කඩදාසි රැකීමද රටේ අභිවෘද්ධියද | දිනමිණ

කඩදාසි රැකීමද රටේ අභිවෘද්ධියද

තරුණ නීතීඥ සංගමයේ සභාපති,ආචාර්ය කාංචන සිල්වා

''ව්‍යවස්ථාවෙන් මෙන්ම නීතිමය අංශයෙන් නොයෙක් බාධා තිබුණත් රාජ්‍ය ප්‍රතිපත්ති බාධාවකින් තොරව ඉදිරියට යා යුතුය.ව්‍යවස්ථාවේ යම් ගැටලු පැවතුණත් ඒ සියල්ල පසෙක තබා රාජ්‍ය ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යෑම පිණිස ජනපති ගත් තීන්දු තීරණ දැන් අභියෝගයට ලක්කර තිබේ''

විධායකය,ව්‍යවස්ථාදාකය හා අධිකරණය යන මෙරට ප්‍රධාන බල කේන්ද්‍ර තුනෙන් ප්‍රධාන වශයෙන් ප්‍රවෘත්ති මවනු ලබන්නේ විධායකය හා ව්‍යවස්ථාදායකය විසිනි.මේ නිසාම මාධ්‍යය මගින් දෛනිකව විධායකය හා ව්‍යවස්ථාදායක ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධ තොරතුරු, ප්‍රවෘත්ති ජනතාව හමුවට ගෙන එනු ලබයි.ජනපති සහ මැති ඇමැතිවරුන් කියන කරන දේ සහ ඔවුන් කරනු ලබන ප්‍රකාශ කෙරෙහි මාධ්‍ය වැඩි අවධානයක් යොමු කරත්දී අධිකරණය හා සම්බන්ධ තොරතුරු වලට ලැබුණේ තරමක් අඩු අවධානයකි.දේශපාලනඥයන්ට හෝ රජයේ ඉහළ නිලධාරියකුට එරෙහිව විභාග වන නඩුවක් සම්බන්ධ තොරතුරු හැරෙන්නට ජනතාවද අධිකරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු නොකළහ.එහෙත් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයෙන් ඉවත් කර එයට මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා පත් කිරීමත් සමඟ ගෙවුණු සති හයකට ආසන්න කාලය තුළ මෙරට ජනතාවගේ වැඩි අවධානයක් යොමුව තිබෙන්නේ අධිකරණ තීණ්දු කෙරෙහිය.රටේ ඉදිරි ගමන සඳහා ඍජුව බලපාන තීන්දු අධිකරණය ඔස්සේ නිකුත් වීමට නියමිතය.ජනපති ගත් තීන්දු තීරණ අභියෝගයට ලක් කරමින් මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු කිහිපයක් විභාග වෙමින් තිබෙන අතර ඒවාහි තීන්දු ලබා දෙන තෙක් අතුරු තහනම් නියෝගද පනවා තිබේ.

