ගින්නෙන් උපන් යුවතිය | දිනමිණ

ගින්නෙන් උපන් යුවතිය

ෆවුස් මොහොමඩ්

ලොවක් අභිප්‍රේරණය කළ හැකි දිරිමත් කාන්තාවන් සියදෙනෙකුගේ ලැයිස්තුවක් බී.බී.සී.ය ඊයේ පෙරේදා නම් කිරීම කාගෙත් අවධානයට පාත්‍ර විය. රූ සපුව ගැන උනන්දු වන, තම රුව ගැන උදම් අනන කාන්තා පාර්ශ්වයට අතර හුදෙකලාවුණු විරූපි ළඳුන්ට කදිම ආදර්ශයක් සපයන එක්තරා රුසියානු යුවතියක්ද ඒ අතර වූවාය.

ඇය ස්වෙට්ලානා ඇලෙක්සීවාය.

සිය විරූපිභාවය ගැන සෑහෙන පසුතැවිලි වන කාන්තාවන් දහස් ගණනකට ජීවිතය ජයගන්නට කියාදෙමින් ඔවුන්ගේ ජීවිතවලට අපුරු පැහැයක් එකතු කරන්නට වෙර දරන මේ 18 හැවිරිදි රුසියානු යුවතිය බී.බී.සී.ය තෝරාගත් බලවත්ම කාන්තාවන් සියය අතර තුන්වැනි තැනට පත්වූවාය.

කැළල් සහිත සමකටත්, කිසිදු අයුරකින් පිරිමින්ගේ ආකර්ශණය දිනාගැනීමට නොහැකිවීමත් නිසා ජීවිතයෙන් පලා යන කාන්තාවන්ට ජීවත්වීමේ කලාව කියාදීම තම ජීවිතය කරගත් මේ අපූරු යුවතිය අපට යළි යළිත් කියා දෙන්නේ ‘රූමත් බව රැඳී ඇත්තේ සමේ ගැඹුර දක්වා පමණක් බවය.

එවකට ඉතාමත් පියකරු හා හුරුබුහුටි දැරියක වූ ඇගේ ඉරණම තීන්දු වූයේ සිවුහැවිරිදි වියේ පසුවෙද්දීය. මව හා දැරිය ජීවත්වූයේ එක්තරා නිවාස සංකීර්ණයකය. බිල නොගෙවීම නිසා නිවසේ විදුලිය විසන්ධි කර තිබීමෙන් නිවසේ අඳුර දුරු කරලීමට නිතැතින්ම ඉටිපන්දම් දැල්වී තිබිණි. වැඩිහිටියන් විසින් කරන කියන ක්‍රියාවන් කුඩා දරුවන් අත්හදා බලන බව කියා පාමින් ඇය එක්තරා දිනෙක රාත්‍රියේ මව විසින් නිවසේ තනි කර දමාගියාට පසුව සිය රාත්‍රී නිදන ගවුමේ වාටියේ තිබු නූල් කැබැලි ඉටිපන්දමකින් පුළුස්සා දැමීමට උත්සාහ කළේ ඇගේ මව විසින් එසේ කරනු දැක තිබූ නිසාවෙනි.

සිල්ක් රෙද්දෙන් මසා තිබූ ඇගේ රාත්‍රී නිදන ගවුමට වහා ගිනි ඇවිලිනි. කුඩා දැරිය කළබළයට පත්වූවාය. ඇගේ සම පුළුස්සා දමමින් ගින්න ඇවිලෙද්දි දැරිය වේදනාවෙන් හඬා වැටුණාය. අසල්වාසීන් විසින් බේරාගන්නා ලදුව රෝහල් ගත කළ දැරිය මාස දෙකක කාලයක් පසුවූයේ සිහිසුන්වය. දැඩි ලෙස මත්පැනට ඇබ්බැහිවී සිටි අවජාතක දැරිය බැලීමට ඇගේ මව කිසිදිනෙක රෝහලට පැමිණියේ නැත. ප්‍රතිකාර ලැබීමෙන් පසුව රෝහලේ වෛද්‍යවරුන්ට ඇය අනාථ නිවාසයකට පිටත් කර හැරීම හැර අන් විකල්පයක් තිබුණේ නැත.

