අනුර ඔබ හරි! | දිනමිණ

අනුර ඔබ හරි!

දිනමිණ පුවත්පතෙහි මුල්පිටුවේ ඊයේ පළකර තිබුණු ඡායාරූප දෙකකින් අද අපේ සටහන ආරම්භ කළ හැකිය. එම ඡායාරූප දෙකෙහි සටහන් වී තිබුණේ පෙරේදා පාර්ලිමේන්තුවේ අවස්ථා දෙකකි. එක් ඡායාරූපයක අසුන පසෙකට හරවාගෙන හිඳ සිටින අයෙකි. අනෙකෙහි කිහිපදෙනාගෙන් අයෙක් නිකටෙහි අත තබාගෙන කල්පනා කරයි. අනෙක් අයද පළකට ඇති කටයුත්තක යෙදී සිටින බව නොපෙනේ. අප සහෝදර පුවත්පත ‘රැස’ හි මුල් පිටුවේ ඊයේ පළකර තිබුණේද පාර්ලිමේන්තුවේම ඡායාරුවකි. එහි සිටින්නෝ ජංගම දුරකතනවලට එබී සිටිති.

පාර්ලිමේන්තුවේ මූල්‍ය අංශය පවසන ආකාරයට පසුගිය දින පහට පාර්ලිමේන්තුව වෙනුවෙන් වියදම් කර ඇති මුදල රුපියල් තුන්කෝටි විසිපන් ලක්ෂයකි. එම මුදල වියදම් කර ඇත්තේ කුමක් සඳහාද යන්න විමසීම පසුවට තබා, එකී මුළු මුදල පාර්ලිමේන්තුව රැස්වූ දින පහෙන් බෙදූවිට ලැබෙන වටිනාකම ගැන කියන්නේ නම්, රුපියල් ලක්ෂ හැටපහකට ආසන්න වේ. එහි අදහස වන්නේ පසුගිය දින පහ තුළ පාර්ලිමේන්තුවේ එක් දිනයක් වෙනුවෙන් රුපියල් ලක්ෂ හැටපහකට ආසන්න පිරිවැයක් දරා ඇති බවයි.

මන්ත්‍රීවරුනගේ සහ පාර්ලිමේන්තුවේ සේවක සේවිකාවනගේ වැටුප් ඊට ඇතුළත්ව තිබේ. මන්ත්‍රීවරුනගේ දීමනාද ඊට ඇතුළත්ය. පාර්ලිමේන්තු සභාවාරයක් යනු ලෙහෙසි පහසු කාර්යයක් වන්නේ නැත. ඒ සඳහා ඉන්ධන වැයවේ. ඉන්ධන සඳහා වැයවන මුදල ද පාර්ලිමේන්තු රැස්වීමක වියදමට ඇතුළත් විය යුතුය. පාර්ලිමේන්තුව රැස්වන්නට විදුලිය ද අවශ්‍යය. ඊට වැයවෙන මුදලද ඉහත කී පිරිවැයට ඇතුළත් කෙරේ. ආහාර පාන, ආරක්ෂාව ආදියටද වියදම් කළ යුතුවේ. දිනකට ලක්ෂ හැටපහකට ආසන්න මුදලක් පාර්ලිමේන්තුව රැස්කිරීමට වැය වන්නේ එසේය.

දිනකට කොපමණ වියදමක් දරන්නට සිදුවුවද පාර්ලිමේන්තුව රැස් නොවී ඉන්නට හැකියාවක් නැත. පාර්ලිමේන්තුව යනු රටක ප්‍රතිපත්ති වැඩසටහන් තෝරා දෙන, නීති සම්පාදනය කෙරෙන ආයතනය බැවිනි.

ඉහතින් සඳහන් කළ ඡායාරූපවලට අපගේ අවධානය නැවත යොමුකරන්නට වන්නේ මෙහිදීය. පාර්ලිමේන්තුව රැස්වී වැදගත් යෝජනා සම්මත නොකරන්නේ නම් ඒ සඳහා කෙරෙන වියදම අපතේ යයි. පාර්ලිමේන්තුව රැස්වී හරබර විවාද නොකරන්නේ නම් ඒ සඳහා කරන වියදම අර්ථ ශූන්‍ය වේ. පාර්ලිමේන්තුව රැස්වී ගුටිබැට හුවමාරු කරගනී නම්, සෙංකෝලය පැහැර ගනීනම්, කසළ කූඩ, මිරිස් කුඩු ආදියෙන් දමා ගසන්නේ නම් දිනකට වැයකෙරෙන ලක්ෂ හැටපහකට ආසන්න රුපියල් ගණන අපතේ යනවා පමණක් නොවේ. රටේ කීර්තිනාමයද අවලංගු වේ.

