බැතිමතුනි ගවලෙනට පිදුරු නැත | දිනමිණ

බැතිමතුනි ගවලෙනට පිදුරු නැත

සිංහල ව්‍යවහාරයට අනුව උඳුවප් මාසය නමින් හඳුන්වනු ලබන දෙසැම්බර් මාසය මෙරට පමණක් නොව පිටරටවලද කිතුනු භක්තිකයනට විශේෂිත මාසයක් ලෙස නම් කළ හොත් නිවැරදිය.

දෙසැම්බර් මාසයේ දී උදාවන නත්තල ඉතා උත්කර්ෂවත් ලෙස සැමරීමට කතෝලික බැතිමතුන් මහත් ආසාවෙන් බලා සිටින්නේ උත්තරීතර වූ ජේසු බිලිඳාගේ උත්පත්තිය සිහිකිරීමටය. ජේසු බිලිඳාගේ උපත සැමරීම වෙනුවෙන් සමහරු කැරොල් ගී ගායනා කරති. තවත් සමහරු නත්තල් ගසේ තෑගි භෝග එල්ලමින් විවිධ සැරසිලි කරති. සෑම නිවෙසක් ඉදිරිපිටම ගවලෙන් තනති.

ගවලෙන් තැනීමේ අර්ථය ලෙස දක්වා ඇත්තේ, ජේසු බිලිඳා මෙලොව එළිය දැක ඇත්තේ උඳුවප් මාසයේ දී ඊශායලයේ බෙත්ලෙහෙම්පුරේ ගව ලෙනකදී උපන් බව සිහිගැන්වීමය. එම ඉපදීම සංකේතවත් කිරීම පිණිස කතෝලික බැතිමත්තු පුරුද්දක් ලෙස අදටත් ගවලෙන් සෑදීමට පුරුදුව සිටිති.

ජේසු බිලිඳාගේ උත්පත්තිය සිදුවන මොහොතේ එකී ගවලෙන තුළ ජීවමානව සිටි බැටළුවන්, අහසේ දිස්වූ වල්ගාතරු, දේව දූතිකාවන්, මරියතුමිය, ජුසේතුමා, වර්තමානයේ නිරූපනය කිරීම සදහා අඹන ලද ප්‍රතිමා තැබීමට ද ගව‍ලෙන් තනන්නෝ අමතක නොකරති. ඒ ගවලෙන ජීවමාන කරනු පිණිසය.

මේ ගවලෙන වර්තමානයේ විවිධ මාදිලි ඔස්සේ සැකසේ. ගවලෙන් නිර්මාණකරුවෝ ඒ සඳහා විවිධ අමුද්‍රව්‍ය යොදා ගනිති. විවිධ අලංකාර නිර්මාණ කරති.

මෙම උත්තරීතර වූ ගවලෙන කතෝලික භක්තිකයින්ගේ මහත් වූ ආදරයටත්, ගෞරවයටත් පාත්‍රව තිබීම නිසා සෑම නත්තල් උත්සවයක් පාසාම මේ අපූර්වතම ගවලෙන සෑම නිවෙසකම තිබිය යුතු මූලිකාංගයක් ලෙස කතෝලික බැතිමත්තු සලකති.

මෙම ගවලෙන් නිර්මාණය කරන්නන් සොයා අපි පුත්තලම, තිල්අඩිය ප්‍රදේශය වෙත ගමන් ඇරඹුවෙමු.

දැක්මෙන් පිදුරු කඳු ගොඩ ගසාගෙන කාඩ්බෝඩ් වලින් වටවී කුඩා ලී පතුරු උපයෝගි කරගෙන විසිතුරු ලී මඩු තනනු අපගේ ඇස ගැටිණි. ගවලෙන් නිර්මාණ කර්මාන්තයේ යෙදෙන මොවුහු ගව ලෙනක් අංග සම්පූර්ණව නිමා කිරීම සඳහා පැයකට අධික කාලයක් වැය කරති.

ඉතා මටසිලිටු සියුම් උපකරණ ආධාරයෙන් නිර්මාණය ඔපමට්ටම් කිරීමට මේ පිරිස අපරිමිත වෙහෙසක් දරන බවක් පෙනෙන්නට තිබේ.

