අපේ ආණ්ඩුවකින් 19 වැනි සංශෝධනය ඉවත් කරනවා | දිනමිණ

අපේ ආණ්ඩුවකින් 19 වැනි සංශෝධනය ඉවත් කරනවා

සමන්මලී ප්‍රියශාන්ති

ජේ.ආර්. ජයවර්ධන මහතාට අවශ්‍ය කළේ දුර්වල පාර්ලිමේන්තුවක් හා ශක්තිමත් විධායකයක් ඇති කර ගැනීම වුවත් රනිල් වික්‍රමසිංහ මහතා 19 වැනි සංශෝධනය ගෙනැවිත් ජනාධිපතිවරයා දුර්වල කර පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීමට උත්සහ කළ බවත් රටට අහිතකර විධිවිධාන සහිත රනිල් වික්‍රමසිංහ මහතාගේ 19 වැනි සංශෝධනය තම ආණ්ඩුවක් යටතේ සම්පුර්ණයෙන් ඉවත් කිරීමට හෝ සංශෝධනය කිරීමට කටයුතු කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් සෙනෙවිරත්න මහතා පැවසීය.

රනිල් වික්‍රමසිංහ මහතා 19 සංශෝධනයට ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ වැනි අයට මේ රටේ දේශපාලනය කිරීමට නොහැකි වන ආකාරයේ විධිවිධාන ඇතුළත් කර එක්සත් ජාතික පක්ෂයේ අගමැතිවරයා වැනි අයට දිගින් දිගටම බලයේ රැදී සිටීමට හැකි ආවරණයන් ද ඊට ඇතුළත් කළ බවත් සෙනෙවිරත්න මහතා පැවසීය.

හෙතෙම මේ බව පැවසුවේ බත්තරමුල්ල නෙළුම් මාවතේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවකට ඊයේ (6) සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ ඒ මහතා මෙසේ ද කීවේය.

රටේ අමුතු දේශපාලන වතාවරණයක් අද ඇති වෙලා. නිදහසින් පසු කිසි දිනක නොවු පරිදි රටට අගමැතිවරයෙක්, ආණ්ඩුවක් නැති වාතාවරණයක් අද බිහි වෙලා. මෙවැනි තත්ත්වයක් රටේ කිසිවකු බලාපොරොත්තු වුණේ නැහැ. මෙයට ප්‍රධානම හේතුව තමයි දින සියයයේ රජය ගෙනා 19 වැනි සංශෝධනය. මේ 19 ගෙනා වෙලාවේ අපිට පෙනී ගියා මෙය කෙනෙක් දෙන්නෙක් මුල් කර ගෙන ගෙනාවක් බව. ඒ අවස්ථාවේ ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ වැනි අයට මේ රටේ දේශපාලනය කරන්න බැරි වන ආකාරයෙන් විධි විධාන මෙයට අතුළත් කළා. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ අගමැතිවරයා වැනි අයට දිගින් දිගටම බලයේ සිටීමට ආවරණයන් ලැබෙන පරිදි මෙය සකස් කර තිබුණා. අවුරුදු හතරහාමාරක් යන තෙක් පාර්ලිමේන්තුව විසුරවන්න බැහැ කියන විධිවිධානය 19 න් ඉදිරිපත් කළ එකක්. 1978 ව්‍යස්ථාව මඟින් ජේ.ආර්.ජයවර්ධන මහතා යම් සීමාවක් පනවා අවුරුද්දක් යන තෙක් පාර්ලිමේන්තුව විසුරුවන්න බැහැ කියලා විධිවිධාන ගෙනාවා. චන්ද්‍රිකා මැතිනිය මේ විධිවිධාන යටතේ දෙවතාවක් පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. 19 වැනි සංශෝධනයෙන් වසර හතරක් දක්වා එය දීර්ඝ කළා. රටේ මොන තත්ත්වයක් ඇති වුවත්, කුමන ආර්ථික ගැටලු ඇති වුවත් හතර හමාරක් යන තෙක් විසුරුවා හරින්න බැහැ. එමෙන්ම 19 යෙන් පාර්ලිමේන්තු කාලය අවුරුදු 5 කට කෙටි කළා. මේ අනුව පාර්ලිමේන්තුව විසුරුවා හරින්න පුළුවන් වෙන්නේ නියමිත කාල සීමාවෙන් මාස හයකට පෙර පමණයි. අගමැතිවරයාට දීර්ඝ කාලයක් මොන ප්‍රශ්න තිබුණත් බලයේ ඉන්න පුළුවන් තත්ත්වයක් ඇති කරගෙන තිබුණා.

