අපතේ යන සාගර සම්පත | දිනමිණ

අපතේ යන සාගර සම්පත

බුද්ධිකා බ්‍රාහ්මණ‍ගේ

මෙරට ජනාවාස වූ ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට පැවත එන කර්මාන්තයකි ධීවර කර්මාන්තය. එසේම අපගේ ආහාර වංශ කතාවේ ඉහළින් පවතින ආහාරය ලෙස මත්ස්‍ය පරිභෝජනය හඳුනාගත හැකිය. වසර දහස් ගණනක් පුරා ආහාර සංස්කෘතිය ගලාගෙන විවිධ හැඩයන් ගත්තද ධීවර කර්මාන්තය හා බැඳී දියුණුවිය යුතු නව කර්මාන්ත දියුණු නොවිණි. ඒ හේතුවෙන් වසරකට ඩොලර් බිලියන 65 ක් පමණ මුදලක් ‘ටින්මාළු’ සඳහා රටින් පිටතට ඇදීයෑම කනගාටුදායක කරුණක් බවට පත්වී තිබෙන්නේ කරුණු ගණනාවක් නිසාවෙනි.

වර්ග කිලෝමීටර් 65610 විශාල රටක් වන අප රට වටා සාගරය එය මෙන් 9 ගුණයක් විශාලය. එසේම දෙවුන්දර තුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා පිහිටා තිබෙන ස්වභාවික ධීවර වරායන් විශාල ගණනකි. මසුන් බහුල ධීවර බිම් සියගණනකට වඩා වැඩිය. මේ ස්වභාවයෙන් ලද සාගර සම්පත රටේ සංවර්ධනය මෙන්ම මහජනතාවගේ පෝෂණ අවශ්‍යතා වෙනුවෙන් පරිභෝජන ‍නොවීම කනගාටුදායක වන්නේ මෙරට දිනක පරිභෝජන වන මාළු ටින් එක්ලක්ෂ හැත්තෑපන් දහසක ප්‍රමාණයෙන් සියයට 80 ක් පමණම ආනයනික ටින්මාළු වන නිසාවෙනි.

මෙරට පිහිටි ටින්මාළු කර්මාන්තශාලා ප්‍රමාණය 3 කි. ඉන් 100% දේශීය ආයෝජනය වන්නේ ටෙස් ගෲප් සමූහ ව්‍යාපාරයයි. එහි සභාපති ශිරාන් ප්‍රනාන්දු මහතා දේශීය ටින්මාළු කර්මාන්තය පිළිබඳ පවසන්නේ මෙසේය.

අපි ‍ෙම් කර්මාන්තශාලාව ආරම්භ කළේ රුපියල් බිලියනයකට වැඩි මුදලක් ආයෝජනය කිරීමෙන්. ඊට පෙර අපගේ ප්‍රමුඛතම ආදායම් මාර්ගය වූයේ ‘ටූනා’ අපනයනය සහ ධීවරයින් සඳහා ශීත කාමර ගබඩා පහසුකම් අයිස් සැපයීම ආදියයි.

රටපුරා විසිරී සිටින කුඩා ධීවරයින‍්ගේ ජීවන තත්ත්වය දියුණු වීමට නම් ඔවුන්ට හොඳ මිලක් ලැබිය යුතුයි. අපි ‘ටින්මාළු’ කර්මාන්ත ශාලාව ආරම්භ කළේ එවැනි ධීවරයින්ට සේවය කිරීමේ අදහසින්. ඒ අනුව ‘ලින්නා’ මාළු ලබාදෙන දකුණේ මෙන්ම නැගෙනහිර පළාතේ ධීවරයින්ගේ මාළු සඳහා අපගේ කර්මාන්ත ශාලාව නිසා හොඳ ඉල්ලුමක් ඇතිවුණා. එසේ නොවී නම් ඔවුන්ට ඉතා අඩු මුදලකට මේ මාළු කරවල සඳහා ලබාදීමට සිදුවෙනවා. වසරකට අපගේ ආයතනය පමණක් ඔවුන්ගෙන් මිලදී ගන්නා මාළු ප්‍රමාණය කිලෝ මිලියනයක් පමණ වෙනවා.