පෙරේදා පාර්ලිමේන්තුව රැස්වූ නමුත් එදින ඉදිරිපත් කරන්නට නියමිතව තිබුණු පාර්ලිමේන්තු යෝජනාව ඉදිරිපත් කෙරුණේ නැත. එම යෝජනාව නැවත සභාගත කිරීම ලබන 12 දා දක්වා කල් තැබුණු බැවිනි. විවාදයට නියමිත යෝජනාව ලබන 12 දා දක්වා කල් තැබුණු නමුත් පාර්ලිමේන්තුව අවසන් වූයේද නැත. වාර්තාවන ආකාරයට මන්ත්‍රීවරුන් පැයකට ආසන්න කාලයක් තමන්ගේ අදහස් ඉදිරිපත් කර තිබේ. ගැටලුව වන්නේ එසේ ඉදිරිපත් කළ අදහස් රාජ්‍ය පාලනයට, සංවර්ධනයට, නීති සැකසීමට හෝ වෙනත් ඵලදායී කටයුත්තකට කවර ආකාරයකින්වත් සම්බන්ධ ඒවා නොවීමය.

ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා කටහඬ අවදිකර ඇත්තේ ඒ අතරවාරයේ ය.

දිසානායක මහතාගේ කතාවෙහි සාරාංශය නම්, පාර්ලිමේන්තුව හිතලු ඉදිරිපත් කරන තැනක් නොකරන්න යන්නය. හිතට දැනෙන, හිත රිදුණු තරමට කතා කරන්නට පාර්ලිමේන්තුව යොදා නොගන්නා ලෙස දිසානායක මන්ත්‍රීවරයා ඉල්ලා තිබේ. ඔහු අවසාන වශයෙන් යෝජනා කර ඇත්තේ හිතට එන දේ කියමින් කාලය නාස්ති කරනු වෙනුවට යෝජනා නැත්නම් මැති සබය කල්තබන්න යන්නය.

අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයාගේ අදහස කවර ආකාරයෙන් ගත්තද බැහැර කළ හැකි වන්නේ නැත. එය අපේ පාර්ලිමේන්තුවේ ඊයේ අද හෙට ඕනෑම සභා වාරයකට යොදා ගත හැකි උපදේශයක් වශයෙන්ද හදුන්වා දිය හැකිය.

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව යනු කලෙක ආසියාවේ පමණක් නොව ලෝකයේත් ඉහළින්ම කැපී පෙනුණු ස්ථානයක් බව කීම බොරුවක් නොවේ. ඇන්. ඇම්. පෙරේරා, එස්.ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක, කොල්වින් ආර් . ද සිල්වා, ඩී. බී. ජයතිලක වැන්නන්ගේ දාර්ශනික න්‍යායාත්මක සංවාදවලට කලෙක අපේ පාර්ලිමේන්තුව තෝතැන්නක් වී තිබුණි. ඊරියගොල්ල, ඉලංගරත්න වැනි සාහිත්‍යකරුවන්ගේ අදහස්වලින් කලෙක අපේ පාර්ලිමේන්තුව ‍ආලෝකවත් විය. ටී. බී. තෙන්නකෝන්, සෝමවීර චන්ද්‍රසිරි වැනි කවියන්ගේ ආලෝකය මෙරට පාර්ලිමේන්තුවට ලැබුණු අතීතයක් අපට තිබේ. දැන් ඒ සියල්ල අයිති අතීතයට පමණි. දේශන වෙනුවට දැන් පාර්ලිමේන්තුවේ අසන්නට ලැබෙන්නේ පරුෂ වචන ය. කවි නොව ඇසෙන්නේ අවලාද නැගීම්, කෑකෝ ගැසීම්, සහ හූ හඬ ය. එදා හැන්සාඩ් වාර්තා රසකර කියවිය හැකි වූ නමුත් අද හැන්සාඩ් වාර්තා මුද්‍රණයට යැවෙන්නේ නොසරුප් වදන් කපාහැරීමෙන් පසුවය. එකල පාර්ලිමේන්තු විවාද නැරඹීමට ජනතාව ආවේ දැනුම වඩා ගන්නටය. අද පාර්ලිමේන්තුවේ ගැලරියට දරුවන් රැගෙන යාමෙන් පරිස්සම් විය යුත්තේ ඔවුන් නොදන්නා වචන ඉගෙන ගත හැකි නිසාය.

පාර්ලිමේන්තුවේ නොව පළාත් සභාවෙත් තත්ත්වය සමානය. එක්තරා පළාත් සභාවක අයවැය අතරතුර මහජන නියෝජිතයන් නිල්පාට ලෝකයක සැරිසරා ඇති බවට ලැබෙන ආරංචිය උදාහරණ වශයෙන් දැක්විය හැකිය. පළාත් පාලන ආයතනවලද අවලාද, ගුටිබැට කෑකෝ ගැසීම නුහුරු ඒවා නොවේ.

අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයාගේ අදහස වැදගත් වන්නේ ඒ අනුවය. ඔහුගේ අදහස අනුව සියලු මහජන නියෝජිතයන් කටයුතු කරන්නේ නම් පාර්ලිමේන්තුව, පළාත් සභාව, පළාත් පාලන ආයතන කිසිවකට වැය කෙරෙන මුදල් සම්බන්ධයෙන් ජනතාව අනේ අපොයි! නොකියනවා ඇත.

නව අදහස දක්වන්න