අගමැති වැය ශීර්ෂය! | දිනමිණ

අගමැති වැය ශීර්ෂය!

අගමැතිවරයාගේ වැය ශීර්ෂය කපාහැරීමට විපක්ෂය වෑයම් කරයි. මේ සඳහා පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙන එන බව ද එය බහුතරයකගේ ඡන්දයෙන් සම්මත කරගන්නා බව ද රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දී ඇත. අගමැතිවරයාගේ වැය ශීර්ෂය කපාහැරිය හැකි ද? එබඳු යෝජනාවක් ගෙන ඒම පාර්ලිමේන්තු සම්ප්‍රදායට එකඟ ද? නිත්‍යානුකූල ද? යන ගැටලුව එක පැත්තකින් පැන නඟී. තව පැත්තකින් එවැන්නක් සිදුකිරීමෙන් අපේක්ෂා කරන ප්‍රතිඵලය කුමක් ද? රට ආර්ථික හා දේශපාලනික වශයෙන් අස්ථාවර තත්ත්වයකට ඇදදැමීම එහි ඉලක්කය විය හැකි ය. විපක්ෂයේ අරමුණ හා ඉලක්කය එයින් පැහැදිලි වෙයි.

රටේ ආයතන පවත්වාගැනීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන්කරනු ලබන්නේ වසරක ආරම්භයටත් පෙර ඉදිරිපත් කරන අයවැය ලේඛනයෙන් ය. ඒ අනුව මේ වසරේ මුදල් ප්‍රතිපාදන සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නැත. 2019 වසරේ මුල් කාර්තුව සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරනු ලැබ තිබේ. මීට අදාළ අතුරු සම්මත ගිණුම පිළිබඳ යෝජනාව අගමැති හා මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත. කැබිනට් මණ්ඩලය කිසිදු සංශෝධනයකින් තොරව එම යෝජනාවට අනුමැතිය ලබා දී ඇත. අගමැතිවරයා මෙහිදී රටේ ආර්ථික තත්ත්වය පිළිබඳ සමාලෝචනයක් ද ඉදිරිපත් කර ති‍බේ.

එක්සත් ජාතික පක්ෂය මීට එරෙහි ව තර්ක කිහිපයක් ගෙන එයි. පළමු තර්කය වන්නේ විශ්වාසභංගයක් පරාජය වී ඇති බැවින් දැන් කැබිනට් මණ්ඩලයක් නැති බව ය. ඒ අනුව නව කැබිනට් මණ්ඩලය අනුමත කළ අතුරු සම්මත ගිණුම නිත්‍යානුකූල නැති බව එක්සත් ජාතික පක්ෂය කියයි. දෙවන තර්කය වන්නේ අගමැතිවරයාගේ පත්වීම නිත්‍යානුකූල නැති බව ය. අනෙක් තර්කය වන්නේ ආණ්ඩු පක්ෂයට බහුතරය නැති බව ය. බහුතරයක් ඇතොත්; පාර්ලිමේන්තුවේ දී එය පෙන්වන ලෙස ද රනිල් වික්‍රමසිංහ මහතා තර්ක කරයි. කෙක්කෙන් නැතොත්; කොක්කෙන් යන කියමන අප සිහියට නැ‍ඟෙයි. එජාපයේ වෑයම වී ඇත්තේ කුමන හෝ උප්පරවැට්ටියකින් රජය පෙරළා දැමීම ය.

ඉහත තර්ක එකක්වත් පිළිගත හැකි ඒවා ලෙස සැලැකිය නො හැකිය. එජාපය තවත් පක්ෂ කිහිපයක් සමඟ ගෙන ආ විශ්වාසභංග දෙක පාර්ලිමේන්තු සම්ප්‍රදාය හා ව්‍යවස්ථාවේ පිළිගත් වගන්ති උල්ලංඝනය කරමින් ඉදිරිපත් කර ඇත. එම විශ්වාසභංග දෙක ජනාධිපතිවරයාගේ පිළිගැනීමට ලක්වූයේ ද නැත. නව අගමැතිවරයා, කැබිනට් මණ්ඩලය හා නව රජය නො පිළිගන්නේ නම්; එජාපය විපක්ෂය නියෝජනය කරන්නේ මන් ද? කතානායකවරයා සභාවේ සංයුතිය තීරණයකොට ආසන පැනවීමට උපදෙස් ලබා දී ඇත්තේ ද නව අගමැතිවරයා හා කැබිනට් මණ්ඩලය පිළිගනිමින් ය. මේවා විපක්ෂයේ බොරු තර්ක ලෙස සලකා ඉවත දැමිය යුතුය. එහෙත් මේ මඟින් යළිත් පාර්ලිමේන්තුව උණුසුම් වෙත් නම්; ඒ ගැන විපක්ෂය වගකිව යුතුව තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ලබන හත්වනදා ලබාදෙන බව කියැවෙයි. එම තීන්දුවට අනුව අතුරු තහනම් නියෝගය ඉවත් කළහොත් විපක්ෂයට කළ හැකි කිසිම දෙයක් නැත. අතුරු තහනම් නියෝගය මෙලෙස ම පවතින්නේ වුව රටේ ආයතන පවත්වාගැනීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන්කිරීමේ බලය විධායක බලැ’ති ජනාධිපතිවරයාට තිබේ. විපක්ෂයට අවශ්‍ය නම්; අගමැතිවරයාගේ වැය ශීර්ෂය සම්බන්ධයෙන් සංශෝධන යෝජනා ඉදිරිපත් කළ හැකිය. මෙලෙස සංශෝධන ඉදිරිපත් කිරීම නීතියට හා ව්‍යවස්ථාවට අනුව සිදුවිය යුතු අතර ම එය සලකා බැලීම ද දිගුකාලීන ක්‍රියාවලියක් බව පැවසේ. මෙයින් පෙනී යන්නේ විපක්ෂය ජනතාව මුළාකිරීම සඳහා හෝ තම පාක්ෂිකයන් සතුටු කිරීම සඳහා හෝ කෙටි නාට්‍යයක් රඟදක්වන ආකාරයකි.

