ගතවන මොහොතේ රාජ්‍ය සේවය | දිනමිණ

ගතවන මොහොතේ රාජ්‍ය සේවය

ආණ්ඩුවේ කිනම් අර්බුද තිබුණද ජනතාව වෙනුවෙන් සිය වගකීම් නොපිරිහෙළා ඉටු කරන ලෙසද ඒ සම්බන්ධයෙන් තමා සියලු වගකීම් බාර ගන්නා බවද ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා සියලුම අමාත්‍යංශ ලේකම්වරුන් වෙත දැනුම් දුන්නේය. රාජ්‍ය සේවය යනු මහජන සේවයය. එබැවින් කුමන තත්ත්වයත් යටතේ වුවද, මහජන සේවය ඉටු විය යුතුය. අර්බුද අවස්ථාවක රාජ්‍ය සේවකයන්ට පැවරෙන වගකීම හා යුතුකම කුමක්ද යන්න පිළිබඳ විද්වතුන් දක්වන අදහස් වෙනුවෙන් මෙවර දේශපාලන කොලෝසිමේ ඉඩ වෙන්වේ.


සුපුරුදු විදියට රාජකාරි කරන්න

මහාචාර්ය ගාමිණී සමරනායක

පසුගිය දා ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශයට පත්කරන ලද අතුරු තහනම් නියෝගය නිසා ආණ්ඩුව අක්‍රීයභාවයට පත්වුණා. අභියාචනාධිකරණ තීන්දුව ලැබෙන තුරු යම්කිසි අස්ථාවරභාවයක් පවතිනවා. නමුත් පැහැදිලිවම සඳහන් කළ යුතු කාරණාව වන්නේ මෙහිදී අස්ථාවර වී ඇත්තේ ආණ්ඩුව පමණයි. රජය ස්ථාවරව පවතිනවා. ආණ්ඩුව ලෙසින් අප හඳුන්වන්නේ මහජනයා විසින් ඔවුන්ගේ මතයට අනුව පත්කරගන්නා ආයතනයක්. එය රටෙහි භූමිය, ප්‍රජාව, ස්වාධිපත්‍ය ඇතුළත්ව ස්ථාවරව පවතින රජයේ එක කොටසක් පමණයි. සියලු අන්තර්ජාතික සබඳතා පවතින්නේ ආණ්ඩුව සමඟ නොවේ රජය සමඟ. ඒ නිසා මේ තිබෙන තත්ත්වය යටතේ සියලු අමාත්‍යාංශ තමන් භාරයට ගනිමින් ඒවායේ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යන්නට ජනාධිපතිතුමාට වගකීමක් බලයක් තිබෙනවා.

රජයේ සේවකයන්ගේත් අමාත්‍යාංශවලත් ප්‍රධානියා විධායකය. 1958 හදිසි අවස්ථාව ක්‍රියාත්මක කළ අවස්ථාවේදීත් රජයේ විධායකය බවට පත්වූ ආණ්ඩුකාර ඔලිවර් ගුණතිලක යටතේ සියලු දිසාපතිවරුන් සහ පරිපාලන නිලධාරින් ක්‍රියාත්මක වුණා. මේකත් එවැනි අවස්ථාවක්. මෙතැනදී විධායකයේ නියෝගවලට අනුව කිසිදු බේදයකින් තොරව සිය කාර්යභාරය අඛණ්ඩව සුපුරුදු ආකාරයෙන් පවත්වාගෙන යාම අමාත්‍යාංශ ලේකම්වරුන් සහ රාජ්‍ය සේවකයන්ගේ කාර්යභාරයක්. අධිකරණ තීන්දුව හෝ ආණ්ඩුවෙහි ව්‍යාකූල බව නිසා රාජ්‍ය කටයුතු බිඳවැටීම හෝ අකර්මණ්‍ය වීම සිදුවිය නොහැකියි. එයින් මහජනතාවට අහිතකර බලපෑමක් සිදුවිය යුතු නැහැ. ආණ්ඩුවේ කටයුතු යථා තත්ත්වයට පත්වන තුරු බලාසිටීම කළ හැකි හෝ කළ යුතු ක්‍රියාවක් නොවෙයි. ඒ නිසා සිය වගකීම් පිළිබඳ අවධානය යොමුකරමින් විධායකයට අනුව ක්‍රියාත්මක වීම සිදුකළ යුතුයි. විශේෂයෙන්ම ආරක්ෂක ‍සේවාවන්ට මෙහිදී විශාල කාර්යභාරයක් පැවරී තිබෙනවා. රටේ නීතිය සහ සාමය ආරක්ෂාකිරීම කෙරෙහි සිදුවී ඇති යම්කිසි ගැටලුකාරී තත්ත්වයක් නිසා රටේ සියලු කටයුතුවලට බලපෑම් සිදුනොවන ආකාරයෙන් එම කටයුතු ඉදිරියට කරගෙන යාම රාජ්‍ය අංශයේ සියල්ලන්ගේම වගකීමක්.

