බෙල්ල ගහල යන සන්නිවේදන දුර්වලතාව | දිනමිණ

බෙල්ල ගහල යන සන්නිවේදන දුර්වලතාව

ෆුලර් වෙතත්, මැකාති දෙසත් ප්‍රශ්නාර්ථය හඟවන බැල්මක් හෙළූ වෙයින්බර්ග්, උරහිස් ගස්සා යළිත් කාමරයෙන් පිටවූයේ තවත් සුට්කේස් දෙකක් රැගෙන ඒමටය. වටපිට බැලූවිට ක්වීන්ස් කාර්යාලයේ නිලධාරීන් කිසිවකුත් පෙනෙන්නට සිටියේ නැති නිසා හේ සූට්කේස් දෙක රැගෙන යළිත් කාමරයට වැදුණි. ෆුලර් යළිත් වරක් මැජික් වචන තෙපලුවත් කිසිම වෙනසක් සිදුවූයේ නැත.

නියම කරගත් පරිදි පසුදිනයේ වෙයින්බර්ග්, ෆුලර් හා මැකාති ව්‍යාජ මුදල් මිටි ඇසිරූ, කුණු කොල්ලයට මිලදී ගත් සූට්කේස් පහක් අතැතිව ලාගාඩියා ගුවන් තොටුපොළේ සම්මන්ත්‍රණ ශාලාවට පැමිණියහ. ෆුලර් ඇඳුමට යටින් ඉලෙක්ට්‍රොනික සම්ප්‍රේශකයක් පැලඳගෙන සිටියේ තමන් අත්අඩංගුවට ගැනීමට ඒ අසලම රැඳී සිටින නිලධාරීන් පිරිස හා සන්නිවේදනය පවත්වා ගැනීමටය. ගිනිඅවි සෙල්ලම්බඩු මෙන් වගවිභාගයක් නැතිව හැසිරවීමට සද්දන්ත බෙල් තුළ වූ නැඹුරුව නිසා කවුරුත් සිටියේ තැතිගැන්මෙනි. වටලන්නට සූදාමින් සිටි ක්වීන්ස් කාර්යාලයේ නිලධාරීන් පිරිසට උපදෙස් ලැබී තිබුණේ ෆුලර් තැන්පතු සහතික සියල්ල නිවැරදි බව ප්‍රකාශ කළ විගස දොරවල් බිඳගෙන ශාලාවට කඩාවැදෙන්නටය.

බෙල්ගේ පිරිස පැමිණීමත් සමඟ ගනුදෙනුව ඇරඹුණි. වෙයින්බර්ග් සමඟ ෆුලර් සහ මැකාතිද ඊට සහභාගි වූහ. අක්වෙරළ බැංකුවෙන් ලබාදුන් ව්‍යාජ තැන්පතු සහතික පරීක්ෂා කිරීමට ඉල්ලා සිටි වෙයින්බර්ග් සහතික තුන්සීයයම එකින් එක පරීක්ෂා කොට ඒවා අත්සන් කර ඇති බවට සැක හැර ගත්තේය මෙවැනි කටයුතු සම්බන්ධයෙන් පළපුරුදුකම් ඇත්තකුගේ ලීලාව කාටත් පාමින් සියල්ල නිවැරදි බව තහවුරු කරගැනීමෙන් පසු හේ කාමරයෙන් පිටතට ගොස් මුදල් ඇසිරූ සූට්කේස් දෙකක් රැගෙන ආවේය. ගෙනා සැණින් විවෘත කොට ඒවා පරීක්ෂා කිරීමට සද්දන්තයාට ඕනෑ වුවත්, ඔහුටත් වඩා කෛරාටික වෙයින්බර්ග් එය වැළක්වූයේ සූට්කේස් පහම ඇතුළට ගෙනැවිත් තබන තුරු ඒවා විවෘත කිරීමට නොහැකි බව කියමිනි. හේ නැවත කාමරයෙන් පිටවූයේ තවත් මුදල් මලු දෙකක් රැගෙන ඒමටය.