රටේ ආයතන, ආයතන ප්‍රධානීන් හා උසස් නිලධාරීන් බියගන්වා ආර්ථික ක්‍රියාවලිය අඩපණ කිරීමට විපක්ෂය උත්සාහ දරන බව පැහැදිලි ය. ආයතන ප්‍රධානීන් බියගන්වනසුලු ප්‍රකාශ ගණනාවක් එජාපය සමාජගත කර තිබේ. ඒවායින් කියැවෙන්නේ නව රජයේ වැඩසටහන් සඳහා මුදල් වෙන්කිරීම හා වැය කිරීම නිත්‍යානුකූල නැති බව ය. එලෙස වෙන්කරන හා වැය කරන මුදල් අවභාවිතයන් ලෙස සලකා නඩු දමන බවට තර්ජනයක් ද එජාපය විසින් ගෙන යනු ලැබේ. ආයතන ප්‍රධානීන් මේවා සැලැකිල්ලට ගෙන රාජ්‍ය වැඩසටහන් අකර්මණ්‍ය කළහොත් එය ජාතික අපරාධයක් ලෙස සලකන්නට සිදු වේ.

‍විපක්ෂය මේ දිනවල ගෙන යන තවත් අසත්‍ය ප්‍රචාරයක් වන්නේ විදේශ ණය ‍හා පොලී වාරික ගෙවීමට අනුමැතියක් හෝ මුදල් හෝ නැති බව ය. මෙයින් රටට විශාල අපකීර්තියක් වන බව ද ඒ මඟින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය තුළ Òබ්ලැක් ලිස්ට්Ó වන බව ද මංගල සමරවීර මහතා කියා ඇත. මීට හොඳ පිළිතුරක් මහ බැංකු අධිපතිවරයා හා මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා ලබා දී ඇත. මහ බැංකු අධිපතිවරයාට අනුව ලබන වසරේ ණය හා පොලී වාරික ගෙවීම සඳහා මුදල් මේ වන විටත් වෙන්කර ඇත. මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා පෙන්වා දෙන ලෙස මේ මුදල් ගෙවීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතියක් අවශ්‍ය වන්නේ නැත. ණය හා පොලී ගෙවීම් පිළිබඳ කිසිදු ගැටලුවක් නැති බව ඒ අනුව පෙනී යයි.

ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ගිය ආණ්ඩුව අහෝසි කිරීමට තීරණය කළ ප්‍රධාන සාධකයක් වන්නේ ආර්ථිකයේ කඩාවැටීමයි. ගිය ආණ්ඩුව යටතේ ආර්ථිකයේ කිසිදු අංශයක් වර්ධනයට ලක්වූයේ නැත. ජනතාව එම ආර්ථික ක්‍රමය හැඳින්වූයේ කොල්ලකාරී එකක් හැටියටය. විදේශවලට රටේ සම්පත් විකුණා දැමීම වික්‍රමසිංහ ආණ්ඩුව යටතේ ජයට ම සිදුවිය. තව වසරක් එම ක්‍රමය පැවැතුණේ නම්; රට නැත්තට ම නැති වන බව ජනාධිපතිවරයා පෙන්වා දී තිබිණි. ආණ්ඩු වෙනස ගැන ජනතා ප්‍රතිචාරවලින් පෙනී යන්නේ බහුතරය ජනාධිපතිවරයාගේ තීරණය ඉතා ඉහළින් පිළිගනු ලබන බව ය.

පාර්ලිමේන්තුවේ ඔළු ගෙඩිවලට වඩා ජනතාවගේ ඔළුගෙඩි ප්‍රමාණය අති විශාලය. රටේ පරමාධිපත්‍යය ඇත්තේ ද එම ඔළුගෙඩි අතරය. එබැවින් විපක්ෂය කළ යුත්තේ දෑස් හැර ජනතාව දෙස බැලීම ය.

නව අදහස දක්වන්න