දිල්රු ජයසේකර


ජනතා සුබසාධනය මඟහැරිය නොහැකියි

 ආචාර්ය මාලක රණතිලක

මේ වන විට ශ්‍රී ලංකාවේ මතුව ඇති දේශපාලන අර්බුදකාරී තත්ත්වය සුවිශේෂීම එකකි. මෙවැන්නක් මීට පෙර අප රටේ සිදු වී නැත. මෙවන් මොහොතක පූර්ණ වශයෙන්ම රට පාලනය කිරීමේ බලය ව්‍යවස්ථානුකූලවම විධායක ජනාධිපතිවරයා වෙත පැවැරී තිබේ.

‍රටේ මූල්‍ය පාලනයේ බලය හා අනුමැතිය පාර්ලිමේන්තුවේ අනුමැතිය යටතේ සිදු කළ යුතුය. මේ වන විට පාර්ලිමේන්තුව වෙත අනුමැතිය සඳහා ජාතික අයවැයක් හෝ අතුරු සම්මත ගිණුමක් හෝ ඉදිරිපත් කිරීමට කටයුතු කළ නොහැකි ස්වභාවයක් නිර්මාණය වී තිබේ. වසර 2018 දෙසැම්බර් මස 31 වැනිදා දක්වා කාලය තුළ රජයේ මූල්‍ය පාලනය මීට කිසිසේත්ම බලපාන්නේ නැත. මේ වසර නිමාවන තෙක් රජයේ වියදම් කිසිදු ගැටලුවකින් තොරව කළ හැකිය. හේතුව 2018 අයවැය සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබී තිබෙන නිසාය.

මේ වන විට රටේ මතුව ඇති දේශපාලන අර්බුදය නිසා ප්‍රශ්නයක් වන්නේ නම් ඒ ලබන වසරේ ජනවාරි 01 වැනිදා සිට ඉදිරියට රජයේ වියදම් සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ගැනීමයි. නමුත්! ඒ සඳහා අනුමැතිය ලබාගන්නට අවස්ථාවක් නොමැති නම් ජනාධිපතිවරයාට මාස හතරකට රටේ මූල්‍ය පාලනය කිරීමට විසර්ජන පනත් කෙටුම්පතක්, අතුරු සම්මත අයවැයක් තුළින් අවකාශ සලසා ඇත. පාර්ලිමේන්තුව අක්‍රීය වී තිබෙන මොහොතක ඉදිරියට කළ හැකි කාර්යය එයයි.

ලෝකයේ ඕනෑම රටක ප්‍රධාන වශයෙන් රජය සහ රාජ්‍ය අංශය කියා දෙපාර්ශ්වයක් ක්‍රියාත්මක වේ. මින් රජය යනු කිසියම් නිශ්චිත කාලපරිච්ඡේදයකට ජනතා පරමාධිපත්‍ය බලය වන ඡන්ද බලයෙන් ජනතා කැමැත්තෙන් රට කරවීමට ආණ්ඩුවක් පත්කර ගැනීමය. ජනතා කැමැත්තෙන් පත්වන රජය, රටේ සංවර්ධනය, ජනතා සුබසාධනය සඳහා වැඩපිළිවෙළ, ප්‍රතිපත්ති, නීතිරීති සම්පාදනය කිරීමෙහිලා කටයුතු කරයි.