අධිකරණ නියෝග

ආණ්ඩුව විසුරුවා හැර මහ මැතිවරණයක් පැවැත්වීමට ජනපති ගත් තීරණය අභියෝගයට ලක් කරමින් එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පක්ෂ කිහිපයක් මෙන්ම ජනතා විමුක්ති පෙරමුණද,දෙමළ සන්ධානයද අධිකරණයට ගියේය.පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනපති ගත් තීරණය ව්‍යවස්ථාවට එකඟද නැද්ද යන්න පිළිබඳ එළඹෙන 07 දින අධිකරණය මගින් තීන්දුවක් ලබා දීමට නියමිතය.ජනපති පත්කළ අගමැති වරයා ප්‍රමුඛ ආණ්ඩුවට පාර්ලිමේන්තුව තුළ බහුතරයක් නොමැති බැවින් ඔවුන්ට එම තනතුරු දැරීමට නීත්‍යානුකූල අයිතියක් නොමැති බවට අභියාචනා අධිකරණයට පෙත්සම් දෙකක් මගින් ඉදිරිපත් කර තිබුණේ කතානායකවරයා හා මහාචාර්ය සරත් විජේසූරිය මහතාය.පාර්ලිමේන්තුව තුළ විශ්වාසභංග යෝජනාවක් සම්මත කර තිබියදී මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරයේ කටයුතු කරන බව පෙත්සම්කාර පාර්ශ්ව පෙන්වා දී තිබූ අතර එය සැලකිල්ලට ගෙන මහින්ද රාජපක්ෂ මහතාට අගමැති ධූරයේත් කැබිනට් අමාත්‍ය,රාජ්‍ය අමාත්‍ය හා නියෝජ්‍ය අමාත්‍ය ධූරවල කටයුතු කරන හතළිස් නව දෙනකුට එම ධූර දැරීමත් තාවකාලිකව වලක්වාලමින් අභියාචනා අධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.අභියාචනා අධිකරණය ලබාදුන් එම තීන්දුවට එකඟ නොවන බව දක්වා ආණ්ඩු පක්ෂය මේවන විට ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ගොනුකර තිබේ.සියල්ල විශ්ලේෂණය කිරීමේදී පෙනී යන්නේ පසුගිය මාසයක කාලය රටේ අවධානය යොමුවූ මෙන්ම රටට බලපාන්නාවූ තීන්දු තීරණ ගනු ලැබුවේ අධිකරණය විසින් බවයි.අධිකරණය මගින් ලබාදුන් මෙම තීන්දු හේතුවෙන් ඉතිහාසයේ ප්‍රථම වතාවට මේ වනවිට රටේ ආණ්ඩුවක් නොමැති තත්ත්වයක් නිර්මාණය වී තිබේ.

විධායකය,ව්‍යවස්ථාදායකය හා අධිකරණය යන මෙරට ප්‍රධාන බල කණු තුන අතර දැන් බරපතළ අර්බුදයක් නිර්මාණය වෙමින් ඇති බවක් පෙනේ.අගමැති හා ඇමැති මණ්ඩලය පත් කිරීමේ බලධාරියා වන්නේ ජනපතිවරයාය.අධිකරණය ලබාදුන් මෙම තීන්දු ඔස්සේ දැන් ප්‍රශ්න කෙරෙමින් පවතින්නේ ජනපති ගත් තීණ්දු තීරණ හරිද වැරදිද යන්නය.ඒ අනුව විධායකය හා අධිකරණය අතර මතවාදී ගැටුමක් සඳහා අවශ්‍ය පසුබිම දැන් නිර්මාණය වී තිබේ.යම් කාරණයක් සම්බන්ධයෙන් අධිකරණය තීන්දුවක් ලබා දීමට ප්‍රථම එම තීණ්දුව හේතුවෙන් සමාජ අර්බුදයක් ඇති විය හැකිද යන්න සලකා බැලිය යුතුය.අර්බුදයක් සමනය වීමට ඇති ඉඩ ප්‍රස්ථාවට වඩා අර්බුදයක් තව තවත් වැඩි වීමට අධිකරණ තීණ්දුවක් බලපාන්නේ නම් එය යහපත් තත්ත්වයක් නොවේ.රටට යහපතක් ආණ්ඩුකරණයට බාධාවක් නොවන තීන්දු අධිකරණය මගින් අපේක්ෂා කරන්නේ ඊට එරෙහි තීන්දු තීරණවලින් රටත් ජනතාවත් අපහසුතාවට පත්වන බැවිනි.

බස් ජනසතු කිරීම සඳහා රජය ගත් තීන්දුවට අභියෝග කරමින් මහනුවර ඔමිනි බස් සමාගම අධිකරණයට ගියේය.එහිදී අදාළ බස් සමාගමට එදිරිව නීතිපති නඩු තීන්දුව මෙම අවස්ථාවේ සැලකිල්ලට ගැනීම සුදුසුය.රජය ගනු ලබන ප්‍රගතිශීලි තීරණය සැලකිල්ලට ගනිමින් එහිදී අධිකරණය තීණ්දුව ලබා දුන්නේ පොදු ජනතා සුබ සිද්ධිය මුල් කරගෙනය.ව්‍යවස්ථාවෙන් මෙන්ම නීතිමය අංශයෙන් නොයෙක් බාධා තිබුණත් රාජ්‍ය ප්‍රතිපත්ති බාධාවකින් තොරව ඉදිරියට යායුතුය.ව්‍යවස්ථාවේ යම් ගැටලු පැවතුණත් ඒ සියල්ල පසෙක තබා රාජ්‍ය ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යෑම පිණිස ජනපති ගත් තීන්දු තීරණ දැන් අභියෝගයට ලක්කර තිබේ.මේ සියල්ල තුළ අද සිදුව තිබෙන්නේ රට අරාජික තත්ත්වයක් වෙත තල්ලුවී යාමය.

