youtube වැඩිම ආදායම්ලාභියාට අවුරුදු 07යි | දිනමිණ

youtube වැඩිම ආදායම්ලාභියාට අවුරුදු 07යි

සෙල්ලම් බඩු පිළිබඳ විචාර ඉදිරිපත් කරන අවුරුදු හතක් වයසැති දරුවෙකු යූටියුබ්හි වැඩිම ආදායම්ලාභියා බවට පත් වී තිබේ.

ඔහුගේ මුළු ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 22කි.

ෆෝබ්ස් සඟරාවට අනුව, තවත් සුප්‍රසිද්ධ යූටියුබ් තරුවක් වන ජේක් පෝල්ගේ ආදායම අභිබවා යෑමට රයන් නැමැති මෙම දරුවාගේ Ryan ToysReview නම් යූටියුබ් නාලිකාව සමත් වී ඇත.

ජූනි දක්වා මාස දොළහක් ඇතුළත ජේක්ට වඩා ඩොලර් ලක්ෂ පහක ආදායමක් රයන් උපයා තිබේ.

රයන්ගේ නාලිකාව ඔස්සේ බොහෝ දිනවල වීඩියෝ පළ කරන අතර, පසුගිය ඉරිදා (දෙසැම්බර් 2) ඔහුගේ ඡායාරූපයක් ඇතුළත් කර ඇති blue giant mystery egg නම් සෙල්ලම් භාණ්ඩය පිළිබඳ වීඩියෝව මේ වනවිට මිලියනයකට අධික පිරිසක් නරඹා තිබේ.

ඩොලර් මිලියන 20ක ආදායමක් ලබන Dude Perfect නම් යූටියුබ් නාලිකාව තෙවන ස්ථානයට පත්ව ඇත.

බදු සහ නීතීඥ ගාස්තු ගෙවීමෙන් පසු රයන් උපයා ඇති මුදල මෙහි සඳහන් වී ඇති අතර, එය පසුගිය වසර සමග සංසන්දනය කිරීමේ දී දෙගුණයක වැඩි වීමකි.

රයන්ගේ වීඩියෝ නැරඹීමට දරුවන් මේ තරම් කැමැත්තක් දක්වන්නේ ඇයිදැයි NBC මාධ්‍ය ආයතනය නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ "මට අනිත් අය සතුටු කරන්න පුළුවන් ඒ වගේම මම විනෝදජනකයි," යනුවෙනි.

2015 දී රයන්ගේ දෙමාපියන් ආරම්භ කළ මෙම යූටියුබ් නාලිකාව මේ වන විට බිලියන 26ක් නරඹා ඇති අතර, නිත්‍ය ග්‍රාහක පිරිස මිලියන 17.3 කි.

ෆෝබ්ස් සඟරාවට අනුව, රයන්ගේ ඩොලර් මිලියන 22ක ආදායමෙන් මිලියනයක් උපයාගෙන ඇත්තේ වීඩියෝවට පෙර විකාශනය කෙරෙන වෙළෙඳ දැන්වීම්වලිනි. ඉතිරිය මුදල් ගෙවා ප්‍රචාරය කරන දැන්වීම්වලින් උපයාගෙන ඇත.

වැඩිම ආදායමක් ලබන යූටියුබ් තරු :

යූටියුබ් හරහා ප්‍රසිද්ධ වූ වෙනත් පුද්ගලයන්ට සාපේක්ෂව, මුදල් ගෙවා ප්‍රචාරය කරන වෙළෙඳ දැන්වීම්වලින් රයන් ලබන ආදායම ඉතා අවම මට්ටමක පවතින බව ෆෝබ්ස් සඟරාවේ සඳහන් වේ.

"මෙයට හේතුව රයන්, නැත්නම් ඔහුගේ පවුලේ අය තෝරා ගත් වෙළෙඳ දැන්වීම් පමණක් ප්‍රචාරය කිරීම සහ ඔහුට සිටින රසිකයන්ගේ කැමැත්තයි."

රයන්ගේ නාලිකාවේ ප්‍රචාරය කරන සෙල්ලම් භාණ්ඩයක් වෙළෙඳපොලේ ඉතා කෙටි කලක් තුළ විකිණී අවසන් වේ.

වෝල්මාට් සුපිරි වෙළෙඳසල 'රයන්ගේ ලෝකය (Ryan's World)' නමින් විවිධ සෙල්ලම් බඩු සහ ඇඳුම් හඳුන්වා දී තිබේ. රයන් සහ ඔහුගේ දෙමාපියන් තමන්ගේ නමින් ඇති සෙල්ලම් බඩු සොයන වීඩියෝවක් මාස තුනක් ඇතුළත මිලියන 14ක් නරඹා තිබිණි.

සිය නමින් ඇති මෙම භාණ්ඩවලින් ලැබෙන මුදලත් සමග ලබන වසර වන විට රයන්ගේ ආදායම සැලකිය යුතු ලෙස ඉහළ යනු ඇත.

රයන් තවමත් කුඩා දරුවෙකු නිසා ඔහුගේ ආදායමෙන් 15%ක් බැංකු ගිණුමක තැන්පත් කරන අතර, ඔහු වැඩිහිටියෙකු බවට පත් වූ විට එම මුදල ලබා ගත හැකිය.

රයන්ගේ නිවුන් සහෝදරිය ද සමහර වීඩියෝවල රඟපාන්නීය. Ryan's Family Review නම් රයන්ගේ තවත් යූටියුබ් නාලිකාවකට පවුලේ සියලුදෙනා සම්බන්ධ වී සිටිති.

"කුඩා දරුවන්ට නිවස තුළදීම සිදු කළ හැකි විද්‍යාත්මක අත්හදාබැලීම් 10ක්" නම් වීඩියෝවේ පවුලේ දරුවන් තිදෙනාම පෙනී සිටි අතර, එය මිලියන 26ක් නරඹා තිබේ.

ඩොලර් මිලියන 16.5ක් උපයා 2017 වසරේ දී යූටියුබ් වැඩිම ආදායම්ලාභියා බවට පත් වූ ඩැනියෙල් මිඩ්ල්ටන් මෙම වසරේ දී හතරවන ස්ථානයට පත් වී තිබේ.

පසුගිය වසරේ අටවන ස්ථානයේ සිටි ජේක් පෝල් මෙවර දෙවන ස්ථානයට පත් වී ඇති අතර, ඩොලර් මිලියන 14.5ක් උපයා ඇති ඔහුගේ සොහොයුරා වන ලෝගන් පෝල් 10වන ස්ථානයේ සිටී. ලෝගන්ගේ ආදායම පෙර වසරට වඩා ඩොලර් මිලියන තුනකින් වැඩි වී තිබේ.

පසුගිය ජනවාරි මස ලෝගන් පෝල් ඔහුගේ එක් වීඩියෝවකින් ජපානයේ සිය දිවිනසා ගත් පුද්ගලයෙකුගේ මළ සිරුරක් පෙන්වීම නිසා දැඩි විවේචනයට ලක් විය. නමුත්, පසුව ඔහු ප්‍රසිද්ධියේ සමාව අයැද සිටියේය.

 

නව අදහස දක්වන්න