ලොවට ණය නැති ගුණ සුවඳ | දිනමිණ

ලොවට ණය නැති ගුණ සුවඳ

කෙනකු ගිලගන්නා ඛේදනීය ඉරණම දෙස බලා අනේ අපොයි කියන්නට දාහක් දෙනා සිටියත් ඒ ඛේදනීය ඉරණමෙන් ඔහු හෝ ඇය ගලවා ගැනීමට අල්ප මාත්‍රයක හෝ උත්සාහයක් ගන්නේ ඒ අතරින් අතලොස්සකි. සියල්ල අහිමි වී යන විට මිනිසුන් දෑත් දිගුකර යදින්නේ ලෝකය ඉදිරියේ වෙස්බැඳි මිනිසුන්ගේ ව්‍යාජ අනුකම්පාව නොව, ජීවිතය අතනොහැර තදින් අල්ලා ගැනීමට උදව් දිය හැකි මානව දයාවෙන් බිඳක් පමණි.

මරණය දෝතින් දරාගෙන පුහු ආටෝපයෙන් පිරි ලෝකයට කඩාවදින වන අපි, ජීවිතය කෙලෙස හෝ ගෙවා දමන්නෙමු. කනගාටුවට කරුණ නම් අප අතරින් වැඩි දෙනෙකු ජීවිතය යන අකුරු හතරට සැබෑ වටිනාමක් නොදීම පොළොවට පස් වීමය.

නමුත් ඔහු එසේ නොවීය.

මා මේ කියන්නේ ජීවිතය ගෙවිය හැකි හොඳම අන්දමින් ගෙවා දමා, ලෝකය තුළ මානව දයාවේ ගුණ සුවඳ පතුරවමින්, ශ්‍රේෂ්ඨ ජීවිතයක් ගත කළ ශ්‍රීමත් නිකලස් වින්ටන් නම් මානව හිතවාදියා ගැනය.

1938 වසරේදී එවකට 29 හැවිරිදි වියෙහි පසුවූ බ්‍රිතාන්‍ය ජාතික වින්ටන්, ස්විට්සර්ලන්තය බලා යන්නේ නිවාඩුවක් ගතකිරීමේ අරමුණෙනි. ඒ ඔහුගේ ප්‍රියතම ක්‍රීඩාවක් වූ හිම මත ලිස්සා යාමේ ක්‍රීඩාව පිළිබඳ බොහෝ බලාපොරොත්තු ඇතිවය. නමුදු දෙවියන්ගේ නියමයට අනුව ඔහුට හදිසියේම ස්විට්සර්ලන්තයෙන් නික්ම චෙකොස්ලැවිකියාව බලා ගමන් අරඹන්නට වන්නේ සියගණනක් දරුවන්ගේ ගැලවුම්කරුවා වීමට වග ඔහු දැන සිටියේ නැත. දෙවැනි ලෝක සංග්‍රාමයේ උණුහුමේ චෙකොස්ලැවිකියාවෙහි ස්ථාපිත කර තිබි බ්‍රිතාන්‍යය මානුෂීය සේවා ආධාරක කණ්ඩායමේ සිටි සිය මිතුරාගේ සහයට ඉදිරිපත් වන වින්ටන්, ජර්මානුවන්ගේ කෘරත්වයෙන් අපාගත වේදනාවන් විඳින්නට නියමිත, යුදෙව්වන්ගේ ඛේදනීය ඉරණම දැක දැඩි කම්පාවට පත්වන්නේය.

පළමුව ඔස්ට්‍රියාව අල්ලා ගත් හිට්ලර්ගේ හමුදාව බටහිර චෙකොස්ලෝවැකියාවට කඩා වැදීමෙන් අනතුරුව මරබිය දැණුනු, යුදෙව් ජාතිකයන් දහස් ගණනක් තමන් සන්තකයේ වූ සියලු දේ අතැර, දරු පවුල් සමඟින් නැඟෙනහිර චෙකෝස්ලෝවැකියාවේ පිහිටි ප්‍රාග් ප්‍රදේශයට පළා එමින් සිටි අතර යුද්ධයේ අඳුරු සෙවණැලි අතරින් නාසි හමුදාව සපත කොට සිටියේ යුදෙව්වන්ගේ නාමයකුඳු ඉතිරි නොකරන බවට ය. ජීවිතයේ අන්තිම තත්පරය දක්වා යුදෙව් දෙමාපියන් තම ලෙයින් උපන් දරුවන්ගේ ගැලවීම වෙනුවෙන් දෙවියන්ට කන්නලව් කරමින් සිටියේ නාසින්ගේ කෘරත්වය ඉදිරියේ නොබෝ දිනකින් තමන්ට අත්වන ඛේදනීය ඉරණම ගැන සක්සුදක් සේ දැන දැනමය.

ඒ අතර යුදෙව් පවුල්වලට මානුෂීය සේවා සැපයීමේ නිරතව සිටි නිකලස් වින්ටන්, තම දරුවන්ගේ අවිනිශ්චිත ඉරණම ඉදිරියේ හඬා වැටුණු යුදෙව් මාපියන්ගේ පපු කුහර තුළ ඇවිළුණු ගින්දර නිවා දමන්නේ මිනිස් වෙසින් පැමිණි දෙවියකු ලෙසිනි. විටක තම ජීවිතය පවා අවදානමේ හෙලමින් හිට්ලර්ගේ සාහසිකත්වයට එරෙහිව තම මානුෂීය මෙහෙයුම දියත් කරන්නට වින්ටන් කිසිවිටෙක පසුබට වූයේ නැත.