රාජ්‍ය අංශය යනු, රජය ගනු ලබන තීන්දු තීරණ ක්‍රියාත්මක කරන ව්‍යුහාත්මක කොටසයි. ජනතාවගේ රාජ්‍ය සේවා අවශ්‍යතා කිසිම ප්‍රමාදයකින්, අපහසුතාවයකින් තොරව කඩිනමින් සුහදශීලීව ඉටුකරලීම මේ ව්‍යුහාත්මක කොටසේ නැතිනම් රාජ්‍ය පරිපාලන නිලධාරි කණ්ඩායමේ වගකීමය. ඒ අනුව චිරාත් කාලයක් මුළුල්ලේ රාජ්‍ය පරිපාලන නිලධාරීන් ලෙස අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ සිට සෙසු රාජ්‍ය සේවකයන් අඛණ්ඩව මේ සේවාවන් ඉටුකොට ඇත. අදටත්, හෙටටත් එය එලෙසම ඉටුකළ යුතුව ඇත.

මේ වන විට රටේ පත්ව ඇති සුවිශේෂී අර්බුදකාරී තත්ත්වය මත පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා ගත් තීන්දුව පිළිබඳව අධිකරණයේ පෙත්සමක් විභාග වෙමින් පවතියි. එහි තීන්දුව කුමක්දැයි ‍තවමත් ප්‍රකාශ වී නැත. කෙසේ නමුත්! ඕනෑම රටකට ආර්ථික හා සාමාජික ස්ථාවරභාවය ඇතිකරලීමට දේශපාලන ස්ථාවරභාවය පැවැතිය යුතුය. ඒ අනුව අප රටේ ද දේශපාලන ස්ථාවරභාවය ඉක්මනින් ඇතිකර ගැනීමට දේශපාලන පක්ෂ නායකයන් කටයුතු කළ යුතුය. මතුව ඇති අර්බුදකාරී තත්ත්වයෙන් රටේ පොදු මහජනතාවට සිදුවන පීඩා අවමකොට, එතෙක් රටේ සාමාන්‍ය පරිපාලනය ඉදිරියට ගෙන යා යුතුව ඇත. ඒ සඳහා ක්‍රියාත්මක වීමේ පූර්ණ ‍බලය ජනාධිපතිවරයා ‍සතුය.

ජනාධිපතිවරයා සතු බලතල අනුව රාජ්‍ය සේවය යහපත්ව ක්‍රියාත්මක කිරීමට කැපවන්නැයි සියලු රාජ්‍ය නිලධාරීන්ගෙන් ජනාධිපතිවරයා ඉල්ලා සිටීම සහ ඒවා සම්බන්ධ පූර්ණ වගකීම හා වගවීම තමා දරන බව පැවැසීම පැසසිය යුතු කරුණකි.

රාජ්‍ය සේවකයන්ට අතීතයේ පටන් සිදුකිරීමට පැවැරී ඇති පොදු ජනතාවගේත්, රටේත් අභිවෘද්ධිය, තිරසාර බව උදෙසා වූ සේවා සැපැයීම මෙවන් අර්බුදකාරී මොහොතක නොපිරිහෙළා ඉටුකිරීමට දිරියක්, බලගැන්වීමක් ජනාධිපතිවරයාගේ එම ඉල්ලීම මඟින් සිදු වී තිබේ. එය, මේ අර්බුදකාරි තත්ත්වයන් කෙමෙන් පහව යන තෙක් රාජ්‍ය සේවය බිඳ නොවැටී හෝ ජනතාව අපහසුතාවයට පත්නොකොට හෝ රටක් ලෙස අපට ඉදිරියට යා හැකි සුදුසුම මඟය.

ජයසිරි මුණසිංහ


අර්බුදයේ බලපෑමෙන් ජනතාව මුදවන්න

 ආචාර්ය සුදත් ගුණසේකර

අගමැති හා ඇමැති මණ්ඩලය සඳහා අතුරු තහනම් නියෝගයක් පැනවූ පසු රාජ්‍ය යාන්ත්‍රණය කඩා වැටීමට නොදී ඉදිරියට පවත්වා ගෙන යෑමේ කාර්ය භාරයේ වැඩි වගකීම පැවරෙන්නේ අමාත්‍යංශ ලේකම්වරු හා දෙපාර්තුමේන්තු ප්‍රධානීන්ටය. අගමැති, ඇමැතිවරුන් හා අමාත්‍යාංශ ලේකම්වරුන් පත් කිරීමේ බලධාරීයා වන්නේ ජනපතියි. රටේ විධායක ජනපති ලෙස තේරී පත්වන පුද්ගලයාගේ පරම යුතුකම වන්නේ මහජන සුබසෙත සඳහා වැඩ කිරීමය. පවතින අර්බුදකාරී වාතාවරණය මගින් රටේ ආණ්ඩුවක් නොමැති තත්ත්වයක් නිර්මාණය කර තිබේ. මේ හේතුවෙන් රාජ්‍ය යාන්ත්‍රණයද කඩා වැටීමේ අවදානමක් පවතී. එසේ වුවහොත් සිදුවන්නේ සාමාන්‍ය ජන ජීවිතය පවා අඩාල වීමය.