ආණ්ඩුව විසුරුවා හැරීමට ජනපති ගත් තීරණය අභියෝගයට ලක් කරමින් ගොනු කළ පෙත්සම් සලකා බලා අතුරු තහනම් නියෝගයක් නිකුත් කළ අධිකරණය එහි තීන්දුව ලබා දීමට ගෙන තිබෙන කාලය වැඩිය.අදාළ කාල සීමාව දිගු වීම නිසා අද ඊට පක්ෂ හා විපක්ෂ පිරිස් මහපාරට බැස විවිධ විරෝධතා පැවැත්වීමට පටන් ගෙන ඇත.පාර්ලිමේන්තුව නාඩගම් මඩුවක් බවට පත් වෙමින් මහජන මුදල් කාබසිනියා කරන තැනක් බවට පත්ව තිබේ.ආරවුලක් පවතින ඉඩමක එක් පාර්ශ්වයක් මාඉම යැයි සිතන කොටසක තාප්පයක් ඉදිකරන අවස්ථාවක අනෙක් පාර්ශ්වයට අධිකරණයේ පිහිට පැතිය හැකිය.එහිදී අධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනු ලබන්නේ දෙපාර්ශ්වය අතර අර්බුදයක් ඇති වීම වළක්වනු පිණිසය.එවැනි අවස්ථාවක තාප්පය ඉදිකළ පාර්ශ්වයට තව දුරටත් තාප්පය බැඳීමට අවසර නොලැබෙයි.

මහජන මුදල්

එලෙසින්ම අනෙක් පාර්ශ්වයට තාප්පය කඩා බිඳ දැමීමටද අවකාශ නොලැබෙන බව ද අප තේරුම් ගත යුතුය.තාවකාලිකව ලබා දෙන අතුරු තහනම් නියෝගයක් මගින් නඩුවේ වාසිය කාටද යන්න තීරණය නොවේ.අද සිදුවන බොහෝ දේ වලින් පෙනෙන්ට තිබෙන්නේ මෙම තත්ත්වය ඇතැමුන් නිවැරැදිව වටහාගෙන නොමැති බවය.

කතානායකවරයා පක්ෂග්‍රාහී ලෙස කටයුතු කරමින් පාර්ලිමේන්තුව රැස්කර විශ්වාස භංග සම්මත කිරීමට අවකාශ සලසද්දී ආණ්ඩු පක්ෂය දිගින් දිගටම කතානායක තීන්දු තීරණ වර්ජනය කරමින් පාර්ලිමේන්තුවට නොයා සිටියි.මෙම කාලය තුළ පාර්ලිමේන්තු රැස්වීම් සඳහා වැයවන මහජන මුදල ලක්ෂ දහස ඉක්මවයි. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනපති ගත් තීරණය නිවැරදි යැයි අධිකරණය මගින් තීන්දුවක් ලබාදුන හොත් සිදුවන්නේ කුමක්ද?.මෙම කාලය තුළ වැයකළ මහජන මුදල්වලට වග කියන්නේ කවුද?.අධිකරණය මෙම තීණ්දුව ලබාදීම පිණිස මෙතරම් කාලයක් නොගෙන එක දිගට අදාළ පෙත්සම් විභාග කර තීන්දුවක් කඩිනමින් ලබා දුන්නේ නම් මෙවැනි තත්ත්වයක් ඇති නොවන්නට තිබිණි.අධිකරණය මෙම තත්ත්වය පිළිබඳව සලකා බැලිය යුතුව තිබිණි.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රැකීමට ගොස් රට ආරාජිකවී අර්බුද රැසක් මැදට රට තල්ලුවී යන්නේ නම් ඉන් පලක් නැත.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අපේක්ෂා කරන්නේ රටේ හා ජනතාවගේ සුබ සිද්ධියය.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රකින්නට ගොස් එම අපේක්ෂා භංග වන්නේ නම් එය යළි යළිත් සාකච්ඡා කළ යුතු ප්‍රශ්නයකි.

