ඉන්දියාවෙන් ලකට ආවා ගලෙන් කළමුත් රනුත් ගෑවා | දිනමිණ

ඉන්දියාවෙන් ලකට ආවා ගලෙන් කළමුත් රනුත් ගෑවා

මේ වන විට එගම හඳුන්වන්නේ දොඩන්දූව කියන නාමයෙනි. අද මෙම ප්‍රදේශය එසේ හැඳින්වුවද, එදා උඩුගල්පිටිය නමින් ප්‍රසිද්ධ වී තිබුණි. තිසර, පරෙවි, කෝකිළ සංදේශවල කාව්‍යවලත් එගම ලියැවී තිබේ. මෙම ප්‍රදේශයටත්, විහාරස්ථානයටත් ඇත්තේ දිගු ඉතිහාසයකි. අද ශෛලබිම්බාරාමය ලෙස හැඳින්වෙන මෙගම විහාරය අතීතයේ දෙගල්ලේ විහාරය ලෙස හඳුන්වා ඇත.

වර්ෂ 1837දී දකුණු ඉන්දියාවේ කාවේරී ප්‍රදේශයේ සිට නැව් මගින් දොඩන්දූවට වැඩම කරවූ බුද්ධ ප්‍රතිමාවක් එතැනින් මුහුදේ සිට දොඩන්දූව කැලේ මැදින් ඇළක් කපා දොඩන්දූව ශෛලබිම්බාරාම විහාරස්ථානයට වඩම්මවා බුද්ධ ප්‍රතිමාව තනි ගලින් නිර්මාණය කළ එකකි.

එකල මෙම විහාරස්ථානයේ වැඩ සිටි කොග්ගල ධම්මසාර හාමුදුරුවෝ ප්‍රදේශයේ සිටි යාත්‍රිකයා සමඟ රුවල් නැවක ආධාරයෙන් බුරුමය බලා පිටත්ව ගොස් ඇත. ඒ යන අතරතුර දකුණු ඉන්දියාවේ කාවේරිපට්ටනයට ගොඩබැස ඇත්තේ ගිමන් නිවා ගැනීම සඳහාය. එම අවස්ථාවේ එම ස්ථානයට පැමිණි ඉන්දියන් ජාතීකයන්, මෙම ධම්මසාර හාමුදුරුවන්ට ඔබ වැනි තාපසයෙක් මෙම කැලේ ඇතුළේ සිටින බව පවසා ඇත. ජනප්‍රවාදයේ සඳහන් ආකාරයට ඉන්පසු ධම්මසාර හාමුදුරුවෝ එම ස්ථානය පරීක්ෂා කරන විට පස් වලින් භාගයක් පමණ යට වු අතී විශාල ශෛලමය පිළිම වහන්සේ නමක් දැක ඇත. උන්වහන්සේ මෙම බුද්ධ ප්‍රතිමාව ශ්‍රී ලංකාවට ගෙන ඒමට උත්සාහ කළ ද, එම ප්‍රදේශවල ජනතාව ඊට විරුද්ධ වීම නිසාවෙන් රාජ්‍යතාන්ත්‍රික වශයෙන් අවසර ලබාගෙන විශාල කැපවීමක් කර ලංකාවට වැඩමවා ගෙන ඒමට කටයුතු කළහ. දෙගල්ලේ විහාරය ශෛලබිම්බාරාමය බවට පත්වූයේ ඉන්පසුව බවට ජනප්‍රවාදයේ සඳහන් වේ.

මෙසේ වඩම්මවාගෙන ආ බුද්ධ ප්‍රතිමාව මේ වන විට මේ විහාරස්ථානයේ ප්‍රධාන විහාර ගෙයි ඇතුළත ගර්භයේ තැන්පත් කර ඇත. මුඵමණින්ම ගලින් නිර්මාණය කර තිබුණ ද, ප්‍රතිමාව වඩම්මවා අවුරුදු 1000ක් පිරීම සැමරීම සංවිධානය කළ පින්කම් දිනවල මෙම ප්‍රතිමාව මැටි වලින් ආවරණය කර රන් පාටට ආලේප කර ඇත. අද දැක ගැනීමට හැකි වන්නේ මෙසේ රන් ආලේපිත ප්‍රතිමා වහන්සේ නමය.

මෙම ප්‍රතිමාව තැන්පත් කර ඇති විහාර ගෙය ඕලන්ද ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ඕලන්ද යුගයේ ඉදිවුවකි. එසේම විහාර ගෙය පිවිසුම් මාර්ගයේ ඉදිකර ඇති තොරණ මුදුනේ බ්‍රිතාන්‍ය රාජ්‍ය ලාංජනය අපූරුවට නිර්මාණ කර ඇති බව දැක ගන්නට හැකිය. මෙම ලාංඡනය සහ ගාල්ල කොටුවට ඇතුළුවන පරණ කොටු දොරටුව උඩින් ඇති ලාංඡනය එක හා සමාන වේ. සිංහයෙකු සහ කඟවේනකු ඔටුන්නක් ඔසවාගෙන සිටින දර්ශනයක් ලෙස පෙනේ.