රාජ්‍ය සේවකයා යනු බලයේ සිටින දේශපාලන පක්ෂයේ ගෘහ සේවකයෙකු නොවේ. ඉංග්‍රීසීන් විසින් මෙය පබ්ලික් සර්විස් ලෙස නම් කළේ එබැවිනි. සුද්දා මහජන සේවය ලෙස නම් කළ වෘත්තිය අපේ පාලකයන් රාජ්‍ය සේවය ලෙස වෙනස් කළේය. නීති තිබෙන්නේ මිනිස්සු වෙනුවෙන් මිස මිනිස්සු ඉන්න ඕන නීති වෙනුවෙන් නොවෙයි. ජන ජීවිතය අඩාල වී රට අර්බුදයකට ලක් වෙනවා නම් නීතිවලින් පිටින් ගොස් බහුජන හිතසුව පිණිස කටයුතු කිරීම වරදක් නොවෙයි. ජනපති දැන් ගෙන තිබෙන්නේ එවැනි තීරණයක්. මේ මොහොතේ ආණ්ඩුවක් නොමැති අවස්ථාවක නීති මත තවදුරටත් යැපෙමින් ජන ජීවිතය තව තවත් අවුල් කිරීමට කවුරුන් හෝ උපදෙස් දෙන්නේ නම් එය පිළිගත හැකි තත්ත්වයක් නොවේ.

අමාත්‍යංශ ලේකම්වරුන්ට පැවරෙන ප්‍රධාන රාජකාරී දෙකක් තිබේ. එකක් නම් අමාත්‍යංශයේ ඇමැතිවරයාට අවශ්‍ය මඟ පෙන්වීම හා උපදෙස් ලබා දීමය. දෙවැන්න අමාත්‍යාංශයට ලැබෙන මුදල් නිසි ලෙස කළමනාකරණය කිරීමය. ඇමැති මණ්ඩලයට වාරණයක් පනවා තිබෙන බැවින් දැන් ලේකම්වරුන්ගේ පළමු කාර්යය ක්‍රියාත්මක කිරීම අවශ්‍ය නොවේ. එසේ වුවත් මූල්‍ය කළමනාකරණය සිදු කිරීමට ඔවුනට බාධාවක් නොමැත. මේ වනවිට ජනපතිවරයා විසින් ආණ්ඩුව විසුරුවා හැරීමක් සිදුකර තිබුණත් එම තීන්දුව සම්බන්ධයෙන් අතුරු තහනම් නියෝගයක් පනවා තිබෙන බැවින් රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක වීම පිණිස කිසිදු බාධාවක් නොමැත. මේ අවස්ථාවේ රාජ්‍ය සේවකයන්ද දේශපාලන ක්ෂේත්‍රයේ සිදුවන වෙනස්කම් පිළිබඳ නොසිතා ජනතා සේවයට කැපවිය යුතුය. ජනතාවගේ බදු මුදලින් වැටුප් ලබන රාජ්‍ය සේවකයාගේ පරම යුතුකම වන්නේ මේ පවතින දේශපාලන අර්බුදවල බලපෑම ජනතාවට දැනෙන්නට ඉඩ නොදී හැකි තරම් තමන්ගේ වගකීම් කොටස ඉටු කරන්නට වෙහෙස වීමය.

අසේල කුරුළුවංශ


ජනපති කළේ වැදගත් ඉල්ලීමක්

 ආචාර්ය අජිත් දිසානායක

මේ වන විට අප රටේ මතුව ඇති තත්ත්වය හමුවේ ආර්ථික, සාමාජික ක්ෂේත්‍රවල පවා පීඩා මතුව තිබේ. මේ පීඩා ඇතිවීමට හේතුව රටේ මූලික ලියවිල්ල වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට කඩිමුඩියේ සිදුකළ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයයි. මේ ව්‍යවස්ථා සංශෝධනයට පෙර විධායක ජනාධිපති, ව්‍යවස්ථාදායකය හා අධිකරණය යන ව්‍යුහයන් තුන ගැටලුවකින් තොරව ක්‍රියාත්මක විය. එනමුත් 2015 ජනවාරි 08 න් පසුව කඩිමුඩියේ සිදුකළ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය හේතුවෙන් වර්තමානය වන විට මේ ආයතන තුන තුළ බලය පිළිබඳ විවාදයක්, කතිකාවක් ඇරඹී තිබේ. එය මේ වන විට අධිකරණමය ක්‍රියාදාමයක් තුළින් විසඳාගන්නා තත්ත්වයට පැමිණ ඇත.

