මහ මැතිවරණයක් ඉල්ලූ ලක්ෂ පනහේ පෙත්සම බාර දෙයි | දිනමිණ

මහ මැතිවරණයක් ඉල්ලූ ලක්ෂ පනහේ පෙත්සම බාර දෙයි

ශ්‍රී ලංකාවේ ජනමතයට ගරු කරමින් වහාම මහ මැතිවරණයක් පැවැත්විය යුතු බවට බලකරන අස්සන් ලක්ෂ පනහේ (5,000,000) පෙත්සම මහින්ද රාජපක්ෂ මහතා වෙත ඊයේ (6) බාරදුන්නේය.

මහා මැතිවරණයක් පැවැත්විය යුතු බවට බලකරමින් රට පුරා අස්සන් ලක්ෂ පනහක් ලබාගැනීමේ දීප ව්‍යාප්ත වැඩසටහන පැවිදි හඬ සංවිධානය සහ කාන්තා හඬ සංවිධානය එක්ව ආරම්භකර තිබෙන අතර, එම පෙත්සම සංකේතාත්මකව මහින්ද රාජපක්ෂ මහතාවෙත බාරදීම පැවිදි හඬ සංවිධානයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් අතින් නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ දී සිදුවිය.

දේශපාලන අස්ථාවර බවක් නිර්මාණය වී තිබෙන ශ්‍රී ලංකාව යළිත් ස්ථාවර කරමින් මහා මැතිවරණයක් පැවැත්වීම සහ ප්‍රජාතාන්ත්‍රික වශයෙන් යහපත් තත්ත්වයක් නිර්මාණය කිරීමත් අරමුණු කරගෙන අස්සන් ලක්ෂ පනහේ දීප ව්‍යාප්ත වැඩසටහන මේ වනවිට ක්‍රියාත්මක වෙයි.

මෙහිදී මාධ්‍ය වෙත අදහස් පළ කළ පැවිදි හඬ සංවිධානයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ- මේ රටේ තිස් අවුරුදු යුද්ධයක් තිබුණා. ඒ යුද්ධය සමතයකට පත්කර අපි හැමකෙනෙකුටම ස්වාධීනව කටයුතු කරන්න අවස්ථාව ලබාදුන්නේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා කියන එක මේ රටේ සියලු දෙනාම දන්නවා. නමුත් මේ රටේ 2015 වසරේ අපේක්ෂා කළේ යම් යම් අයගේ බොරු මත ප්‍රකාශයන්ට අනුව මේ රටේ වෙනසක් කරන්න ඕනේ කියන බලාපොරොත්තුව කොටසකට තිබුණා. ඇත්තෙන්ම ඒ වෙනස හොඳට දැන් සිදුව තිබෙනවා. සුවදායී, සැපදායී වෙනසක් දැන් සිදුව තිබෙනවා. එසේ නම් අපිට අද සිදුව තිබෙනවා එදා කළ වෙනස වෙනස් කරන්න. අද මේ රට අරාජික තත්ත්වයට පත්ව තිබෙනවා. අගමැතිවරයෙක් නැති අමාත්‍ය මණ්ඩලයක් නැති තත්ත්වයට පත්ව තිබෙනවා.

ඒකාධිපති ස්වාභාවයකට රට පත්ව තිබෙනවා. ඒ නිසා අපි මේ මේ රට හැම අවස්ථාවක මෙවැනි අවාසනාවන්ත තත්ත්වයන්ට මුහුණ දෙනවිට මේ රටේ මහා සංඝරත්නය ඉදිරිපත් වී කටයුතු කරනවා. අද හැමදෙනාටම පේනවා මේ රට පත්ව තිබෙන අවාසනාවන්ත තත්ත්වය. අපේ ශ්‍රී ලංකාවට විදෙස් බලවතුන්ගේ ඇඟිලි ගසන තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා. මේවා ගැන අපි කිවයුතු නැහැ. හැමකෙනාම දන්නවා. ඒ නිසා මේ රටේ සංඝරත්නය වශයෙන් පැවිදි හඬ සංවිධානය මැදිහත්ව මේ රට පත්ව තිබෙන අවාසනාවන්ත තත්ත්වයෙන් ගොඩ ගන්න කටයුතු කළයුතුයි. ඒ සඳහා මහා මැතිවරණයක් පැවැත්විය යුතුයි. මැතිවරණයක් නොපවත්වා රට ගොඩ ගන්න පුළුවන්කමක් නැහැ.