මෙම චිත්‍ර මේ වන විට මුඵමණින්ම වාගේ විනාශ වෙමින් පවතින අතර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මෙය රැක ගැනීමට ඉමහත් උත්සාහයක් දරන බවත් පෙනෙන්නට ඇත.

එසේම මෙම විහාරස්ථානයට වසර 200කට වඩා පැරණි සීමාමාලකයක් ද ඇත. එය විහාරස්ථානයට අනෙක් පැත්තට වෙන්නට ඇති පඩිපෙළින් පහළට බැස ගිය විට පිහිටා ඇත. එය දිය මත ඇති විශාල ගල් කණු මත ලී වලින් අපුර්ව ලෙස නිර්මාණය කර තිබේ.

මේ පිළිබඳව දොඩන්දුව ශෛලබිම්බාරාම විහාරාධිපති, පරිවේනාධිපති, දෙවුරම්වෙහෙර මේධාලංකාර හිමියන් මෙසේ පැවසූහ,

"එදා ලංකාවේ තිබුණු ප්‍රසිද්ධ වරායක් තමයි දොඩන්දූව වරාය. එම වරායෙන් දොඩන්දුව ධම්මසාර හාමුදුරුවෝ ගිහින් තියෙන්නේ පිළිම වහන්සේ වැඩමවීමට. මේ ප්‍රදේශයේ රුවල් නැව් 17ක් සම්බන්ධ කරගෙන ලුණුමිදෙල්ල කොට තියලා එ මත තමයි පිළිම වහන්නේ තැන්පත් කරලා තියෙන්නේ. ඒ ආකාරයට දොඩන්දූව වරායට වැඩම කරගෙන විත් ඒ වරායේ ඉඳලා මේ ස්ථානයට ගේන්න කළපුව හරහා මුහුදට ඇළක් කැපුවා. මේ වන විට මෙම ඇළ පස් වලින් ගොඩවෙලා ගිහිල්ලා. ඒත් එහෙම ඇළක් තිබුණාය කියලා දැක ගන්න පුඵවන්. ඒ ප්‍රධාන පිළිමය සහ ඒ වගේම ඊට වඩා තරමක් පොඩි පිළිමයකුත් වැඩම කරලා තියෙනවා. ඒකටත් හේතුවක් තියෙනවා. එදා ඉන්දියාවේදී මේ පිළිමය ලංකාවට වඩම්මන්න හදනකොට හින්දු අය විරුද්ධ වෙලා තියෙනවා. ඒකට හේතුව ඒ අය විශ්වාස කරන්නේ පිළිමය ඔවුන්ගේ දස අවතාරවලින් එකක් කියල නිසයි. පසුව ධම්මසාර හාමුදුරුවෝ ඉංග්‍රීසී ආණ්ඩුවට කරුණු ඉදිරිපත් කරලා නඩු අහලා මෙය අයිති බෞද්ධයන්ට කියලා තීරණය කරල තියෙනවා. ඒ අනුව තමයි මෙම පිළිමය වැඩම වීමට කටයුතු කරලා තියෙන්නේ. ප්‍රධාන පිළිමය වඩම්මල මාසයක් විතර ගියාම මම අර ඉස්සෙල්ලා කිව්ව පොඩි පිළිමය අරගෙන ලංකාවට ඇවිල්ලා තියෙනවා.

පිළිමය වඩම්මවලා තියෙන්නේ 1836 අවුරුද්දේ දී. ඒ වෙනකොට විහාරය හුඟක් පොඩියි. පසුව පිළිම වහන්සේලා දෙනමම තැන්පත් කරලා විහාරගෙය ලොකු කරලා හදලා තියෙනවා. 1836 දී හරුමල්ගොඩ සුමංගල හාමුදුරුවන්ගේ කාලේ ඒ කියන්නේ පිළිමය වඩම්මලා අවුරුදු 100ක් ගියාට පස්සේ, 1936 දී තමයි ගල් පිළිමය රත්තරන් ආලේප කරලා තියෙන්නේ."

දීර්ඝ ඉතිහාසයක් ඇති දොඩන්දූව ශෛලබිම්බාරාමය දැක බලා ගැනීමට, වැදුම් පිදුම් කිරීමට එදිනෙදා දෙස් විදෙස් සංචාරකයින් පැමිණිය ද, මේ වන විට මෙම පන්සලේ මහනුවර සම්ප්‍රදායට අයත් චිත්‍ර විනා‍ශ වෙමින් පවතී. එසේම මෙහි ඉතාම පැරණි ඝණ්ටාර කුලුන කෙරෙහි ද අවධානය යොමු කළ යුතු වේ. එසේම අපගේ මෙම උරුමයන් රැක බලා ගැනීමට මීට වඩා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මෙන්ම අදාළ බලධාරීන්ගේ අවධානය නිතැතින්ම යොමු විය යුතු වන්නේය.

සටහන සහ ඡායාරූප ප්‍රභාත් විතානානාච්චි දකුණු පළාත් විශේෂ


නව අදහස දක්වන්න