මේ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ඔවුන් සපයා ගන්නේ ඉතා අපහසුවෙනි. අව්වට වේලෙමින් වැස්සට තෙමෙමින් ගවලෙනේ වහලය සඳහා අවශ්‍ය පිදුරු සොයා මොවුහු සැතපුම් ගණනාවක් කුඹුරු බහුල ගම්මාන කරා පිය නඟති. කාඩ්බෝඩ් සොයා ගැනීමේදී ද විවිධ දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුවන බව ඔවුහු කියති.

මහා පරිමාණ ලී මඩුවලින් ඉරා ඉවත දමන ලී පටි රැගෙන එන ඔවුහු පසුව ඒවා නැවත අවශ්‍ය ප්‍රමාණ වලට කපා ගනිති. ඒ හා සමානව අනෙක් අඩුම කුඩුම සොයා ගන්නා මේ නිර්මාණකරුවන් සිය නිපැයුම් ඉතා උසස්ම ප්‍රමිතියෙන් සකස් කිරීමට ගන්නා උත්සාහය පුදුමය දනවන සුළුය.

ඉතාමත් සියුම් මෙන්ම කලාත්මක නිර්මාණයක් වන මේ අපූර්වතම ගවලෙන් නිර්මාණය කිරීමේදී ඔවුහු අභියෝග රැසකට මුහුණ දෙති. ඇතැම් විටෙක නිර්මාණය අතරතුරදී කැඩී බිඳීයාම් ද සිදුවේ. එවිට ඒ සඳහා වැය කළ ශ්‍රමයත් ධනයත් කාලයත් අපතේ යයි. තමන්ට එහි පාඩුව ද විඳදරා ගැනීමට සිදුවන බව ද ඔවුහු කියති.

පෙනුමෙන් ඉතා අලංකාර වූ මේ ගවලෙන් වෙළෙඳපොළේ අලෙවි වන්නේ ඉතාමත් ඉහළ මිළ ගණන් යටතේ වුවද, කර්මාන්තකරුවා මේ තුළින් උපයා ගන්නේ ඉතාමත් සොච්චම් මුදලකි.

මොවුන්ගේ මේ නිර්මාණ රුපියල් 450 සිට 1500 දක්වා මිල ගණන් යටතේ අලෙවි වන බව කියති. පුත්තලම දිස්ත්‍රික්කයේ විවිධ ප්‍රදේශවල මේ අගනා ගවලෙන් ඉතා පහසුවෙන් අලෙවි වන බව නිර්මාණකරුවෝ කියති. ඒ අනුව පුත්තලම, හලාවත, කල්පිටිය වැනි බහුතරයක් කතෝලික බැතිමතුන් සිටින ප්‍රදේශයන් මොවුන්ගේ ඉලක්ක බවට පත්ව තිබීම නිසා සිය නිපැයුම් එවැනි ප්‍රදේශයන් වෙත රැගෙන යාමට නිෂ්පාදකයෝ කටයුතු කරති.

මෙසේ නිම කරන ලද නිපැයුම් රැගෙන මොවුන් පුත්තලම දිස්ත්‍රික්කයේ ගමක් නගරයක් පාසා රැගෙන යති. මේ ගවලෙන් අලෙවි නොවන අවස්ථා ද තිබේ. එවැනි විටෙක තමන්ට එදින ගමන් වියදම් සහ අනෙකුත් වියහියදම් දරා ගැනීමට සිදුවන බව කියති.

සැබැවින්ම නත්තලේ අගය ලොවට කියාපෑමට අපමණ වෙහෙසක් දරන මොවුන්ට රජයෙන් හෝ වෙනත් ආයතනයකින් කිසිදු පිළිසරණක් නොලැබේ. එපමණක් නොව ධනවත් පන්තියේ බහුතරයක් අද වන විට නත්තල් සමයේදී දේශීය ගවලෙන් වෙනුවට පොලීතින් වලින් කරන ලද සැරසිලි මිලදී ගැනීම පුරුද්දක් කරගෙන සිටීම ද ඔවුන්ගේ කර්මාන්තයට පාඩුවක් බව කියති.

එහි අතුරුපලය වන්නේ නත්තල් දිනයට පසු දින ලෙනට යොදා ඇති පොලිතීන් නිවෙස පුරාම දැකිය හැකි වීමය. එක් නිවෙසක පමණක් නොව බහුතරයක් කතෝලික පිරිස ඉන්නා නගරයක මෙසේ කෘත්‍රීම පොලිතින් භාවිතයෙන් කෙසේ අපිරිසුදු වන්නේදැයි ප්‍රශ්නාර්ථයක්ව තිබේ.