නමුත් අපගේ නිෂ්පාදන වෙළෙඳ පොළේ ඇති ආනයනික ටින්මාළු සමඟ තරග කිරීමේදී පසුබෑමට ලක්වෙනවා. ඊට හේතුව තත්ත්වය හෝ ගුණාත්මකබව නොවේ. මිලයි.

ආනයනික ටින් මාළු සඳහා රජය විසින් අය කළ බද්ද 102 සිට 50 දක්වා අඩු කිරීමෙන් අපගේ කර්මාන්තශාලා පවත්වාගත නොහැකි තත්ත්වයකට පත්වී තිබෙනවා. බදු අඩුකිරීම නිසා ටින් මාළු මිල අඩුවීම පාරිභෝගිකයාට වාසියක්. රජය පැවසුවේ එවැනි තීරණයක් ගැනීමට හේතුව ප්‍රෝටීන් ඌනතාව අවමකිරීම සඳහා වන පිළියමක් බවයි.

නමුත් ආනයනික ටින්මාළු මිලට අපගේ ටින්මාළු ලබාදීමේ ගැටලුව ඇතිවන්නේ නිෂ්පාදන වියදම හා විකුණුම් මිල අතර ඇති පරතරයයි. මේ පිළිබඳව රජයට දැන්වීමෙන් අනතුරුව ආනයනික ටින්මාළු වෙතින් අයකරන බදු මුදලින් යම් මුදලක් වැයකොට අපගේ නිෂ්පාදන සඳහා සතොස හරහා අලෙවි වන ටින් එකක් රුපියල් 20 බැගින් සහන මුදලක් ලබාදීමට වෙළෙඳ අමාත්‍යාංශය පොරොන්දුවක් ලබාදුන්නා. මේ අනුව වෙළෙඳ අමාත්‍යවරයා විසින් අප වෙත ලබාදිය යුතු මුදල් ප්‍රමාණය රුපියල් මිලියන 26 ක් වෙනවා. මේ මුදල් ලබාගැනීමට අප සමාගමේ ලේකම් කමල් අද්දරආරච්චි මහතා වෙළෙඳ අමාත්‍යාංශය වෙත ගොස් තිබෙනවා. නමුත් පොරොන්දු වූ මුදල් තාමත් නොලැබීමෙන් කර්මාන්ත ලෙස අප පත්වී සිටින්නේ අසීරු තත්ත්වයකටය” ශිරාන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පැවැසීය.

මෙරට පොදු ජනතාවගේ ප්‍රෝටීන් ඌනතාව පිළිබඳ කතිකාව මෙන්ම ටින්මාළු සහන මිලකට ලබාගැනීම අත්‍යවශ්‍ය කාරණයක් වෙයි. එසේම ධීවර කර්මාන්තය නියැලී සිටින විසිපන්දහසක පමණ ජනතාවගේ මෙන්ම මෙම කර්මාන්තයේ නියැලී දැල්, ධීවර යාත්‍රා, ටින් නිෂ්පාදනය වැනි අවශේෂ කර්මාන්තවල පැවැත්මද වැදගත් සාධකයකි.

