ලිංගික හිංසන සහ ඇෆ්ගනිස්තාන කාන්තා පාපන්දු | දිනමිණ

ලිංගික හිංසන සහ ඇෆ්ගනිස්තාන කාන්තා පාපන්දු

තාලිබාන් සංවිධානයේ පාලනයෙන් මිදුණු ඇෆ්ගනිස්ථානයේ ආරම්භ කළ කාන්තා පාපන්දු කණ්ඩායම එරට කාන්තාවන්ගේ නිදහසේ සංකේතය ලෙස හඳුන්වනු ලැබේ.

නමුත්, එම ක්‍රීඩිකාවන් නිරන්තරයෙන් ලිංගික හිංසනයට ලක් වන බව ඇෆ්ගනිස්තානයේ ප්‍රමුඛ පෙළේ ක්‍රීඩා නිලධාරීන් පිළිගෙන තිබේ. පාපන්දු පමණක් නොව අනෙකුත් සියලු ක්‍රීඩාවලට සම්බන්ධ කාන්තාවෝ ද හිංසනයට ලක් වන බව ඔවුහු පිළිගනිති.

සිය පුහුණුකරුවන් සහ ක්‍රීඩා නිලධාරීන් සිදු කරන ලිංගික හිංසන ගැන විවෘතව කතා කිරීමට බොහෝ ක්‍රීඩිකාවන් බිය පළ කළහ. නමුත්, කීපදෙනෙක් තමන් මුහුණ දුන් කටුක අත්දැකීම් ගැන විස්තර බීබීසී සේවයට හෙළි කළහ.

ජාතික මට්ටමේ පාපන්දු ක්‍රීඩිකාවන්ට සිදුව ඇතැයි පවසන හිංසන ගැන පරීක්ෂණ පැවැත්වීමට ෆීෆා ජගත් පාපන්දු පාලක මණ්ඩලය (Fifa) කටයුතු කර ඇත. ඉන්පසු, ඇෆ්ගනිස්තාන නීතිපති දෙපාර්තමේන්තුව ද මේ ගැන පරීක්ෂණ පවත්වන බව ප්‍රකාශ කළේය.

මෙම හිංසන ගැන අසා "ඇෆ්ගනිස්තානුවන් කම්පනයට පත් වුණා" යැයි එරට ජනාධිපති අෂ්රෆ් ගානි සදුඳා (දෙසැම්බර් 3) පැවසීය.

"මේ වගේ චෝදනා නිසා අපේ මිනිස්සු ඔවුන්ගේ පුරුෂයන් සහ කාන්තාවන් දරුවන් ක්‍රීඩාවන් සඳහා යොමු කිරීම නවත්වනවා. අපි ඉතා ඉක්මනින් පුළුල් ලෙස මේ ගැන සොයා බැලිය යුතුයි," ඔහු පැවසුවේය.

ඇෆ්ගනිස්තාන පාපන්දු සංගමයේ සභාපති සහ ලේකම්ට ද කාන්තා ලිංගික හිංසන චෝදනා එල්ල වී තිබේ. නමුත් ඔවුන් දෙදෙනාම එම චෝදනා ප්‍රතික්ෂේප කරති.

"ඔවුන් බොරු කියන්නේ. කිසිම ක්‍රීඩිකාවකට ලිංගික හිංසන සිදු වෙලා නැහැ," යැයි පාපන්දු සංගමයේ ලේකම් සයෙඩ් අලිරේසා අක්සාදා පැවසීය.

 

Afghanistan women's football team

 

මෙම චෝදනා පිළිබඳ ඇෆ්ගනිස්තාන පාර්ලිමේන්තුවේ සහ ඔලිම්පික් කමිටුවේ ද අවධානය යොමු වී තිබේ.

"මේ වගේ දේවල් අසන්න ලැබීම ගැන ඇත්තෙන්ම දුකයි. ලිංගික හිංසනය පාපන්දු ක්‍රීඩාවේ විතරක් නෙමෙයි, අනෙක් ක්‍රීඩාවල ද දක්නට ලැබෙනවා.

අපි මෙයට එරෙහිව සටන් කරන්න ඕනෙ," ඇෆ්ගනිස්තාන ඔලිම්පික් කමිටුවේ ප්‍රධානියා වන හෆිසුල්ලා රහිමි පැවසුවේය.

පුහුණුකරුවන් සහ නිලධාරීන්ගේ ලිංගික හිංසනවලට ලක් වූ ජාතික කාන්තා පාපන්දු කණ්ඩායමේ හිටපු ක්‍රීඩිකාවන් නැගූ චෝදනා ඉහළ නිලධාරියෙකු පිළිගත් ප්‍රථම අවස්ථාව මෙයයි.

මෙම චෝදනා බොහොමයක් ඉදිරිපත් කර ඇත්තේ ඇෆ්ගනිස්තාන ජාතික කාන්තා පාපන්දු කණ්ඩායමේ හිටපු නායිකා කලිදා පොපාල් විසිනි.

ඇය කණ්ඩායම් අධ්‍යක්ෂකවරිය ලෙස ද කටයුතු කළාය.

සිය තරුණ කාලයේ දී ජීවිත අවදානම නොතකා පාපන්දු ක්‍රීඩාවේ යෙදීමට ඇය කටයුතු කළාය.

ඇෆ්ගනිස්තානය තාලිබාන් නීතිය යටතේ පවතින කාලයේ දී ඉතා රහසිගතව පාපන්දු ක්‍රීඩා කළාය.