පසුගිය දිනෙක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කියා තිබුණා දෙවරක් පැරැදුණු මහින්දට නැවත වරක් ඉල්ලන්න බැහැ කියා. මහින්ද දෙවරක් පැරැදුනාට 29 වරක් රනිල් වික්‍රමසිංහ පැරැදුනා. ඒ කෙසේ වුවද මේ අවස්ථාවේ අපේ විශ්වාසය මේ රට ගොඩ ගන්න මහා මැතිවරණයක් පැවැත්වීමයි. ඒ මැතිවරණයෙන් අපිට, රටට හිතැති නායකයෙක් පත්කර ගත යුතුයි. එසේ නම් ඒ නායකයා කවුරුන්ද යන්න අමුතුවෙන් කිවයුතු නැහැ. මෙතෙක් කල් සිදුව තිබෙන සෑම දේකින්ම එය පැහැදිලියි. විනාශය කරා ගිය රට නැවත වරක් ගොඩනඟන්න මැතිවරණයකින් ඉදිරියට යායුතු වෙනවා. මැතිවරණයක් අවශ්‍ය බවට ජනතාව හඬ නඟනවා.

අනාගතයේ මේ රට ගොඩනඟන්න හැක්කේ මහින්ද රාජපක්ෂ මහතාට පමණයි. වෙන කිසිවකු පේනතෙක් මානයක නැහැ. ජනතාවගේ විශ්වාසය, ජනතාවගේ පැතුම මේ රට නැවත ගොඩ ගන්න නම් මහින්ද යුගයක් ඇති කළ යුතුයි කියන එකයි. ඒ සඳහා අපි සියලු දෙනාම සැදී පැහැදී කටයුතු කළයුතු වෙනවා. කුමන බලවේග පැමිණියත් මහින්ද රාජපක්ෂ මහතා යළි මේ රට බාරගෙන අවාසනාවන්ත තත්ත්වයෙන් මුදා ගතයුතුයි. ඉදිරියේ මේ රට රැකගන්න අවධානය යොමු කරන්න කියා අපි අධිකරණයෙන් ද ඉල්ලීමක් කරනවා. රටට ගැලපෙන, ප්‍රායෝගික තීන්දු ගනී කියා අපි විශ්වාස කරනවා. මෙය අපේ සටනේ ආරම්භය මිස අවසානය නොවේ.

ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන සංඝනායක වල්පොල පියනන්ද, ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමිවරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

 

අදහස් 3ක් ඇත

rata aragika karamin mudal saha kaalaya naasthikarmin Adikaranaya thawath monawada balaa sitinne. Ape rata beraganime paramaadipathya prakasa kireeme jana waramata idadenda. Apata wishwasaneeya ekama theenduwa chandayakin pathwena aanduwak pamani.

rata aragika karamin mudal saha kaalaya naasthikarmin Adikaranaya thawath monawada balaa sitinne. Ape rata beraganime paramaadipathya prakasa kireeme jana waramata idadenda. Apata wishwasaneeya ekama theenduwa chandayakin pathwena aanduwak pamani.

rata aragika karamin mudal saha kaalaya naasthikarmin Adikaranaya thawath monawada balaa sitinne. Ape rata beraganime paramaadipathya prakasa kireeme jana waramata idadenda. Apata wishwasaneeya ekama theenduwa chandayakin pathwena aanduwak pamani.

නව අදහස දක්වන්න