අවලාද චෝදනා ප්‍රතික්ෂේප කරනවා | දිනමිණ

අවලාද චෝදනා ප්‍රතික්ෂේප කරනවා

කමනි අල්විස්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මහා සම්මේලනයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමාව දෝෂදර්ශනයට ලක්කරමින් පැවැසූ අවලාද චෝදනා සියල්ලම එකහෙලා තරයේම ප්‍රතික්ෂේප කරන බව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා (5) රාත්‍රියේ කොළඹ ගාළුමුව‍දොර ‍හෝටලයේ දී පැවැති ‘ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් වෘත්තීයවේදියෝ’ නමැති සම්මන්ත්‍රණය අමතා ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා එල්ල කළ චෝදනා නැඟූ අවලාද සියල්ලටම සංයුක්ත නිකායේ ආක්‍රෝෂ සූත්‍රයෙන් පිළිතුරු ලබාදෙන බව පවසමින් මෙසේ පැවැසීය. පෙර දවස රජගහනුවර විසූ ආක්‍රෝෂ බමුණ බුදුරජාණන් වහන්සේට හැම අවස්ථාවකදීම බැණ වදිමින් නිතරම අවලාද කරමින් දොස් නැඟුවා. බුදුරජාණන් වහන්සේ දිනක් ආක්‍රෝෂ බමුණාගෙන් මෙසේ විමසුවා. බමුණ ඔබට මිතුරන් අසල්වාසීන් ඥාතීන් සිටීද? බමුණා එහි දී ඔවු යැයි පැවැසුවා. නැවත බුදුරජාණන් වහන්සේ බමුණාගෙන් විමසුවේ ඔබ එම පිරිස නිවෙසට පැමිණි විටදී ආහාරපානවලින් සංග්‍රහ කරනවාද යන්නයි. එයටත් බමුණාගේ පිළිතුරු වූයේ ඔවු යන්නයි. එවිට බුදුන්වහන්සේ බමුණාගෙන් යළි විමසුවේ යම් හෙයකින් ඔවුන් ඔබගේ එම සංග්‍රහයන් පිළිනොගතහොත් කුමක් කරන්නේ ද යන්නයි. එය මම භාර ගනිමි යනුවෙන් බමුණා පැවැසීය. බුදුරජාණන් වහන්සේ එවිට බමුණාට පැවැසුවේ එසේ නම් මා කළ නින්දා අපහාස අවලාද දෝෂාරෝපණ සියල්ලම ඔබට භාරයි බමුණා. ඔබ ඒවා භාරගත යුතුයි. මම ඒවා භාර නොගනිමි යනුවෙන් බුදුරජාණන් වහන්සේ ආක්‍රෝෂ බමුණාට පැවැසූ බව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ආකෝෂ සූත්‍රය ගෙනහැර දක්වමින් එසේ ප්‍රකාශ කළේය. තම සංස්කෘතියට අනුව ආක්‍රෝෂ සූත්‍රයෙන් පිළිතුරු ලබාදුන් බව පැවැසූ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අන් අයගේ සංස්කෘතිවලට අනුව පිළිතුරු දීමට තමාට නොහැකි බවත් ප්‍රකාශ කළේය.

වැඩි දුරටත් අදහස් දක්වමින් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවැසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම්මේලනයේ දී වැඩිපුරම ජනාධිපතිවරයා කථා කළේ මා ගැනයි. දෝෂාරෝපණ චෝදනා අවලාද එල්ල කළා. එම පක්ෂයේ නිර්මාතෘ දිවංගත එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා ගැන නොව මා ගැනයි කථා කළේ.

පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය වඩාත් ශක්තිමත් කරමු. එහි දී විනය ඉතා වැදගත්. සෑම දෙයකදීම වැදගත් වන්නේ විනයයි. මන්ත්‍රීවරුන් නියම මඟට ගෙනයාමට නව නීතිරීති පාර්ලිමේන්තුවට හඳුන්වා දෙමු. පාර්ලිමේන්තු සම්ප්‍රදායන්ට එරෙහි වන මන්ත්‍රීවරුන්ට නීත්‍යානුකූල පියවර ගැනීමටත් එතුළින් හැකි වෙනවා. ජනාධිපති බලතල ඉවත් කිරීමටත් පාර්ලිමේන්තුව තුළින් ක්‍රියා කළ යුතුයි. මේ කර්තව්‍යයට එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, ද්‍රවිඩ සන්ධානය එකඟයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ සන්ධානය ඊට විරුද්ධයි.

පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදී බලය හා සම්ප්‍රදායන් රැකීමට කථානායක කරු ජයසූරිය මහතා ගනු ලබන අභීත ක්‍රියාමාර්ගය අගය කළ යුතුයි. අපගේ පාර්ලිමේන්තුව අප රැකිය යුතුයි. පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමි තැනැත්තා අගමැති ලෙස පත්වෙනවා. දෙසිය විසිපහම කැමති වුණත් අගමැතිකම රනිල් වික්‍රමසිංහට ලබානොදෙන බව ජනාධිපතිවරයා පවසනවා. එය මගේ ප්‍රශ්නයක් නොවෙයි. එය ඔහුගේ ප්‍රශ්නයකි. පාර්ලිමේන්තුවට පයින් ගසා කාරක සභාවලට පිටුපෑම නොකළ යුතුයි. රට පාලනය කිරීමේ බලය හිමිවන්නේ විධායක ජනාධිපතිට නොවෙයි. ආණ්ඩුවට සහ ඇමැති මණ්ඩලයටයි. මුදල් බලය තිබෙන්නේත් පාර්ලිමේන්තුවටයි.

විශාල ජනබල මෙහෙයුමක් ඉදිරියේ දී ඇති කරන්නේ ජනතාවගේ ශක්තිය රටකට අවශ්‍ය බව වටහා දීමටයි. එම ජනබල මෙහෙයුමේදී පෙළ ගැසී තම දක්ෂතා හැකියාවන් ලබාදෙන ලෙසට සියලුම වෘත්තිකයන්ගෙන් මෙහි දී ඉල්ලීමක් කළ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෘත්තීයවේදීන්ගේ මේ සම්මන්ත්‍රණය සංවිධාන කරමින් ඒ සඳහා අතහිත දුන් සියලුදෙනාට සිය හෘදයාංගම ප්‍රනාමයත් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා පුද කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා මෙහි දී පැවැසුවේ දෙසිය විසිපස්දෙනකු කැමති වුණත් රනිල් වික්‍රමසිංහ මහතාට අගමැතිකම ලබා නොදෙන බවට ජනාධිපතිවරයා කරනු ලබන ප්‍රකාශය ප්‍රජාතන්ත්‍රවාදයට විශාල තර්ජනයක් බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටත් එය තර්ජනයක් බව පැවැසූ ආචාර්ය වික්‍රමරත්න මහතා ජනාධිපතිවරයාගේ රුචි අරුචිකම්වලට අගමැතිවරයා පත් කිරීමට නොහැකි බවයි. මේ දිනවල වැඩියෙන්ම අලෙවි වන පොත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බව පැවැසූ ආචාර්ය වික්‍රමරත්න මහතා දහනව වැනි ව්‍යවස්ථා සංශෝධනය ඇතුළුව රටේ ප්‍රජාතන්ත්‍රවාදය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව පැමිණ සිටි වෘත්තීයවේදීන් දැනුම්වත් කළේය.

කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය සිරිමල් අබේරත්න අලුත්ම ලෝක බැංකු වාර්තාවේ දකුණු ආසියාවට සම්බන්ධ ආර්ථික පුරෝකථනය පිළිබඳව කරුණු අනාවරණය කළේය. ආර්ථික වේගය වර්ධනය වන දකුණු ආසියාවේ ශ්‍රී ලංකාවට පහළින් සිටින්නේ ඇෆ්ගනිස්ථානය බව පැවැසූ මහාචාර්ය අබේරත්න මහතා සෙසු රටවල් ශ්‍රී ලංකාවට ඉහළින් සිටින බවත් ප්‍රකාශ කළේය. වර්තමානයේ රටේ පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් සංචාරක ව්‍යාපාරයේ බිඳවැටීම්, විදේශ විනිමය අහිමිවීම හා ඉදිරියට ගෙවීමට සිදුවී තිබෙන බිලියන හතරක පහක ණය කන්දරාව ගැනත් මහාචාර්ය අබේරත්න මහතා ප්‍රකාශ කරමින් විදේශ විනිමය රටේ අයවැයට බලපාන බව අවබෝධ කරදෙමින් දරුණු ආර්ථික ප්‍රතිඵලවලට ශ්‍රී ලංකාවට මුහුණදීමට සිදුවන බව කරුණු කාරණා දක්වමින් පැමිණ සිටි පිරිසට අවබෝධ කර දුන්නේය.

සමාජ විශ්ලේෂකවරියක වන මෛත්‍රී රාජසිංහම් මහත්මිය අදහස් දක්වමින් පවතින අර්බුදකාරී තත්ත්වයෙන් සමාජයට අත්වුණ අහිත කර ඉරණම පිළිබඳ උලුප්පා දක්වමින් කඩිනමින් මේ අර්බුදකාරී තත්ත්වය සමථයකට පත්විය යුතු බව සඳහන් කළාය. අති විශාල වෘත්තීයවේදීන් පිරිසක් මේ සම්මන්ත්‍රණයට සහභාගි වූ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක් ද සහභාගි වූහ.

ඡායාරූපය - චින්තක කුමාරසිංහ

 

නව අදහස දක්වන්න