එහා මෙහා ගෙන යා හැකි ඉලෙක්ට්‍රොනික සම්ප්‍රේෂක සමඟ වැඩකර අත්දැකීම් ඇති කවුරුත් දන්නා පරිදි එවැනි උපාංග යනු අනවශ්‍ය වෙලාවට ටක්කෙට වැඩ කරන, අවශ්‍ය අවස්ථාවේදි මොන විදිහකින්වත් වැඩ කරවීමට නොහැකි කරදරකාරී බඩුය. අත්හදා බැලීමට පරික්ෂා කරන වෙලාවට ඒවා තිතට වැඩ කරන නමුත්, ක්ෂේත්‍ර මෙහෙයුම්වල තීරණාත්මකම අවස්ථාවලදී කුමන හෝ අවුලක් සිදුව සියල්ල කණපිට හරවයි. එක්කෝ සන්නිවේදනය මුළුමනින්ම නවතියි. නැතිනම් කුරු කුරු හඬ නගමින් ඇහෙන වචනය හෝ දෙකත් නෑසෙන තත්වයට පත්කරයි. එදා ලාගාඩියා ගුවන් තොටුපළේදි හොර කල්ලිය සමඟ පැවති හමුවේදී සිදුවූයේද ඊට වැඩි දෙයක් නොවේ. වැටලීමට එළියේ රැක සිටි පිරිස ඇතුළට කැඳවන මැජික් වචන කිහිපය ෆුලර් වරක් නොව දෙවරක්ම කියූවද කිසිදු වෙනසක් සිදු නොවුණේ පෙරදා රාත්‍රියේ නිදි වරාගෙන නැවත නැවත පරීක්ෂා කළ ඉලෙක්ට්‍රොනික උපාංගවල තරම කියාපාමිනි.

ෆුලර් වෙතත්, මැකාති දෙසත් ප්‍රශ්නාර්ථය හඟවන බැල්මක් හෙළූ වෙයින්බර්ග්, උරහිස් ගස්සා යළිත් කාමරයෙන් පිටවූයේ තවත් සුට්කේස් දෙකක් රැගෙන ඒමටය. වටපිට බැලූවිට ක්වීන්ස් කාර්යාලයේ නිලධාරීන් කිසිවකුත් පෙනෙන්නට සිටියේ නැති නිසා හේ සූට්කේස් දෙක රැගෙන යළිත් කාමරයට වැදුණි. ෆුලර් යළිත් වරක් මැජික් වචන තෙපලුවත් කිසිම වෙනසක් සිදුවූයේ නැත. වෙයින්බර්ග්ට තරු පෙණිනි. හේ දහදිය වගුරවමින් අවසාන සූට්කේසය රැගෙන ඒමට පිටතට ගියේ කරන්නට දෙයක් නැති නිසාය. දැන් සූට්කේස් සියල්ල සූදානම්ය. ඒවා විවෘත කළ සැණින් සද්දන්තයාගේ වෙඩි උණ්ඩයට ගොදුරුවීම නිසැක බව මැකාති හා ෆුලර් කෙසේ වෙතත් වෙයින්බර්ග් දැන හුන්නේය.

“දැන් අරිනවා ඔක්කොම එකට.“ බෙල් ගිගිරුවේ ඒ වන විටත් ඔහුගේ ඉවසීමේ රතු ඉර පැන තිබුණු බැවිනි.

සිත තුළ තෙරපෙන බිය මැඬලමින්, වෙව්ලන දෑතින් යතුරු කැරැල්ල සොයද්දීත් වෙයින්බර්ග්ගේ ඇස් යොමුව තිබුණේ කබා සාක්කුවේ රුවාගෙන සිටි බෙල්ගේ දෑත් වෙතය. ශාලාවේ දොර බිඳගත් පොලිස් භට පිරිස ඇතුළට කඩා පැන්නේ කොයි මොහොතේ මැෂින් තුවක්කුවක් පත්තුවේද කියා වෙයින්බර්ග් බියෙන් සැලෙමින් සිටියදීය. පසුව දැනගන්නට ලැබුණු පරිදි ඔවුන්ගේ ප්‍රමාදයට හේතුව විවෘත කිරීමට නොහැකි පරිදි දොර නොසිතූ ලෙස සිරවීමය. වෙයින්බර්ග්, ෆුලර් හා මැකාති ඇතුළුව කාමරයේ සිටි සියලුදෙනාම වැඩි දැඟලිල්ලක් නැතිව අත්අඩංගුවට ගැනුණු අතර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප මත මුදා හැරීමට පියවර ගැනිණි.

