම දුන්නෙ. වෙනත් අය ඇමැති මණ්ඩලයට පත්කරන්න පුළුවන්. හිටපු 49ටම වාරණය ක්‍රියාත්මකයි.

ඇමැති මණ්ඩලයක් නැතිව රාජ්‍යයකට යන්න පුළුවන්ද?

ජනාධිපති ක්‍රමය තුළ ඇමැති මණ්ඩලයක් නැතිව රට ගෙනියන්න පුළුවන්. ජේ.ආර්. ජයවර්ධන මහත්තය මේ ක්‍රමය හැදුවෙත් ඒකටනෙ. අමාත්‍යාංශ ලේකම්වරු හරහා ජනාධිපතිවරයාට අමාත්‍යාංශ වැඩකරගෙන යන්න පුළුවන්. ඒත් දේශපාලන අර්බුදයක් තියෙන අවස්ථාවක ජනාධිපතිවරයාට එසේ කිරීම අපහසුයි. රාජ්‍ය සේවය සමබරව පවත්වා ගැනීම ගැටලුවක්. ඒත් නීතිමය බාධාවක් ජනාධිපතිට නැහැ.

ඔබ ඔය කියන කතාවට අනුව විශාල වියදමක් දරමින් මෙතරම් ලොකු කැබිනට් මණ්ඩලයක් නඩත්තු කිරීම අපරාධයක් නේද?

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අහෝසි කරන්න කියල අපි වසර ගණනාවක ඉඳල කියන්නෙ ඒක තමයි. අවශ්‍යනම් තනිපුද්ගල පාලනයක් ගෙනියන්න ජනාධිපතිට පුළුවන්. ඒක ව්‍යවස්ථානුකූල ඒකාධිපතිවාදයක්.

සමහරු කියන්නෙ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය නිසයි මේ අර්බුද සියල්ල ඇතිවෙන්නෙ කියල.

19වැනි සංශෝධනයෙ නීතිමය හිඩැස් තියෙනවා. මේක සම්මත කළේ හදිසියේ. ජනාධිපති ධූරයේ බලතල සීමාකරන්න, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාටමයි අවශ්‍ය වුණේ අවුරුදු 4 ½ ක් යනකම් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය මට දෙන්න එපා කිව්වෙ ජනාධිපතිතුමාමයි. අගමැතිවරයව ඕනම ‍වේලාවක ඉවත්කිරීමේ බලය මට එපා. ඒක පාර්ලිමේන්තුවට දෙන්න කිව්වෙත් ජනාධිපතිතුමාමයි. ඒ කිව්වෙ පාර්ලිමේන්තුව හෑල්ලුවට ලක්වෙන හින්දයි.

ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීමේ අයිතිය තියෙන්නෙ ශ්‍රේෂ්ඨාධිකරණයට. අභියාචනාධිකරණ තීන්දුව පිළිගන්නෙ නැහැ කියල ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් යොමුකරල තියෙනවා?

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධ නඩුව ඉතා හදිසි එකක්. ශ්‍රේෂ්ඨාධිකරණයට ගියේ ඒකයි. පෙත්සම් විභාග කිරීමේ බලය අභියාචනාධිකරණයට තියෙනවා කියන පදනම මතයි අගමැතිටයි කැබිනට් මණ්ඩලයටයි විරුද්ධව අභියාචනාධිකරණයට ගියේ අවසාන බලය ශ්‍රේෂ්ඨාධිකරණය සතුයි. අභියාචනාධිකරණය දෙන නඩු තීන්දුව සැලකිල්ලට අරගෙන තමයි ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව දෙන්නෙ. ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා කියල අභියාචනාධිකරණ තීන්දුව වැරදියි කියල අර්ථකථන දෙන්න බැහැ.

පවතින තත්ත්වය තුළ පාර්ලිමේන්තුවේ කටයුතුවලට මොකද වෙන්නෙ?

පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් නැහැ. පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්නුවනෙ. දැන් තියෙන්නෙ ජනාධිපතිගෙ ප්‍රශ්නයක්. ලංකාවට දැන් ඕන ජනාධිපතිවරණයක්. පාර්ලිමේන්තුවෙ බහුතරය නැත්නම් තමයි පාර්ලිමේන්තු මැතිවරණයකට යන්න ඕන. 123ක බහුතරයක් තියෙනවා. ඔක්තෝබර් මාසෙ 26 වෙනිදත් පනත් සම්මත වුණා. එතන අර්බුදයක් තිබුණෙ නැහැ. මේක කෘත්‍රිමව ඇතිකරපු අර්බුදයක්. ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කළා. ව්‍යවස්ථාවට විරුද්ධව පාර්ලිමේන්තුව විසුරුවා හැරිය අගමැති, ඇමැති මණ්ඩලය ඉවත්කළා. ජනාධිපති ගැන විශ්වාසය සම්පූර්ණයෙන් නැතිවෙලා. 2015 ජනාධිපතිගෙ විරුද්ධ වාදියා නැවත කරළියට ගෙනත් ලක්ෂ 62ක ජනවරම පාවා දුන්නා. ලබන ජනවාරි 08 වෙනිදායින් පස්සෙ ජනාධිපතිවරණයකට යන්න පුළුවන්.

මේ දේශපාලන අර්බුදය විසඳගන්න ඔබේ යෝජනා මොනවද?

ජනාධිපතිවරණයකට යන්න ඕන අලුත් ජනාධිපති කෙනෙක් පත්කරගෙන මේ පාර්ලිමේන්තුව ඉදිරියට යන්න ඕන ව්‍යවස්ථානුකූලව. මේ පාර්ලිමේන්තුවට කල්තියෙනවා. බහුතරයත් තියෙනවා. අර්බුදයකුත් නැහැ. කාලයත් තවම ඉවර නැහැ. ජනාධිපතිවරයගෙ අසමත්කමට පාර්ලිමේන්තුව පළි නැහැ.

නව අදහස දක්වන්න