මේ අරාජිකත්වයට කිසිම පාලකයෙක් වගකියන බවක් පේන්න නෑ | දිනමිණ

මේ අරාජිකත්වයට කිසිම පාලකයෙක් වගකියන බවක් පේන්න නෑ

පාසල් දරුවන්ගේ නිල ඇඳුම් ලබාදීමට නොහැකිවීම නිසා ආණ්ඩුවේ රෙදි ගැලවී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ කාරක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව නිලඇඳුම් කප්පාදු කර වවුචර් ලබාදුන් බවත් වත්මන් ආණ්ඩුව නිලඇඳුම් ලබාදීම මේ වන විටත් සිදු කර නොමැති බවද හඳුන්නෙත්ති මහතා පෙන්වා දුන්නේය.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී ඊයේ (28) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් එසේ කී මන්ත්‍රීවරයා අපේ රටේ ආණ්ඩුවක් නැහැ කියා ණය ගෙවන්නේ කෙසේද? නිල ඇඳුම් දෙන්නේ කෙසේද කියා ජනතාවට කිව යුතු බවද කීය.

එහිදී සුනිල් හඳුන්නෙත්ති මහතා මෙසේද කීය.

ආණ්ඩු පක්ෂයක් පාර්ලිමේන්තු වර්ජනය කරන ලෝකයේ පළමු රට බවට ශ්‍රී ලංකාව පත්වෙලා. මේ වනවිට සංචාරක කර්මාන්තය දියුණු වෙන වෙලාවක් තිබෙන්නේ. නමුත් සංචාරකයන් ‍ඒමේ ප්‍රවණතාව අඩුවෙලා. තවමත් පාසල් නිල ඇඳුම ලබාදීමට ආණ්ඩුව සමත්ව නැහැ. ආණ්ඩුව ඇඳුම් ගලවාගෙන ඉවරයි. ආණ්ඩුව ඇඳුම් නැතුව ඉදිද්දි පාසල් දරුවන්ගේ ඇඳුම් ටිකවත් දෙන්න බැරි වෙලා. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා අටව ගත්ත ආණ්ඩුව නිසා අද ජනජීවිත ආරාජික කර තිබෙනවා. බන්දුල ගුණවර්ධන මහතා විපක්ෂයේ ඉන්න විට කිව්වා ‍රුපියල කඩා‍වැටෙනවා කිව්වා. ඔහු ඇමැතිවරයා වෙන විට අහනවා ඩොලරය ඉහළ යන එක නවත්වන්නේ අතින් අල්ලලද කියලා අහනවා. මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා ලෙස පත්වන ‍අවස්ථාවේ ඩොලරයට සාපේක්ෂව රුපියල 174යි. මාසයක් ඇතුළත එය 181 දක්වා වැඩිවෙලා. ඔවුන්ට බලය ලබාගැනීමේ වුවමනාව තිබුණු නිසා තමයි විපක්ෂයේ ඉන්න විට කියන කතා ඇමැතිධුර ගත් සැනින් වෙනස් වුණේ. ජනතාවට කියන වචනවලට ඔවුන් වගකියන්නේ නැහැ. ප්‍රතිපත්තියක් නැති දේශපාලකයෝ ඔයවැනි දේවල් කියනවා. පිටරටින් ගෙන එන භාණ්ඩවලට යන වියදම වැඩිවෙලා තිබෙනවා. විපක්ෂයේ ඉන්න වේලාවේ සිංගප්පූරු ගිවිසුම ගැන කතා කළේ බලයට ආව ගමන් අහෝසි කරනවා කියා. නමුත් ඇමැති ධූරය ගත් විට කියනවා. එම ගිවිසුම ගැන තවදුරටත් සලකා බලනවා. රට ඉස්සරහට යන්නෙ කොහොමද කියා ජනතාව දැනුවත් කළ යුතුයි. මේ අරාජිකත්වයට ආර්ථිකයට කිසිදු පාලකයෙක් වගකියන බවක් පෙනෙන්න නැහැ.

සමහර ඇමැතිධූර ගත් පිරිස් ලෝකයේ රටවල් සමඟ අභියෝග කරනවා. අමෙරිකාවත් කොපමණ ප්‍රශ්න තිබුණත් උතුරු කොරියාව සමඟ සාකච්ඡා පැවැත්වුවා. ලෝකයට බලපෑම් කරන්න තරම් සාරවත් ආර්ථිකය සංවර්ධන රටක් නොවෙයි. අයවැය හිඟයත් පියවන්න අපි ණය ගන්න රටක්.

නව අදහස දක්වන්න