වැටුප්-විශ්‍රාම වැටුප් සමෘද්ධිය දෙන්න ගැටලුවක් නෑ | දිනමිණ

වැටුප්-විශ්‍රාම වැටුප් සමෘද්ධිය දෙන්න ගැටලුවක් නෑ

ස්වර්ණා විජේකෝන්
සන්ධ්‍යා කරුණාරත්න

පවතින දේශපාලන වාතාවරණය කුමක් වුවත් රාජ්‍ය සේවකයන්ට වැටුප් ලබාදීම, විශ්‍රාමිකයන්ට විශ්‍රාමික වැටුප් ලබාදීම, සමෘද්ධිලාභීන්ට සමෘද්ධිය ලබාදීම යනාදිය කිසිදු ගැටලුවකින් තොරව ලබාදෙන බව හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

මෙම දේශපාලන අවුලට කිසිදු රාජ්‍ය සේවකයකු සම්බන්ධ නොමැති බවත් අමාත්‍යාංශයන්හි සිදු කළ යුතු රාජකාරී කිසිදු බියකින් තොරව රාජ්‍ය සේවකයන්ට කරගෙන යා හැකි බවත් ඒමහතා අවධාරණය කළේය.

කොළඹ නාඩා ආයතනයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවට සහභාගී වෙමින් හෙතෙම මේ බව ඊයේ (06) ප්‍රකාශ කළේය.

රාජ්‍ය සේවකයන්ට තම අමාත්‍යාංශයේ රාජකාරි කටයුතු කරගෙන යාමට ඉඩනොදී විවිධාකාරයෙන් බිය වැද්දීම් සිදු කරන බවට තොරතුරු පවතින්නේ යැයි ද, පොදු මහජනතාවගේ සුබසිද්ධිය උදෙසා සිදු කළ යුතු සියලු සේවාවන් අමාත්‍යාංශ මට්ටමින් ක්‍රියාත්මක කිරීමට කිසිවකුත් බිය නොවිය යුතු යැයි ද පැවැසුවේය.

රටේ වියදම් සඳහා අවශ්‍ය මුදල් ලබාගැනීමට ඉදිරි දින කිහිපයේ දී අතුරු සම්මත පනතක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට නියමිත බවත් ඒ අනුව රුපියල් බිලියන 1735ක මුදලක් ඉදිරි මාස තුනක කාලය සඳහා රටේ වියදමට ලබා ගැනීම සිදු කරන බවත් කීය.

දේශපාලන පක්ෂය කුමක් වුවත් රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන අතුරු සම්මත පනතට සහාය ලබාදීම සිදු කළ යුතු බවත් එසේ නොවුවහොත් කිසිදු මන්ත්‍රීවරයකුට ගමට ගොස් ඡන්දය ඉල්ලීමට නොහැකි වාතාවරණයක් ඉදිරියේ දී උදා වනු ඇති බවත් ඇමැතිවරයා පැවැසුවේය.

නව අදහස දක්වන්න