ව්‍යාකූලත්වයක් ඇති වීම

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මෙරට පරමාධිපත්‍ය බලය හිමි වන්නේ ජනතාවට මිස පාර්ලිමේන්තුව නියෝජනය කරන මැති ඇමැතිවරුන්ට නොවේ.විධායකය තීරණය කර තිබෙන්නේ ජනතා පරමාධිපත්‍ය බලය හිමි ජනතාවට එය උරගා බැලීම සඳහා අවකාශ ලබා දීමටය.අද වනවිට විධායකය තරමක ව්‍යාකූලත්වයකට පත්ව ඇත.ව්‍යවස්ථාදායකය මුළුමනින්ම මේ ඔස්සේ ව්‍යාකූලත්වය පත්ව තිබේ.අධිකරණයද මෙම ගැටලුව හේතුවෙන් දැන් ව්‍යාකූලත්වට පත් වෙමින් තිබෙන බව පැහැදිලිව පෙනෙන්ට තිබේ.ලෝකයේ අධිකරණ ක්‍රියාවලිය ආරම්භවූ මුල් වකවානුවේ තීන්දු ලබා දීමේදී ප්‍රාථමික රීති අනුගමනය කළේය.නීති පොත්වල තද කළු අකුරින් දක්වා ඇති වගන්ති ප්‍රකාරව තීන්දු ලබා දීම එහිදී සිදු කෙරුණි.

පසුකාලීනව ස්වර්ණමය රීතිය හඳුන්වා දෙනු ලැබුණේ, පෙර රීතිය අනුගමනය කිරීම තුළින් සිදුවන වැරදි තවත් අවම කර ගැනීමටය.එහිදී පොත්වල පැවැති වගන්තිවලින් ඔබ්බට ගොස් පෙනෙන්ට තිබෙන කාරනාද සැලකිල්ලට ගෙන තීන්දු ලබා දුන්නේය.එයින්ද ඔබ්බට ගොස් අද ලෝකය පුරා පිළිගනු ලබන්නේ අනර්ථ රීතියයි.එහිදී යම් තීන්දුවක් මගින් සිදුවන අනර්ථයද සැලකිල්ලට ගෙන එයද වැලැක්වීම කෙරෙහි අවධානය යොමුකර තීන්දු ලබා දීම සිදු කෙරෙයි.මෙය ලෝකයම පිළිගන්නා තත්ත්වයකි.පසුගිය දිනවල දේශපාලන ක්ෂේත්‍රයේ ඇතිවූ කැළඹීම් ස්වභාවයත් සමඟ අධිකරණය මගින් ලබාදුන් තීන්දුවලදී අනර්ථ රීතිය සැලකිල්ට ගත්තේද යන ප්‍රශ්නය දැන් මතුව තිබේ.එම තීන්දුවලින් පසු සමාජය තුළ අර්බුද රැසක් නිර්මාණය වී තිබෙන බව පැහැදිලිව දක්නට ලැබෙන තත්ත්වයකි.

පාර්ලිමේන්තුව තුළ අර්බුදයක් මතුව තිබේ. ලබන වසර සඳහා අයවැය සකස් කිරීම ගැටලුවක් බවට පත්ව ඇත.අගමැතිවරයෙක් හා ඇමැති මණ්ඩලයක් නොමැත.මේ නිසාම රාජ්‍ය අංශයද අකර්මණ්‍ය වී තිබේ.රට ආර්ථික අතින් පහළට ඇද වැටෙත්දී රුපියල අගය ඩොලරය හමුවේ තව තවත් කඩා වැටෙමින් ඇත.සංචාරක ව්‍යාපාරය බිඳ වැටෙමින් තිබේ.රටේ ඉදිරි ගමන් මඟ පිළිබඳව අවිනිශ්චිත වාතාවරණයක් ගොඩ නැගෙමින් ඇත.මෙම තත්ත්වයෙන් රට මුදා ගැනීම පිණිස විධායකයට ව්‍යවස්ථාදායකට මෙන්ම අධිකරණයටද බරපතළ වගකීමක් පැවරී ඇත.කඩදාසි රැකීමට වඩා කළ යුතුව තිබෙන්නේ රටේ යහපැවැත්ම හා අභිවෘද්ධිය පිණිස තීන්දු තීරණ ගැනීමය.

සටහන අසේල කුරුළුවංශ

නව අදහස දක්වන්න