තමාට පැවරුණු වගකීම ජෝන් ජේකබ්ස් අකුරටම ඉටු කළේය. ඊට දෙවැනි නොවන්නට වෙයින්බර්ග්ද තමාගේ කොටස දුරකතනය හරහා කෙතරම් සාර්ථකව ඉටු කළාද යත් ඇමරිකානු රජයට එරෙහිව සද්දන්තයාගේ කල්ලිය නඩුවක් ගොනු කළහ. අබ්දුල්ගේ අවංකභාවය ගැන බෙල්ගේ හොර කල්ලියට සුළු හෝ සැකයක් තිබුණා නම් එයද පහව ගියේ වෙයින්බර්ගේ සටකපටකම් නිසාය. අබ්දුල් තමන්ට ලබාදීමෙන් පසු, එෆ්.බී.අයි. ආයතනය භාරයට ගත් ඩොලර් මිලියන දාහතක් අසුරා තිබූ සූට්කේස් නැවත ලබාදෙන ලෙස ඉල්ලමින් බෙල් කල්ලිය ෆෙඩරල් අධිකරණයේ නඩුවක් පැවරුවේ වෙයින්බර්ග්ගේ අවංකභාවයට ගරු කරන්නටය. 1978 දෙසැම්බර් 4දා ගොනු කළ එම නඩුවෙන් "ඉන්ටර්නැෂනල් බෑන්ක් ඇන්ඩ් ට්‍රස්ට් කොම්පැනි ඔෆ් ද සිටි ඔෆ් ලන්ඩන් ලිමිටඩ්" නමැති අක් වෙරළ බැංකුව චෝදනා කර සිටියේ තමාට හිමි මුදල් අත්අඩංගුවට ගැනීම මඟින් ඇමරිකානු රජය බැංකුවේ සංශෝධිත හතරවන හා පස්වන අයිතීන් උල්ලංඝනය කෙරූ බවයි.

ගහෙන් වැටී සිටි එෆ්.බී.අයි. ඒජන්තවරුනට ගොනා අනින්නට පටන් ගත්තේ, ඇමරිකානු නීතිපතිගේ සහායකයකු විසින් අධිකරණයට කළ හෙළි කිරීමක් හේතුවෙනි. එම වැටලීම අබ්දුල් එන්ටර්ප්‍රයිසස් හා බෙල් කල්ලිය අත්අඩංගුවට ගැනීමට රජය කරමින් සිටි මහා මෙහෙයුමක එක් අදියරක් බවට කළ එම අනාවරණයත් සමඟ එෆ්.බී.අයි. ආයතනයට කරන්න ඉතිරිව තිබුණේ එක් දෙයක් පමණි. ෆෙඩරල් විනිසුරු ජේකබ් මිෂ්ලර්ව පුද්ගලිකවම හමුවූ තෝමස් පූචියෝ හා ඔහුගේ සහායක ජෝන් ජේකබ් ඇත්ත හෙළි කරමින් රහසිගත නීත්‍යානූකූල ලියවිල්ලක් භාර දුන්හ. මේ වන විට ඇබ්ස්කැම් මෙහෙයුම නිව් ජර්සි හා ඇට්ලන්ටා නගරවල දේශපාලනික වශයෙන් සිදුවන දූෂණ අපවාදවල ගැඹුරටම කිමිදී ඒවා අනාවරණය කරගැනීමේ සටනක නිරතව සිටින හෙයින්, තවදුරටත් තමන්ට කාලය ලබාදෙන ලෙසට ඔවුහු විනිසුරුවරයාගෙන් ඉල්ලා සිටියහ.

පූචියෝගේ සහ ජේකබ්ගේ ඉල්ලීම් ඵල දැරුවේය. විනිසුරු මිෂ්ලර් චූදිතයින්ට එරෙහි චෝදනා විභාග කිරීම තාවකාලිකව අත්සිටවූවා පමණක් නොව රාජසන්තක කළ ව්‍යාජ මුදල් නෝට්ටු මිටි ආරක්ෂිතව රජය භාරයේ තබාගැනීමටද පියවර ගත්තේය. ඇබ්ස්කැම් මගඩිය ප්‍රසිද්ධියට පත්වන්නට නොදී යන්තම් ජාමේ රැකගත්තේ විනිසුරු මිෂ්ලර්ට පින්සිදු වන්නටය. නමුත් ඒ හේතුවෙන් ඔහුට ඊට පසුව ඇබ්ස්කැම් සම්බන්ධ සියලුම නඩු විභාග කිරීමෙන් වැළකී සිටින්නට සිදුවිය.