පාසලෙන් එපිට සිටින තාලිබාන් ආරක්ෂක භටයන්ට ඇසේ යැයි බියෙන් ඇය ඇතුළු යහළුවන් පිරිස නිශ්ශබ්දව පාපන්දු ක්‍රීඩාවේ යෙදී ඇත.

ඇයට දිගින් දිගටම මරණ තර්ජනවලට මුහුණ දීමට සිදු වීම හේතුවෙන් 2011 දී ඩෙන්මාර්ක් බලා පිටත් වී ඇති අතර, එහි සිට බීබීසී සේවය සමග සම්බන්ධ වූවාය.

වර්තමාන ඇෆ්ගනිස්ථානයේ පාපන්දු ක්‍රීඩාවේ නියැලී සිටින තරුණ කාන්තාවන් ඔවුන් මුහුණ දෙන ලිංගික හිංසන පිළිබඳ තමන්ට නිතර පවසන බව කලිදා පැවසීය.

සමහර කාන්තාවන් දූෂණයට ලක් වී ඇති අතර, බොහෝ දෙනෙකු දරුණු ලිංගික හිංසනවලට ලක් වී ඇත.

 

Afghanistan women's football team

හිංසනවලට එරෙහිව කිසිවක් කළ නොහැකි යැයි ඇය සිතුවත්, පුහුණුකරුවන් දෙදෙනෙකුට එරෙහිව චෝදනා ගොනු කිරීමට ඇය සමත් විය. වසර කීපයකට පෙර ඇය සියලු සාක්ෂි ඇෆ්ගන් පාපන්දු සංගමය වෙත යොමු කරන ලදී.

"ඔවුන්ට දඬුවම් කරනවා හෝ ඉවත් කරනවා වෙනුවට, උසස් වීම් ලබා දුන්නා," යැයි ඇය පැවසුවාය.

බොහෝ නිලධාරීන්ට ඇෆ්ගනිස්ථාන රජය සමග සමීප සම්බන්ධතා ඇති බව ඇය පවසන්නීය. ජාතික කණ්ඩායම් සංචිතයට ඇතුළත් කර ගන්නවා යැයි පවසා, ක්‍රීඩිකාවන්ට මුදල් ලබා දෙමින් ඔවුන් සමග ලිංගික සේවනයේ යෙදීමට බොහෝ නිලධාරීහු කටයුතු කරති.

ඇෆ්ගනිස්ථානයේ පාපන්දු ක්‍රීඩාව ඇතුළු වෙනත් ක්‍රීඩාවල නියුතු තරුණ ක්‍රීඩිකාවන් කීපදෙනෙකු තමන් මුහුණ දෙන ලිංගික හිංසන සහ අඩන්තේට්ටම් ගැන බීබීසී සේවයට තොරතුරු පැවසූහ.

ජාතික කණ්ඩායමට ඇතුළු වීමට හෝ වෙනත් රටක තරගයකට සහභාගි වීමට අවස්ථාව ලබා ගැනීමට යෑමේ දී වැඩි වශයෙන් මෙම හිංසනවලට මුහුණ දෙන බව ඔවුහු පවසති.

"මට පෙන්නන්න ඔයා කොයිතරම් ලස්සන ද කියලා. මොකද ලස්සන ගැහැණු ළමයි විතරයි කණ්ඩායමට ඇතුළත් කරගන්නේ," එක්තරා නිලධාරියෙකු තමන්ට පැවසූ බව ක්‍රීඩිකාවක සඳහන් කළාය.

 

Afghanistan women's football team

2001 දී තාලිබාන් සංවිධානයේ බිඳ වැටීමත් සමග, මෙම කාන්තා පාපන්දු කණ්ඩායම ජාත්‍යන්තර වශයෙන් හඳුන්වනු ලැබුවේ කාන්තාවන් ලැබූ නිදහසේ සංකේතයක් ලෙසය.

කාබුල් නගරයේ ඔවුන් පුහුණු වීම් සිදු කරන පාපන්දු ක්‍රීඩාංගණය මීට වසර කීපයකට පෙර තාලිබාන් සංවිධානය පුද්ගලයන් ඝාතනය කිරීමට යොදා ගත් ස්ථානයයි.

කලිදා ඇෆ්ගනිස්ථාන පාපන්දු සංගමයේ අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කළ සමයේ ඇමරිකානු කාන්තා පුහුණුකාරියන් මෙන්ම තවත් ඇෆ්ගනිස්තාන කාන්තාවන්ගේ සහය හැකිතාක් ලබා ගැනීමට කටයුතු කළාය.

"නමුත් පුරුෂයන් අවාසනාවන්ත ලෙස අපේ ව්‍යාපෘතිය නැවැත්වීමට කටයුතු කළා," ඇය පැවසීය.

ඇය ඉදිරිපත් කරන චෝදනා පිළිබඳ 'ද ගාඩියන් (The Guardian)' පුවත්පතේ පළ වීමත් සමග, බොහෝ කාන්තාවන් සහ පුරුෂයන් තමන් අමතා ස්තුති කළ බව ඇය පැවසුවාය.

බොහෝ දෙනෙකු හැඬූ කඳුළින් පැවසුවේ මෙවැනි අත්දැකීම්වලට මුහුණ දී ඇතත්, ඒ කිසිවක් හෙළි කිරීමට බිය වූ බවය.

"මම දන්නවා මගේ හඬින් බොහෝ ජීවිත වෙනස් කළ හැකි බව."

"මම දන්නවා මගේ හඬින් මේ ක්‍රමය වෙනස් කළ හැකි බව," ඇය පැවසුවාය.

(බී.බී.සිය ඇසුරෙනි)

නව අදහස දක්වන්න