හැම සංචාරයක්ම අභියෝගයක් | දිනමිණ

හැම සංචාරයක්ම අභියෝගයක්

ෆවුස් මොහොමඩ්

ඕනෑම රටකදි වුවත් ලැබෙන සැම තරග සංචාරයක්ම අභියෝගයක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් ප්‍රකාශ කරයි. ටෙස්ට් තරග 2කට, එක්දින තරග 3කට සහ විස්සයි20 තරගයකට ක්‍රීඩා කිරිම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ අළුයම නවසීලන්තය බලා පිටත්ව යාමට පෙර මාධ්‍යයට අදහස් දක්වමින් ශ්‍රී ලංකා පිලේ නායකයා මේ බව සඳහන් කළේය.

නවසීලන්ත සංචාරයෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ඔස්ට්‍රේලියානු සංචාරයත්, අනතුරුව දකුණු අප්‍රිකානු සංචාරයත් පැවැත්වීමට නියමිතය.

‘අපි දන්නවා විශේෂයෙන්ම මේ සංචාර තුනේදිම අපිට වාසිදායක තණතීරු නෙ‍වෙයි ලැබෙන්නේ. ඒක ලොකු අභියෝගයක්. නමුත් අපි ඒ අභියෝගය බාර ගන්න ඕනේ. මේ සංචාර 3දී අපිට වෙනසක් කරන්න පුළුවන් නම් මං හිතන්නේ ඒක ලොකු හැරවුම් ලක්ෂ්‍යයක් වේවි කියලා ඉදිරියට කණ්ඩායම රැගෙන යද්දි.’ චන්දිමාල් කියා සිටියේය.

කලෙකට පසුව ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවූ පිතිකරු ළහිරු තිරිමාන්න සහ වේගපන්දු යවන නුවන් ප්‍රදීප් මෙවර සංචාරයේදි වැඩි අවධානයට ලක්වූ ක්‍රීඩකයෝ වෙති. පසුගිය වසරේ අවසන් වරට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ 29 හැවිරිදි තිරිමාන්න මෙවර කණ්ඩායමට එක්වුයේ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට ක්‍රීඩා කරමින් දස්කම් දැක්වීමට සමත්වීම හේතුවෙනි.

පසුගිය කාලය තුළ අවධානයට ලක්නොවූ තිරිමාන්න ජාතික කණ්ඩායමට විශාල දායකත්වයක් ලබාදිය හැකි ක්‍රීඩකයකු බව නායක චන්දිමාල්ගේ මෙන්ම තේරිම් කමිටුවේ නව සභාපති අසන්ත ද මැල් මහතාගේ ද අදහස වී තිබේ.

‘අපි හැමෝම දන්නවා ඔහු කොච්චර හොඳ ක්‍රීඩකයෙක් ද කියලා.’ තිරිමාන්න ගැන සඳහන් කරමින් ශ්‍රී ලංකා පිලේ නායකයා එසේ කීවේය.

තිරිමාන්න මෙන්ම වේගපන්දු යවන නුවන් ප්‍රදීප් ද කණ්ඩායමට එක්වී සිටින්නේ කලෙකට පසුවය. විවිධ ආබාධවලට ලක්වීම නිසා නුවන් ප්‍රදිප්ට පසුගිය එංගලන්ත තරගාවලිය ද අහිමිවී ගියේය.

‘නුවන් ප්‍රදීප් දැන් නැවත සුපුරුදු ශාරිරික මට්ටමට පැමිණ සිටිනවා. මං හිතන්නේ ඔවුන් දෙදෙනාගෙම පැමිණීමත් සමග කණ්ඩායම අත්දැකීම්වලින් සම්පූර්ණයි. මං හිතනවා ඔවුන් දෙදෙනාට මේක හොඳ තරගාවලියක් වේවි කියලා.’ චන්දිමාල් සඳහන් කළේය.

ශ්‍රී ලංකා පිල අත්දැකීම් බහුල ක්‍රීඩකයන් රැසකගෙන් සමන්විත වූවත් එංගලන්තය සමග පැවැති ටෙස්ට් තරගමාලාවේදී පන්දුවෙන් විශිෂ්ට දස්කම් පැ පිට දඟ පන්දු යවන අකිල ධනංජයට මේ සංචාරය අහිමිවිය. ඔහුගේ පන්දු යැවීමේ ඉරියව් සැකසහිත බවට එංගලන්තයට එරෙහිව ගාල්ලේ පැවැති පළමු ටෙස්ට් තරගයෙන් පසුව විනිසුරුවරුන් විසින් ඉදිරිපත් කරනු ලැබූ වාර්තාවකට අනුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නියමයෙන් පන්දු යැවීමේ පරික්ෂණයකට පෙනී සිටීමට ඔහුට සිදුවී තිබිණි.

‘හැමෝම දන්නවා අකිල ධනංජය තමයි අපේ දඟ පන්දු අංශයේ හොඳම දස්කම් පෑවේ අංශ 3න්ම. ලොකු පාඩුවක් ඔහු නැති එක. ඒ වගේම තවත් ක්‍රීඩකයකුට ලොකු අවස්ථාවක් එයාගේ දක්ෂතා පෙන්වලා කණ්ඩායමට ජයග්‍රහණ වෙනුවෙන් දායකත්වය ලබාදෙන්න.’ චන්දිමාල් පැවැසීය.

මේ මස 15 වැනිදා නවසීලන්තයේ වෙලිංටන් නුවරදි දෙපිල අතර පළමු ටෙස්ට් තරගය පැවැත්වෙන අතර ඉන් පසුව 26 වැනිදා ක්‍රයිස්චර්ච් නුවරදී දෙවැනි ටෙස්ට් තරගය ආරම්භ වීමට නියමිතය. තරග 3කින් සමන්විත දෙපිල අතර එක්දින තරගාවලිය ලබන වසරේ ජනවාරි මස 3 වැනිදා සිට 8 වැනිදා දක්වා පැවැත්වෙයි. විස්සයි20 තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ ලබන ජනවාරියේ 11 වැනිදා ඕක්ලන්ඩ් හීදිය.

නවසීලන්ත සංචාරයට එක්වූ ශ්‍රී ලංකා කණ්ඩායම මෙසේය.

දිනේෂ් චන්දිමාල් (නායක), දිමුත් කරුණාරත්න (උප නායක), ඇන්ජෙලෝ මැතිව්ස්, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, රොෂේන් සිල්වා, නිරෝෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක, ළහිරු තිරිමාන්න, සදීර සමරවික්‍රම, ඩිල්රුවන් පෙරේරා, ලක්ෂාන් සඳකැන්, සුරංග ලක්මාල්, නුවන් ප්‍රදීප්, කසුන් රාජිත, ළහිරු කුමාර, දුෂ්මන්ත චමීර

නව අදහස දක්වන්න