මෙය අවුරුදු හතරහමාරක් කරන්න වුවමනා කර තිබුණත් ජනාධිපතිවරයාගේ විධායක බලය යටතේ ඔහුට විසුරුවා හැරීමේ අයිතිය ආරක්ෂා කර තිබෙනවා. රනිල් වික්‍රමසිංහගේ අවශ්‍යතාවට සකස් කරනු ලැබු 19 වැනි සංශෝධනයේ මේ විධිවිධාන අද අභියෝගයට ලක් වෙලා තිබෙනවා. මෙම සංශෝධනයට ජනාධිපතිවරයාගේ ඉල්ලීම මත අපි එදා සහය පළ කළා. ඒ රජයේ වැඩකටයුත්තක් ලෙසයි. දින සියය සුළුතර ආණ්ඩුවක් වුවත් එය බිම දාන්න අපි එදා කටයුතු කළේ නැහැ. අපි එදත් අද එක්සත් ජාතික පක්ෂය වගේ කටයුතු කළේ නැහැ. දින සියයේ අයවැයෙනුත් කළේ කොත්තමල්ලි වගේ දේවල් අඩු කරපු එක පමණයි.

පාර්ලිමේන්තුව වැරදි සහගත ක්‍රියාකලාපය නිසයි මේ තත්ත්වය අද ඇති වෙලා තිබෙන්නේ. ජේ.ආර්. ජයවර්ධන මහතාට අවශ්‍ය කළේ දුර්වල පාර්ලිමේන්තුවක් හා ශක්තිමත් විධායකයක්. ජනාධිපතිට විධායක බලතල පවරලා පාර්ලිමේන්තුව දුර්වල තැනක තැබීමට ඔහු කටයුතු කළා. නමුත් අද පාර්ලිමේන්තුව ශක්තිමත් කර විධායකය දුර්වල කරන්නට තමයි 19 අරගෙන ආවේ. එවිට ජනාධිපතිවරයාට විරුද්ධව පාර්ලිමේන්තුව ශක්තිමත් වෙනවා. මේ ගැටුම ඇති වුණේ එවිටයි. කතානායකවරයා පාර්ලිමේන්තුව කැඳවන දවසේ විශේෂ වැඩපිළිවෙළක් තිබෙනවා. ඒ අනුව ජනාධිපතිවරයාගේ ප්‍රකාශනය කියවන්න අවශ්‍යයි. 14 වැනි දා ජනාධිපතිවරයා එවා තිබු ලිපිය කතානායකවරයා පිළිගත්තේ නැහැ. එය ප්‍රතිකෂේප කළා. පාර්ලිමේන්තුව පවත්වලා රජයට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් සාකච්ඡාවට ගන්න කටයුතු කළා. අගමැතිවරයාට මෙය කියවන්නවත් අවස්ථාවක් දුන්නේ නැහැ. එය නීත්‍යානුකූලව කළේ නැහැ. ස්ථාවර නියෝග අත්හිටුවන්න ආණ්ඩුවේ ඇමැතිවරයකුට පමණයි යෝජනා කරන්න පුළුවන්. නමුත් සුමන්තිරන් තමයි ඉදිරිපත් කළේ.

මේ විශ්වාසභංග යෝජනාව අද අධිරණයට ගිහින් තිබෙනවා. පසුව දාත් පාර්ලිමේන්තුවෙ විශ්වාසභංගයක් ගෙනාවා. මේවා අධිකරණයට දාලා අගමැති හා ඇමැතිවරුන්ටත් අතුරු තහනමක් අරගෙන තිබෙනවා. විධායක ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය වැරදි නම් දෝෂාභියෝගයක් ගේන්න පුළුවන්. 113 ක් පමණයි ඊට අවශ්‍ය වෙන්නේ. නමුත් මේ අය රටම දෙවනත් කරමින් මුලික අයිතිවාසිකම් පෙත්සම් ගණනාවක් ගෙනාවා.

අද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ ලිහිල් ගතියක් ඇති කරලා තිබෙනවා. අපි බලයට ආ විට අනිවාර්යයෙන්ම 19 වැනි සංශෝධනය සංශෝධනය කිරීමට හො ඉවත් කිරීමට කටයුතු කරනවා. මේ මුවාවෙන් අද අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කරන්නට එක්සත් ජාතික පක්ෂයට අවශ්‍ය වෙලා තිබෙනවා. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විදේශ බලවේගවල අවශ්‍යතාව අනුව සකස් කරන්නක් වෙනවා.