අනාථ නිවාසයේ හැදී වැඩුණු ස්වෙට්ලානාට යොවුන් වියට එළැඹෙද්දී සෙසු දැරියන්ගේ උසුළු විසුළුවලට මුහුණපෑමට සිදුවිය. ඇගේ සම වයසේ පසුවූ සෙසු දැරියන්ට මෙන් ඇගේ ලැම උස්ව නොතිබිණි. ගින්න විසින් එහෙම පිටින්ම ඇගේ ලැම පෙදෙස ගිලගෙන තිබීමෙන් විරූපිව ගිය සමක් සහිත ඇගේ ලැම දැරියන්ගේ උසුළු විසුළුවට කාරණාවක් විය. ඇය හඬා වැටුණාය. වාසනාවකට මෙන් ඇගේ සුරූපි මුහුණට ගින්නෙන් කිසිදු අනතුරක් සිදුවී නොතිබිණි. කැඩපත අසළ වරුගණන් ගත කරන සෙසු දැරියන් සේම ඇයත් ඇගේ රූමත් මුහුණ හැඩවැඩ කරන්නට කාලය ගත කළේ සියල්ල අමතක කර දමමිනි. දෑත්වල වැලමිටෙන් ඉහළ කොටසත් ඉතා භයානක ලෙස පිළිස්සුම් කැළල් සහිත වූවත් එය වැසෙන පරිදි ඇඳුම් අඳින්නට පටන් ගැනීමෙන් පසුව ස්වෙට්ලානාට සෙසු යුවතියන්ට මෙන්ම දඟකාර කොල්ලන්ගේ ඇල්ම බැල්ම වැටෙන්නට පටන් ගත්තේය.

‘මට පොඩි කාලේ ඉඳලම ආසාව තිබුණේ මෝස්තර නිරූපන ශිල්පිනියක් වෙන්නයි. පිළිස්සුම් කැළල්වලට ඒ ආසාව යටපත් වුණේ නෑ. මට ඕන කළේ මේ අභියෝගය ජයගන්නයි. පිළිස්සුම් කැළල් මම මගේ ජිවිතයට ආශිර්වාදයක් කරගත්තා. ඉන්ස්ටර්ග්‍රෑම් පිටුවේ පිළිස්සුම් කැළල් සහිත මගේ පින්තූර පළ කළා. ඒවාට එකිනෙකට වෙනස් ප්‍රතිචාර ලැබුණා. ඒත් කිසිම කෙනෙක්ගෙන් අපහාසාත්මක ප්‍රතිවාර ලැබුණේ නෑ. ඒ නිසා මං තවත් දිරිමත්වුණා.‘ ඇය කියන්නීය.

‘මට දැන් මගේ ඉන්ස්ටර්ග්‍රෑම් පිටුවේ රසික රසිකාවියෝ දහදාහකට වඩා ඉන්නවා. මගේ පිළිස්සුණු සිරුර ඡායාරූපවලින් දැකගත්තු මං වගේම කැළල් සහිත සිරුරක් නිසා පසුතැවිලි වුණු, සමාජයේ තතිවෙලා හිටපු ලස්සන ගැහැනු ළමයි එයාලගේ පින්තූර,වීඩියෝ මට එවන්න ගත්තා. ඒ හැමෝටම මට කියන්න දුක්මුසු කතා තිබුණා.‘

‘සමාජය ඔබට පීඩනයක් ගෙන දෙනවානම් ඉන් මිදෙන අභියෝගයත් තියෙන්නේ ඔබේ අතේමයි. ලස්සන තියෙන්නේ හමේ නෙවෙයි. හදවතේ.‘ ස්වෙට්ලානා කියන්නීය. ස්වෙට්ලානා දැන් ජීවත්වන්නේ මොස්කව් නුවරය. අන්තර්ජාලය මගින් හඳුනාගත් අපූරු පෙම්වතෙක් ඇයට සිටී. ඔහු තම ජිවිතයට අලුත් පැහැයක් ගෙනදුන් බව ඇය කියයි.

‘ඔහු මට ජීවිතය ජයගන්න උදව් කරනවා. ඔහු කියන්නේ පිළිස්සුම් කැළල් මගේ සිරුරට එතරම් දෙයක් නෙවෙයි කියලයි. මම අවලස්සන නැති බව මුලින්ම කිව්වේ ඔහු. මම අනිත් අයට වඩා ලස්සනයි කියලයි ඔහු කියන්නේ.‘

‘මට දැන් ඕන කරන්නේ මිනිස්සුන්ට කියන්න ජීවිතය ආපහු ගන්න පුළුවන් දෙවියන්ට විතරයි කියලයි. ඔබට යම් දෙයක් ලබාගත යුතු නම්, යම් ජයග්‍රහණයක් අත්පත් කරගත යුතු නම් අනිත් අයට ඇහුම්කන් දෙන්න එපා.‘

නව අදහස දක්වන්න