පිළිසරණක් පතා, ඔහු සොයා පැමිණි අසරණ මාපියන්ගේ නම්, ගම්, ලිපින සහිතව දරුවන්ගේ ඡායාරූප අලවා, ලේඛනගත කළ ඔහු එම යුදෙව් දරුවන්ගේ නම්, ගම් ඇතුළු සියලු තොරතුරු වෙනස් කරමින්, ඔවුන් චෙක් ජනරජයේ සිට ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමේ මෙහෙයුම වෙනුවෙන් අප්‍රතිහත ධෛර්යයෙන් වෙහෙසෙන්නේ දිවා රෑ නොබලාය. ඒ අනුව "කින්ඩර්ට්‍රාන්ස්පෝර්ට්" නමැති මෙහෙයුම හරහා දුම්රිය සහ නැව් ගමන් සංවිධානය කරමින් චෙක් ජනරජයෙන් පන්නාගෙන ගිය යුදෙව් දරුවන්ට රැකවරණ සැලසෙන්නේ බ්‍රිතාන්‍යයේය. නාසි වධකාගාර තුළ අඳුරු අත්දැකීම් විඳ, වේදනාත්මක ලෙස නිහඬ වන්නට නියම වූ ජීවිත 669ක්, අවසන නිදහසේ හුස්ම ගන්නේ මේ උත්තම මිනිසාගේ මානව දයාවට පින්සිදු වන්නටය යන වග කියමින් ඔහු ලෝකයට උදම් අනන්නට ගියේ නැත. වින්ටන්ගේ වියපත් දෑස් තුටු කඳුළින් තෙත් කරමින්, ඔහු හා ඔහුගේ මානුෂීය මෙහෙයුමින් දිවි ගලවා ගත් දරුවන් අතර සංවේදී හමුව සිදු වන්නේ මේ මෙහෙයුම අවසන් කොට පනස් වසරක් ගෙවුණු තැන ය. 1988 දී වින්ටන්ගේ නිවසේ අට්ටාලයක තිබී ඔහුගේ බිරිඳ අතට පත්වූ, යටගිය මානුෂීය මෙහෙයුමේ වාර්තා සහ පින්තූර ඇතුළත් පුස්තකය නොවන්නට, යුදෙව් දරුවන්ගේ ගැලවුම්කරුවා පිළිබඳ රහස වින්ටන් සමඟින් ම අවසන් ගමන් යනු ඇත. ඔහු විසින් දිවිගලවා ගත් දරුවන් පසු කලෙක වෛද්‍යවරුන්, හෙදියන්, ගුරුවරුන්, සංගීතඥයන්,ලේඛකයන්, ගුවන් නියමුවන්, විද්‍යාඥයන්, ඉංජිනේරුවන්, ව්‍යවසායකයන් පමණක් නොව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සාමාජිකයන් බවට ද පත් වූහ.

කෘරත්වය විසින් නසා දමන්නට තැත් කළ ජීවිත මානව දයාවෙන් රැකගත් සැබෑ මිනිසා ඔහු ය. “දුෂ්ටත්වය රජයන්නට අවශ්‍ය වනුයේ හොඳ මිනිසුන් කිසිවක් නොකර සිටීම පමණයි ”යන එඩ්මන්ඩ් බර්ක් ගේ කියමන ශ්‍රීමත් නිකලස් වින්ටන් විසින් නැවත නැවත සිහි ගන්වනු ඇත.

2003 වසරේ දී නිකලස් වින්ටන්, බ්‍රිතාන්‍ය මහරැජිණ විසින් නයිට් නාමයෙන් පුදනු ලබන්නේ, යුදෙව් දරුවන් බේරාගැනීමේ මානුෂීය මෙහෙයුමට කෙරෙන උපහාරයක් වශයෙනි. එසේ ම 2014 දී චෙක් ජනරජයෙහි ඉහළම ගෞරව නාමය වූ "ඕඩර් ඔෆ් ද වයිට් ලයන්" චෙක් ජනාධිපති, මිලෝස් ෂෙමාන් විසින් ඔහු වෙත පිරිනමා ඇත. මේ අන්දමින් ලෝකයේ ගෞරවාදරයට පාත්‍ර වෙමින් කෙතරම් ගරු නම්බුනාම ලැබුව ද, ඔහුගේ නිරර්ථක උත්සාහයෙන් දිවි ගලවාගත් දරුවන්, ජීවිතය දිනා සිනාසෙන අයුරු දැක, ඒ උත්තම මිනිසා ඒ සියල්ලට නොදෙවෙනි අපරිමිත සොම්නසක් සිතින් විඳින්නට ඇත.

ලොවට ණය නැති ජීවිතයක නිම්හිම් නැති සුව විඳිමින්, 2015 මැයි 19 වන දින සිය 106 වැනි ජන්මදිනය සමරන මේ සැබෑ මානව හිතවාදියා 2015 ජූලි 1 වැනිදා ජීවිතය අතැර යන්නේ ය. නමුදු මනුෂ්‍යත්වයේ ගුණ සුවඳ ඉතිරි කරමින් ය. ඒ ඔබ වෙනුවෙන් ය. ඒ මා වෙනුවෙන් ය. නොඑසේ නම් ඒ අප වෙනුවෙන් ය.

කාංචනා සිරිවර්ධන


නව අදහස දක්වන්න