එදා යුද්ධය පැවැති කාලයේත් විදේශ බලපෑම්වලට මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු රජයට මුහුණ දෙන්න සිදු වුණා. විදේශ බලපෑම්වලට ඇහුම්කන් නොදී රජය යුද්ධය ජය ගත්තා. මේ වගේම බලපෑමක් අද ව්‍යස්ථාව හදන්නත් බටහිර විසින් සිදු කරනවා. තානාපති කාර්යාල නියෝජිතයින් පසුගිය දිනවල පාර්ලිමේන්තුවට පැමිණ බලාගෙන හිටියා. ඡායාරූප ගන්න පවා ඒ අයට අවසර තිබුණා. විදේශ නියෝජිතයෝ පාර්ලිමේන්තුවේ සිදු වෙන දේවල් ගැන විශාල උනන්දුවක් තිබුණා. කතානායකවරයා, එක්සත් ජාතික පක්ෂ නායකයා අද කටයුතු කරන්නේ මේ විදේශ බලවේග සමඟයි. ඒ නිසාම ජාත්‍යන්තර ව මතයක් ගෙන යන්න මේ අය උත්සහ ගන්නවා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය වන බවට. මහින්ද රාජපක්ෂ මහතා පත් වු පසුව එතුමාව පිළිගන්න බොහෝ රටවලට අවශ්‍ය වුණා. නමුත් මේ බලවත් රටවල් ඊට අවස්ථාව දුන්නේ නැහැ. මේ විදිහේ තත්ත්වයක රට ගෙන ආවේ රනිල්, කතානායක ඇතුළු පිරිස බව කිව යුතුයි. මේ තත්ත්වය නිවාරණය කිරීමට මැතිවරණයක් අවශ්‍ය කරන බව අද රටේ සියලුම ජනතාව කියනවා. අද විධායක ජනාධිපතිවරයෙක් සිටින නිසා ආණ්ඩුව ගෙන යන්න ලේකම්වරුන් ට උපදෙස් දී තිබෙනවා. ජනතා සේවාවන් අඩාල නොකරන්න උපදෙස් දී තිබෙනවා.

ජනාධිපතිවරයා 26 වැනිදා අගමැතිවරයා පත් කිරීමට ගත් තීන්දුව වැරදි නම් ඒ සඳහා අධිකරණයට යාමට හැකියාව තිබුණා. එසේ නොකළේ අගමැතිවරයා පත් කළේ නීත්‍යනුකූල නිසයි. එය අභියෝගයට ලක් නොකළේ ඒ නිසායි. සුළුතර ආණ්ඩු මීට පෙරත් තිබුණා. වි.ජ.මු කතානායකවරයා ඉන්න විට පැවැති රජයෙන් ජනතා විමුක්ති පෙරමුණ ඉවත් වු විට සුළුතර රජයක් තිබුණේ. එදා සුළුතර ආණ්ඩුවට වැඩ කරන්න කතානායකවරයා බාධා කළේ නැහැ. රටේ වැඩකටයුතු නියමානුකූලව සිදු වුණා. නමුත් අද තත්ත්වය වෙනස්. අද පටන් ගන්න විට කිව්වා අගමැතිවරයාව පිළි ගන්නවා. පාර්ලමේන්තුවේ සියලු සහාය, පහසුකම් දෙනවා කිව්වා. ඊට දවස් දෙක තුනකට පසුව කතානායකවරයා අගමැතිට විරුද්ධව කටයුතු කරන්න ගත්තා. මෙය දේශීය වශයෙන් පමණක් නොව විදේශීය වශයෙනුත් පැවැති කුමන්ත්‍රණයක් බව පැහැදිලියි.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා,

එක්සත් ජාතික පක්ෂ රජය පසුගිය වසර තුන හමාරක් තිස්සේ මහා බැදුම්කර හොරකමින් ආරම්භ කළ මහා විනාශයේ එක් ප්‍රතිඵලයක් අද වන වට අප අත්දකිමින් ඉන්නවා. මේ අය සල්ලි බෙදාගෙන රටේ ආර්ථිකය අන්ත අගාධයකට ඇඳ දැම්මා. එහි ප්‍රතිඵලයක් ලෙස අද එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව බලයෙන් ඉවත් වෙලා ගිහින් නැවත බලය ඉල්ලමින් විවිධ ක්‍රියාකාරකම්වල නියැළෙනවා. මේ නිසාම අද එක්සත් ජාතික පක්ෂයේ නායකයත්වය රටේ ස්වාධීපත්‍යය, ආර්ථිය පාවලා දීලා තිබෙනවා. බලය රැක ගැනීම සඳහා ඕනෑම පාවාදීමක් කරන තැනකට මේ අය ඇවිත් ඉන්නවා. තානාපති කාර්යාල ළඟ ඉදිරියේ දණ ගසා සිටිනවා. මේ හේතු නිසාම ජනතාවට අපහසුතාවන්ට මුහුණ දීමට සිදු ව තිබෙනවා. මේ තත්ත්වයට රට ඇඳ දැම්මේ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයයි. මේ ගැන අපි ශෝකයට පත් වෙනවා.