දුප්පත් අතකින් ඔපමට්ටම් වන දේශීය අමුද්‍රව්‍ය යොදා සකසන මෙවැනි නිර්මාණයක් පවුලේ නත්තල වෙනුවෙන් රැගෙන යන්නේ නම් ඒ තුළින් මේ දුප්පතුන්ගේ නත්තල සරුවනවා පමණක් නොව පරිසරය ද අලංකාර වනු නොඅනුමානය.

මේ සම්බන්ධයෙන් අප කළ විමසුකදී අදහස් දැක්වූ පාරම්පරික ගවලෙන් නිර්මාණකරණයේ නියැලෙන සුනිල් ෆොන්සේකා මහතා - "මම අවුරුදු 8ක, 10ක විතර ඉඳලා මේ කර්මාන්තය කරගෙන යනවා. සමහර කාලවලදී ලොකු ලාභයක් ලබනවා. සමහර කාලවලදී විශාල පාඩුවක් ලබනවා. අපිට මේ කර්මාන්තයේ තියෙන ලොකුම ගැටලුව තමයි අවශ්‍ය අමුද්‍රව්‍ය සොයා ගන්න එක. මේ නිර්මාණවලට අවශ්‍ය පිදුරු මේ දවස්වල සොයා ගන්න ගොඩක් මහන්සි වෙන්න ඕන. මේ දවස්වල වැස්ස නිසා පිදුරු තෙමෙනවා. තෙමුණු පිදුරු මේවාට යොදා ගන්න බැහැ.

ඉස්සර වගේ නෙමෙයි දැන් ගොවියන් කාර්යක්ෂම මැෂින් උපයෝගී කරගෙන ගොයම් කපන්නෙ. එතකොට අවසානයේ පිදුරු නෙමෙයි ඉවත් වෙන්නෙ කාටු. කාටු අරගෙන අපිට මේ නිර්මාණය කරන්න අපහසුයි.

දැන් පිදුරු අලෙවි වෙන්නෙ ඉහළ මිළ ගණන් යටතේ. ඒකත් අපිට ලොකු ගැටලුවක්. මේ ගවලෙනක් හදන්න මට පැයක් දෙකක් ගත වෙනවා. එහෙම මහන්සි වෙලා හදන මේ ගවලෙන් වෙළෙඳ පොළට ගෙනියන්න ඊට වඩා මහන්සියක් දරන්න සිද්ධ වෙනවා. එක සැරේකට ගවලෙන් 8ක් විතර තමයි ගෙනියන්න පුළුවන්. ලොකු ඒවා නම් එකයි ගෙනියන්න පුළුවන්. ඒ අවස්ථාවලදී අපි පාඩු ලබනවා. අනෙක දැන් මේ ගවලෙන් අලෙවිය අඩු වෙලා තියෙන්නෙ. මොකද කඩේ විකුණන්න තියෙන ප්ලාස්ටික් වලට තමයි සල්ලි තියෙන අය ප්‍රමුඛතාවය දෙන්නේ. එයාලා කැමති නැහැ අපේ මේ නිෂ්පාදන මිලදි ගෙන වාහනයේ රැගෙන යද්දි වාහනය ඇතුළෙ පිදුරු හැලිලා වාහනය අපිරිසුදු වෙන නිසා.

එවැනි ගැටලු ගොඩාක් එක්ක තමයි මේ කර්මාන්තය කරගෙන යන්න වෙලා තියෙන්නෙ."

නිලන්ති අපොන්සු මහත්මිය - "අපි දැන් අවුරුදු ගාණක් තිස්සේ ගවලෙන් නිර්මාණයේ යෙදෙනවා. නමුත් අද වන විට අපි ප්‍රශ්න ගොඩකට මුහුණ දෙනවා. මහන්සිවෙන තරමට ලැබෙන ප්‍රතිඵලය අඩුයි. නමුත් ජීවිත තෘප්තිය අපිට මේ තුලින් ලැබෙනවා. ඒ සතුට අපට ජීවිත කාලයටම වටිනවා. අන්න ඒ නිසා තමයි අපි මේ කර්මාන්තය අතනොහැර දිගටම කරගෙන යන්නෙ.

 

සටහන සහ ඡායාරූප කේ.ප්‍රියංකර කළුපහන වනාතවිල්ලුව සමූහ


නව අදහස දක්වන්න