මේ සියලු අකරතැබ්බ මැද ඇබ්ස්කැම් මෙහෙයුම දිනෙන් දින වඩාත් පුළුල් වෙමින් එහි උත්කෘෂ්ඨත්වය ළඟා වෙමින් තිබුණි. එහි දැලට අසුවන්නට මදි නොකියන්නට තෝරු මෝරු නිව්යෝක් හා ෆ්ලොරිඩා නුවරවල ගැවසෙමින් සිටීමත්, වාසනාවක් විය. ඇබ්ස්කැම් යනු රජය ප්‍රාර්ථනා කළ ආකාරයටම මුදල් වංචා නීතියේ රැහැනට හසුකර ගැනීමට ඇරඹුණු දෙබිඩි මෙහෙයුමක් බව ඒ සියල්ලෙන් තහවුරු විය. දූෂිත කොන්ග්‍රස් සාමාජිකයින් පවා නීතිය හමුවට ගෙනෙමින් එය එෆ්.බී.අයි. ඉතිහාසයේ දැවැන්තම ඇමරිකාවම හෙල්ලු, දෙබිඩි මෙහෙයුම බවට පත්කළේ ජෝන් ගුඩ් හා මෙල් වෙයින්බර්ග්ගේ අපූර්ව උපායශීලී දක්ෂතාවයය.

“හොර මගඩිකාරයෙක් වුණාම තියෙන්න ඕනේ ලොකුම දක්ෂකම තමයි එයාගේ ඇමට අහුවෙච්ච ‘සලකුණු‘ නියම වෙලාව එනකම් කල් ඇර ඇර කොක්කෙ එල්ලගෙන තියාගන්න එක. ඒ කියන්නේ එයාගේ සල්ලි ආපහු දෙන එක කල් දාන්න මොන ගේමක් ගහලා හරි පිළිගන්න පුළුවන් හේතු දෙන එක. මට ඒ කාලේ ඔය වගේ කල් දාන උත්තර දෙන්න වෙන දුරකතන ඇමතුම් දවසකට දහයක් පහළොවක් ඉවසන්න සිද්ධ වුණා. ඒ වගේ වෙලාව ගොත ගගහා ඇදෙන පැදෙන උත්තර දිදී ඉන්න පුළුවන්කමක් නැහැ. මුණටම කෙළින් උත්තර දෙන්න ඕනා, ආවොත් ආවා, ගියොත් ගියා. ඒත් කවුරුත් මාව දාලා ගියේ නැහැ. මොකද මගෙන් සල්ලි ඉල්ලගෙන එන අය සතුටු කරන උත්තර හැම තිස්සෙම මං ගාව තිබුණා.

එක පාරක් මම දුන්නු හේතුව ඒ දවස්වල ඉරානෙත් එක්ක තිබ්බ අර්බුදය. ඒ වගේ කාටත් බොරු කරන්න බැරි හොඳ පදනමක් තිබ්බ හේතුවලින් තමයි මම කරදරකාරයන්ව මේච්චල් කර ගත්තේ. වාසනාවකට ඒ කවුරුත් කවදාවත් මගේ බොරු අල්ලගන්න තරම් නුවණක්කාර වුණේ නැහැ. සමහර අය සල්ලි නැතිව වුණත් මට හොර තැන්පතු සහතික දෙන්න ඉදිරිපත් වුණා. අන්තිමේදි එෆ්.බී.අයි එකටම එපා වෙලා නවත්තන්න වෙන තරමට මගේ මේ ‘අද නෙවෙයි හෙට‘ සිස්ටම් එක නැඟලා ගියා. “

වෙයින්බර්ග් අදටද තම දක්ෂතා ගැන කතා කරන්නේ ආඩම්බරයකින් හා හැඟීම්බරවය.

ඇබ්ස්කැම් යනු වේදිකා නාට්‍යයක් නම් එහි චරිත නිරූපණයට ඉදිරිපත් වූ වංචාකරුවන් බොහෝ දෙනෙක් අතරමගදී හැලී ගියේ එහි අවසානයට ඔවුන්ගෙන් එතරම් දායකත්වයක් ලැබුණේ නැති නිසාය. එම ඔක්තෝබර් මාසයේ අවසාන කාලයේදි පමණ අබ්දුල්ගේ ලෝන්ග් අයිලන්ඩ්හි පිහිටි ප්‍රධාන මූලස්ථානයට ගොඩවැදුණු එක්තරා පුද්ගලයකු නිසා ඇමරිකානු ඉතිහාසයේ දැවැන්තම අපවාදයක් වෙනස්ම මාර්ගයකට යොමු විය. එම පුද්ගලයා වූයේ බිල් රොසෙන්බර්ග්ය.

පරිවර්තනය රුක්ලන්ති පෙරේරා

හෙට - ලාස්වේගාස් ගිය යාළුවන් දෙන්නා

 

නව අදහස දක්වන්න