මෙවන් වටාපිටාවක රටේ සාමාන්‍ය ජනතාවට රාජ්‍ය සේවා කිසිදු අපහසුතාවකින් අවහිරයකින් තොරව ලබාගැනීමට බාධා වන්නේ නම් එය වැළැක්වීම ජනාධිපතිවරයා සතු යුතුකමකි. වගකීමකි. ඒ සඳහා වූ පූර්ණ ව්‍යවස්ථානුකූල බලය ජනාධිපතිවරයාට හිමි වී තිබේ.

ඒ අනුව යමින් ර‍ටේ රාජ්‍ය සේවය බිඳ නොවැටී පවත්වා ගැනීමට කටයුතු කරන්නැයි ජනාධිපතිතුමා අමාත්‍යාංශ ලේකම්වරු, ප්‍රධාන ‍රජයේ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටීම අගය කළ යුතුය. එසේ නොවුණා නම් රාජ්‍ය සේවයේ පිහිට පතන සාමාන්‍ය ජනතාවට පීඩාවලට ලක්වීමට ඉඩකඩ ලැබෙනු ඇත.

සාමාන්‍ය ජනතාව පීඩාවට පත් නොකොට රාජ්‍ය සේවය පවත්වාගෙන යෑමට අවශ්‍ය තීන්දු තීරණ ගැනීමට නිලධාරීන්ට උපදෙස් දීමට ජනාධිපතිවරයාට නොහැකි යැයි විපක්ෂයේ ඇතැම්හු පවසති. එය අමු මුළාවකි. ජනාධිපතිවරයා රටේ ජනතාවගේ නායකයාය. සේනාධි නායකයාය. ජාතික ආරක්ෂාව, රටේ ජනතාවගේ සුබසාධනය, සංවර්ධනය පිළිබඳ වගකීම් දරන පුද්ගලයාය. රටේ ජනතාවගේ දුක, කඳුළ පිසදාලීමට රාජ්‍ය සේවය නිසි ලෙස යොදාගන්නට උපදෙස් දීම, මඟපෙන්වීම ජනාධිපතිවරයා සතු ව්‍යවස්ථාමය අයිතියකි.

කරුණු එසේ හෙයින් ජනාධිපතිවරයා මේ අවස්ථාවේ රාජ්‍ය නිලධාරීන්ගෙන් කළ ඉල්ලීම ඉතාම සාධාරණය. එවන් ඉල්ලීමක් සිදු නොවන්නට රාජ්‍ය නිලධාරීන් විවිධ කටකතා, විවිධ වැරදි මත, අදහස් අනුව සේවය කරන පිරිසක් බවට පත්වීමට පවා ඉඩ තිබුණි. මේ සියලු දෝෂ නිවැරැදි කිරීමට ජනාධිපතිවරයා කළ ඉල්ලීම හේතු විය.

රටේ ජනතාවගේ සැබෑ ජනනායකයා ලෙස මේ අවස්ථාවේ ජනාධිපතිවරයා රාජ්‍ය නිලධාරීන්ගෙන් කළ ඉල්ලීමේ වටිනාකමේ අගය වැඩි බව කිව යුතුය.

