රනිල් අගමැති කරන්න ජනපතිගේ අකමැත්ත පුදුමසහගතයි | දිනමිණ

රනිල් අගමැති කරන්න ජනපතිගේ අකමැත්ත පුදුමසහගතයි

කමනි අල්විස්

ජනාධිපතිවරයා සිදුකිරීමට නියමිත බව කියන තවත් ජිල්මාට් එකක් පිළිබඳව තොරතුරු අනාවරණය වෙමින් පවතින අතර එය වන්නේ ඩලස්, ජනක බණ්ඩාර හෝ ජොන් යන තිදෙනාගෙන් එක් අයකු අගමැති ලෙස පත්කරමින් තවත් රූකඩ සංදර්ශනයක් පැවැත්වීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පසුගියදා (2) අරලියගහ මන්දිරයේ පැවති යුක්තියේ ජනහඬ මාධ්‍ය සාකච්ඡාවේදී පැවැසීය.

මේ වනතුරු ජනාධිපතිවරයාට කිසිම වචනයක් කියා නොමැති මහත්මා ලක්ෂණවලින් හෙබි රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති ධුරය ලබාදීමට ජනාධිපතිවරයාගේ අකමැත්ත පුදුම සහගත බව පැවසූ මන්ත්‍රී බණ්ඩාර මහතා, පක්ෂයේ කිසිම මන්ත්‍රීවරයකුට ජනාධිපතිවරයාට එරෙහිව වචනයක්වත් පැවැසීම සිදු නොකරන ලෙසට පක්ෂයේ මන්ත්‍රීවරුන්ට එදා රනිල් වික්‍රමසිංහ මහතා තරවටු කර තිබෙන බවත් ප්‍රකාශ කළේය. ඉන්දියාවේ සංචාරයක යෙදුන රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයාගේ ක්‍රියා කලාප ගැන කිසිවක් සඳහන් නොකර ඉන්දියාව සමඟ හොඳ හිත පළුදු නොවන ලෙස ක්‍රියා කර තිබෙන බවත් මන්ත්‍රී බණ්ඩාර මහතා පැවැසීය.

ජනාධිපතිවරණ ප්‍රචාරක රැස්වීමේදී වරක් මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ මහින්ද ඇතුළු නඩය පාරක් පාරක් ගානේ ඇවිදින තත්ත්වයට පත් කරන බවයි. මේ කාටත් හොරා සිදු කරන්න යන්නේ එය දැයි සැකයක් පවතින බව පැවසූ මන්ත්‍රී බණ්ඩාර මහතා, නැවත මහින්ද ඔසවා හතරගාතෙන් බිම ගැසීමට ජනාධිපතිවරයා සැරසෙන බවත් කීය. උග්‍ර පොහොට්ටුකාරයෙක් වරක් පැවසුවේ නැට්ටේ සිට ගොම ගා ගැනීමත් සිදුවී හමාර බව යැයිද මන්ත්‍රී බණ්ඩාර මහතා පැවසීය. බිරිය දික්කසාද කිරීම පොදුජන දේපළ ගැටලු රිසිලෙස ලිහාගැනීම කැමති ඇඳුම් පැලඳුම් ඇඳීමට ජනාධිපතිවරයාට ‍තමන්ට රිසි සේ හැකි වුවත් රටේ අගමැතිවරයා ලෙස ජනාධිපතිවරයා කැමති පුද්ගලයකු පත් කිරීමට හැකියාවක් නොමැති බව මාධ්‍යවේදියකුගේ පැනයට පිළිතුරු දෙමින් මන්ත්‍රී බණ්ඩාර මහතා පැවසීය.

නව අදහස දක්වන්න