පොලීසිය නීතිපති උපදෙස් ඉල්ලයි | දිනමිණ

පොලීසිය නීතිපති උපදෙස් ඉල්ලයි

පාර්ලිමේන්තුවේ ඇති වූ කලහකාරී සිදුවීම් සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීමට නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගන්නා බව පොලීසිය පවසයි. 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධීකාරි රුවන් ගුණසේකර සඳහන් කළේ, ඉන් පැමිණිලි හතරක් වැලිකඩ පොලීසියට සහ පොලිස් මූලස්ථානයට ලැබුණු තවත් පැමිණිල්ලක් පොලිස්පතිවරයා විසින් විමර්ශන සඳහා වැලිකඩ පොලීසියට යොමු කර ඇති බවයි.

පැමිණිලි ඉදිරිපත් කර ඇත්තේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජිත හේරත්, ඉන්දික අනුරුද්ධ සහ ආශු මාරසිංහ යන අය මෙන් ම අපේ නිදහස් පෙරමුණේ නායක විමල් ගීගනගේ විසිනි.

පැමිණිලි විමර්ශනයට කථානායකවරයා සිය අනුමැතිය ලබා දී ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධීකාරි රුවන් ගුණසේකර සඳහන් කළේ ය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, ඇති වූ කලහාකාරී සිදුවීම්වලට අදාළව පාර්ලිමේන්තුවේ ආරක්ෂිත කැමරා දර්ශන ද ලැබී ඇති බවයි.

ලද පැමිණිලි සහ ආරක්ෂිත කැමරා දර්ශන උපයෝගී කරගනිමින් විමර්ශන සිදු කෙරෙන්නේ, අපරාධ චෝදනා යටතේ බව ද ඔහු පැවසීය.

මන්ත්‍රී ගැටුම් අතරතුර හානි වූ පාර්ලිමේන්තු දේපොළ තක්සේරු කිරීම තවදුරටත් සිදුවන බව සඳහන්.

පෙරේදා කල් තැබුණු පාර්ලිමේන්තුව ලබන 27 වන දා පස්වරු 1.00 ට යළි රැස්වීමට නියමිතයි.

 
 
 
 
 

නව අදහස දක්වන්න