ශ්‍රී ලංකාව අද ඕමානය සමඟින් ‘ඒ’ කාණ්ඩයේ තරග අරඹයි | දිනමිණ

ශ්‍රී ලංකාව අද ඕමානය සමඟින් ‘ඒ’ කාණ්ඩයේ තරග අරඹයි

නිරෝෂාන් ප්‍රියංකර

ආසියානු ක්‍රිකට් කවුන්සිලය සංවිධාන කරන ආසියානු කුසලාන නැඟී එන එක්දින ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ කොටසේ තරග සත්කාරක ශ්‍රී ලංකාව සහ ඕමානය අතර තරගයෙන් ආරම්භ වෙයි.

එම තරගය ආර්.ප්‍රේමදාස පිටියේ පැවැත්වෙන අතර ‘ඒ’ කාණ්ඩය අනෙක් තරගය ඉන්දියාව සහ ඇෆ්ගනිස්තානය අතර සී.සී.සී පිටියේදී පැවැත්වේ. චරිත් අසලංකගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම තරග බිමට පිවිසෙන අතර ඕමානය තරගයට එක්වන්නේ 31 හැවිරිදි සීෂාන් මක්සූඩ්ගේ නායකත්වයෙනි. මේ තරගාවලිය අවුරුදු 23න් පහළ ක්‍රීඩකයන් සඳහා පැවැත්වුවද එක් කණ්ඩායමක ක්‍රීඩකයන් 11 දෙනාගෙන් අවුරුදු 23 ඉක්මවූ ක්‍රීඩකයන් සිවුදෙනකුට ද තරග වැදීමට අවස්ථාව හිමිවෙයි.

ටෙස්ට් ක්‍රීඩා කරන රටවල් නැඟී එන කණ්ඩායම් මේ තරගාවලියට එක්කළ යුතු වුවද ටෙස්ට් වරම් නොලැබූ රටවලට මේ සඳහා තම ජාතික කණ්ඩාය ඉදිරිපත් කිරීමේ අවස්ථාව හිමිව තිබේ. ඒ අනුව ඕමානය නියෝජනය කරමින් අද තරගයට එක්වන්නේ එරට ජාතික ක්‍රිකට් කණ්ඩායමයි. ‘බී’ කාණ්ඩයෙන් තරග වදින හොංකොං පිල සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයද සිය ජාතික කණ්ඩායම් මේ තරගාවලියට එක්කරයි.

‘බී’ කාණ්ඩය

මේ අතර ‘බී’ කාණ්ඩයේ තරගාවලිය ඊයේ පාකිස්තානයේදී ආරම්භ විය. එහිදී සත්කාරක පාකිස්තානය හොංකොං පිල සමග තරගයෙන් ලකුණු 225ක දැවැන්ත ජයක් අත්කරගත් අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමග තරගයෙන් බංග්ලාදේශය 97කින් පරාජයට පත්විය.

හොංකොං පිල සමග තරගයේ පාකිස්තාන ආරම්භ පිතිකරු යුගල වූ සහිබ්සාඩා ෆර්හාන් සහ අලී ඉම්රාන් පළමු කඩුල්ලට ලකුණු 219ක සබඳතාවක් ගොඩනැගීම කැපී පෙනුණි.

ෆර්හාන් පන්දු 125කදී හතරේ පහර 15ක් සහ හයේ පහර 2ක් සමගින් ලකුණු 130ක් රැස්කළ අතර ඉම්රාන් පන්දු 105කින් ලකුණු 107ක් රැස් කළේ හතරේ පහර 11ක් සහ හයේ පහරක් සමගිනි. ලකුණු 35කට හොංකොං කඩුලු 5ක් බිඳ දැමු මොහොමඩ් ඉල්යාස් තරගයේ වීරයා ලෙස නම් කෙරිණි.

ශ්‍රී ලංකා නැඟී එන සංචිතය - ශ්‍රී ලංකා නැඟී එන ක්‍රිකට් සංචිතය - චරිත් අසලංක (නායක), සම්මු අශාන් (උප නායක), කමිඳු මෙන්ඩිස්, අවිෂ්ක ප්‍රනාන්දු, හසිත බෝයගොඩ, සඳුන් වීරක්කොඩි, අසේල ගුණරත්න, නිශාන් මධුෂ්ක, ජෙෆ්රි වැන්ඩසේ, ලසිත් ඇඹුල්දේණිය, නිශාන් පීරිස්, ෂෙහාන් මධුෂංක, අසිත ප්‍රනාන්දු, ජෙහාන් ඩැනියෙල්, චාමික කරුණාරත්න

ඕමාන ක්‍රිකට් සංචිතය - සීෂාන් මක්සූඩ් (නායක), ට්වින්කල් කුමාර් බන්ඩාරි, බිලාල් ඛාන්, ඇකිබ් අයියස්, නෙස්ටෝර් ඩම්බා, අහමඩ් ෆායියාස් බට්, ජැටින්ඩර් සිං, ජයෙෂ් ඔඩ්ර්රා, කාලේමුල්ලාහ්, කවාර් අලි, අජේ ලාල්චෙටා, මෝනමචරි මයිකල්, මොහොමඩ් නදීම්, සුරාජ් කුමාර්, වසීම් අලි

 

නව අදහස දක්වන්න