ජයසිරි මුණසිංහ


වැඩිපුර වැඩ කරන්න ඕන වෙලාවක්

 මහාචාර්ය චන්දන පී. උඩවත්ත

විධායකයේ ප්‍රධානියා රටේ ජනාධිපතිවරයායි. අමාත්‍යංශ ලේකම්වරු පත් කරන්නෙ ජනාධිපතිවරයා විසින්. අමාත්‍යංශ ලේකම්වරුන්ට රාජකාරි පවරන්න සහ ඕනම අවස්ථාවක උපදෙස් ලබා දෙන්න ජනාධිපතිවරයාට බලය තියෙනවා. ඇමතිවරු නැතිවීම එතනදි ගැටලුවක් නෙවෙයි. අපිට ඉහළින් ඉන්න නිලධාරියට වගේම ඊට ඉහළින් ඉන්න නිලධාරීන්ටත් අපිට රාජකාරි පවරන්න පුළුවන්. රටේ අගමැතිවරයෙක් හෝ අමාත්‍ය මණ්ඩලයක් නැති අවස්ථාවක තීන්දු තීරණ ගන්නත්, නිලධාරීන් මෙහෙයවන්නත් ජනාධිපතිතුමාට සම්පූර්ණ බලතල තියෙනවා. ඒ සම්බන්ධයෙන් ජනපතිට තියෙන බලය අභියෝගයට ලක් කරන්න බෑ. අපිට ඉන්නෙ විධායක බලතල සහිත ජනාධිපතිවරයෙක්.

අමාත්‍යංශ ලේකම්වරුන්ට වගකීම් හා රාජකාරි පැවරීමේ හැකියාව ජනාධිපතිවරයාට තියෙනවා. පවත්නා දේශපාලන අර්බුදය හමුවේ රට අරාජික වෙන්න නොදී ජනපති ගත්ත මේ තීන්දුව කාලෝචිතයි. මේ වෙද්දි රජයේ ඉහළම තනතුරක් දරන නිලධාරියකු විදිහට රටට ඉන්නෙ ජනාධිපතිවරයා.

රටේ සහ රජයේ කටයුතු, මහජනතාවගේ කටයුතු, සුබසාධන කටයුතු නොපිරිහෙළා පවත්වාගෙන යෑමට එතුමට සම්පූර්ණ වගකීමක් පැවරෙනවා. මේ පවත්නා තත්ත්වය යහපත් අතට හැරෙන තුරු එදිනෙදා කටයුතු කරගෙන යා යුතුයි. ඒ හේතුව නිසා තමයි ජනාධිපතිතුමා, අමාත්‍යංශ ලේකම්වරුන්ට ඒ විදිහට උපදෙස් දීලා තියෙන්නෙ.

පවතින තත්ත්වය කුමක් වුවත් යම්කිසි රාජකාරියක් සහ වගකීම් සමුදායක් අමාත්‍යංශ ලේකම්වරු ඇතුළු ඒ සියලුම නිලධාරීන්ට පැවරිලා තියෙනවා. තමන්ගේ තනතුර ඇතුළෙ පැවරිලා තියෙන රාජකාරිය අකුරට ඉටු කිරීමට තමන්ගෙ ඉහළ නිලධාරියා පුටුවෙ ඉන්නවාද නැද්ද කියන එක අදාළ නෑ.

රාජ්‍ය සේවය වෙනුවෙන් ඔවුන් මහජනතාවගේ බදු මුදලින් වැටුප් ලබනවා වගේම තම තමන්ගේ රාජකාරීය නොපිරිහෙලා ඉටු කිරීමටත් බැඳී සිටිය යුතුයි. පත්වීමේ ලිපිය අනුව රාජකාරී සමුදායක් පැවරිලා තියෙනවා. මාසේ අන්තිමට වැටුප ගන්නවා නම් රාජකාරිය ඉටු කිරීමටත් බැඳිලා ඉන්නවා.

ඇමතිවරුන් නෑ කියලා මේ වෙලාවේ අමාත්‍යංශ ලේකම්වරු, නිලධාරින් සහ සේවකයන් තමන්ගේ රාජකාරියෙන් කර ඇරිය යුතු නෑ. මේ ඔවුන් රට වෙනුවෙන් තව තවත් කැප වෙලා වැඩ කළ යුතු කාල වකවානුවක්. තමන්ගේ වැටුපට සරිලන සේවයක් රටට සහ ජනතාවට සැපයිය යුතුයි. මහජනතාව වෙනුවෙන් යුතුකම් සහ වගකීම් ඉටු කළ යුතුයි.

මේ අවස්ථාවේ අපි හැමෝම අත්විඳින්නේ වෙනස් අත්දැකීමක්. උදාවෙලා තියෙන්නේ අනපේක්ෂිත තත්ත්වයක්. නමුත් මෙවැනි අවස්ථාවලදී තමයි වඩාත්ම කල්පනාකාරීව සහ වගකීමෙන් යුතුව සියල්ලන් රට වෙනුනේ වැඩ කළ යුත්තේ.

කාංචනා සිරිවර්ධන


නව අදහස දක්වන්න