ටින් මාළු කර්මාන්තයේ නියැලි සංගම් එකතුව පවසන්නේ මෙරට ටින්මාළු අවශ්‍යතාව 75% ඔවුන්ට සැපයිය හැකි බවයි. එමෙන්ම ඔවුන්ගේ නිෂ්පාදන වැඩි කිරීමට අවස්ථාව ලබාදෙනවා නම් ඉදිරියේදී මිලද අඩු කළ හැකි බවයි. එපමණක් නොවේ මෙරට ටින්මාළු කර්මාන්ත සඳහා උනන්දුව දක්වන විදෙස් ආයෝජකයන් ඒ සඳහා පසුබෑමට හේතු බවට පත්වී ඇත්තේද වෙළෙඳපොළෙහි පවතින අසමතුලිත බවයි. කෙටිකාලීන විසඳුම් මෙන්ම කර්මාන්ත වශයෙන් මෙරට ධීවර කර්මාන්තයේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් දීර්ඝකාලීන වැඩපිළිවෙළක අවශ්‍යතාව මතුවෙමින් පවතී. GSP සහන මත මාළු අපනයන ආදායම ඉහළ ගියද ටින්මාළු හේතුවෙන් රටින් පිටතට ඇදී යන මුදල් ක්‍රමානුකූලව හෝ අඩුකිරීමට මඟක් තිබීම අත්‍යවශ්‍ය වේ. එපමණක් නොවේ මෙරට ටින්මාළු කර්මාන්තය දියුණුකොට අපනයන තත්ත්වය එය ඉහළ දැමීමට කටයුතු කිරීමට ඇති බාධා හඳුනාගෙන ඒවා ක්‍රමානුකූලව මඟහරවා ගැනීම ජාතික අවශ්‍යතාවක් බවට පත්වී තිබේ.

ධීවර කර්මාන්තයේ නියැලී සිටින පිරිස සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජාතීන්ය. එසේම උතුරු නැගෙනහිර මෙන්ම දකුණේ ජීවන තත්ත්වය දියුණු කිරීමේදී මෙම කර්මාන්තය ප්‍රමුඛම එකකි.

මෙරටට ටින්මාළු ආනයනය කිරීමෙන් ආදායම් උපයන්නේ පුද්ගලයන් කීපදෙනෙකි. මෙමඟින් මෙරට මුදල් ඇදී යන ප්‍රමුඛතම රට චීනය වන අතර තායිලන්තය, චිලී දූපත්ද ඒ අතර වෙයි.

මෙම වසරේ මුල්භාගයේදී මෙලෙස ආනයනය කළ ටින්මාළු කන්ටේනර් 54 සීල් තැබීමට රේගුව කටයුතු කළේ පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ පැවතීම නිසාය.

ආනයනය කරන ටින්මාළුවල අලවා ඇති සිංහලෙන් මුද්‍රණය කරන ලද දවටනය පවා මුද්‍රණය කරනුයේ චීනයේය. එබැවින් ටින්මාළු ආනයනය නිසා මෙරට කිසිදු අවශේෂ කර්මාන්තයකට ඉන් ඉඩක් නොමැතිවීම සැලකිලිමත් විය යුතු කරුණු අතර වෙයි.

තායිලන්තයේ පවතින්නේ අප රටට වඩා අටගුණයකින් කුඩා මුහුදකි. නමුත් ලෝකයේ හතරවැනියට විශාලතම ටින්මාළු නිෂ්පාදකයා වන්නේ තායිලන්තයයි. ස්වභාවදහමෙන් උරුම වූ සාගර සම්පත නිසිපරිදි ප්‍රයෝජනයට නොගෙන දේශීය කර්මාන්ත දියුණු කිරීමට කිසිදු වැඩපිළිවෙළක් නොමැති බව සැබවින්ම කනගාටුවට හේතුවකි. විරැකියාව, දුප්පත්කම, මන්දපෝෂණය, නූගත්කම පිළිවෙළින් ඇතිවන සමාජ තත්ත්වයන්ය. මේ චක්‍රයෙන් මිදීමට දිගුකාලීන දැක්මක් මෙන්ම ක්‍රමවේදයක අවශ්‍යතාව දැඩිය. ආර්ථික විද්‍යාවේදී මේ සඳහා භාවිත ක්‍රමය වන්නේ ආනයන දුර්වල කර දේශීය නිෂ්පාදනයන්ට දිරිදීමයි. මෙරට ටින්මාළු කර්මාන්තය ආරක්ෂා කිරීම යනු ධීවර කර්මාන්තයේ සුරක්ෂිත බවයි. ඒ සඳහා පැලැස්තර දැමීමට වඩා වැදගත් වන්නේ ජාතික ප්‍රතිපත්තියක් සැකසීමයි.


නව අදහස දක්වන්න