මෙතෙක් පාර්ලිමේන්තු ඉතිහාසයේ කොයිම රටකවත් සිදු නොවු ආකාරයේ ප්‍රජාතන්ත්‍ර විරෝධී, ස්ථාවර නියෝග විරෝධී, සම්ප්‍රදාය විරෝධී රැස්වීම් පැවැත්වෙනවා. මේ තත්ත්වය සමනය වෙලා ස්ථීරසාර රජයක් බිහි වු දිනෙක පාර්ලිමේන්තුවේ ගනු ලැබූ මෙම අවිචාරවත් ක්‍රියාවලියට සම්බන්ධ වු කතානායකවරයා ඇතුළු සියලු දෙනාට මෙයට වගකියන්නට වෙනවා. ඒ වෙනුවෙන් වෙනමම කටයුතු කරන්න පුළුවන් කොමිසමක් පත් කර මේ අය සිදු කරනු ලැබූ මෙම කටයුතු කොතරම් නීති විරෝධී දැයි සොයා බලනවා. එමෙන්ම එම ක්‍රියාවලිය කෙතරම් ජනතා විරෝධීද හා කොතරම් මුදලක් නිකරුණේ වැය කළේ ද යන්න සොයා බලනවා. ඒ අනුව ඊට වරදකරුවන් වන සියලු දෙනාට අනාගතයේ දී සුදුසු පියවර ගන්නට අපි කටයුතු කරනවා.

පසුගිය 5 වැනිදා පාර්ලිමේන්තුව රැස් වු අවස්ථාවේදීත් මයන්ත දිසානායක මන්ත්‍රීවරයා විසින් රනිල් වික්‍රමසිංහ මහතාට විශ්වාසය පළ කිරීමේ යෝජනාවක් ගෙනවා. එය ඉදිරිපත් කළ මයන්ත දිසානායක විසින් ම ඉවත් කර ගත්තා. ඊට හේතුව රනිල් වික්‍රමසිංහ මහතාට විශ්වාසය පළ නොකරන කොටසක් පාර්ලිමේන්තුවේ හිටිය නිසයි. ඒ අයට 122 ක් ඉන්නවා කියලා දිගින් දිගටම කියා හිටියත් ඊයේ ඒ යෝජනාව ගෙනාවා නම් 15 ක් වත් ගන්නේ නැහැ. ඒ නිසා එය හොරෙන්ම ඉල්ලා අස් කර ගත්තා. ඊනියා න්‍යාය පත්‍රයට අනුව තමයි එදත් වැඩ සිදු කළේ.

පාර්ලිමේන්තු සම්ප්‍රදාය උල්ලංඝනය කරමින්, මහජන මුදල් විනාශ කරමින් මේ සිදු කරන ක්‍රියාවලිය ගැනත් අනාගතයේ අපට කටයුතු කරන්න සිදු වෙනවා. සෙංකෝලය ගෞරවණීය වස්තුවක් වන අතර එය ගෙන එන ප්‍රධාන දොරටුවෙන් හැර එය සභාව ඇතුළට ගෙන එන්නේ නැහැ. නමුත් එදා 14 වැනිදා සෙංකෝලය ගෙනාවේ ඇමැතිවරුන් වැසිකිළියට යන දොරටුව භාවිත කරලයි. සෙංකෝලය වේත්‍රධාරියට වුවත් කිහිල්ලේ ගහගෙන එන්න බැහැ. එය ගෙන්නේ උරහිස මත තබා ගෙන ගෞරවයෙන් යුතුවයි. වේත්‍රධාරී නිලධාරියා රාජකාරී හරියට කළේ නැහැ කියන චෝදනාවත් එල්ල කරන්න අපිට දිනෙක සිදු වෙනවා. එමෙන්ම නීති රීති කඩකරමින් මෙවැනි රැස්වීමක් පවත්වන්නට ඉඩ ලබා දීම ගැන පාර්ලමේන්තු මහලේකම්වරයාටත් එදාට පිළිතුරු දෙන්නට සිදු වෙනවා. යැයි කීවේය.

ඡායාරූපය - කැළුම් ලියනගේ

නව අදහස දක්වන්න