HDDES Extracts සමා­ග­මට NCE රන් සම්මාන ද්විත්ව­යක් | දිනමිණ

HDDES Extracts සමා­ග­මට NCE රන් සම්මාන ද්විත්ව­යක්

කුළුබඩු ආශ්‍රිත තෙල් වර්ග නිෂ්පාදනයේ සහ අපනයනයේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගම වන HDDES Extracts පෞද්ගලික සමාගම (www.hddes.com) ජාතික අපනයන මණ්ඩලය (NCE) සංවිධානය කළ අපනයන විශිෂ්ටතා 2018 සම්මාන උළෙලේදී කුළුබඩු හා කුළුබඩු ආශ්‍රිත නිෂ්පාදන අංශයේ, මහා පරිමාණ කාණ්ඩයේ රන් සම්මානයෙන් සහ වතු වගා හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අංශයේ, මහා පරිමාණ කාණ්ඩයේ රන් සම්මානයෙන් පිදුම් ලැබීය. 1982 දී එච්. ඩී. ඩී. සිල්වා මහතා ඇරැඹූ HDDES සමූහ ව්‍යාපාරය 2002දී ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් ලෙස පුළුල් කරන ලදී. වර්තමානයේදී සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂකවරයා ලෙස ගෙහාන් ද සිල්වා මහතා සහ මූල්‍ය අධ්‍යක්ෂවරයා ලෙස මෙවන් ද සිල්වා මහතා කටයුතු කරති.

හොරණ ආයෝජන මණ්ඩල කර්මාන්ත පුරයේ පිහිටි ISO 22000 සහ ISO 14000 තත්ත්ව සහතිකවලින් පිදුම් ලැබූ HDDES Extracts කර්මාන්ත ශාලාවේදී කුරුඳු, ගම්මිරිස්, පැඟිරි, කරාබු නැටි, සාදික්කා තෙල් නිෂ්පාදනය කර ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය, ඔස්ටේ්‍රලියාව, ජපානය, චීනය, ඉන්දියාව ආදී රටවල් රැසකට අපනයනය කරයි. මෙම තෙල් වර්ග සුවඳ විලවුන්, රසකාරක, ඖෂධ, පෝෂණ අතිරේක, බීම වර්ග, සත්ත්ව ආහාර සහ ඇරෝමා සුවඳකාරක තෙල් නිෂ්පාදනය සඳහා භාවිත කරයි. සමාගමට අයත් වතුවලින් මෙන්ම ග්‍රාමීය කුළුබඩු වැවිලිකරුවන්ගෙන් සිය නිෂ්පාදන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සපයා ගන්නා HDDES Extracts සමාගම ග්‍රාමීය ආර්ථිකය ඉහළ නැංවීමට සුවිශාල මෙහෙවරක් සිදු කරයි. ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය සමඟද ඔවුන් ව්‍යාපෘති කිහිපයක් දියත් කර ඇත. NCE, NBEA ආදි සම්මාන රැසකින් පිදුම් ලබා ඇති HDDES Extracts සමාගම සම්ප්‍රදායික හා කාබනික කෘෂිකාර්මික ක්‍රමවලට වගා කරන කුළුබඩුවලින් තෙල් වර්ග නිෂ්පාදනය කර අපනයනය කරයි. කාබනික නිෂ්පාදන සඳහා වර්තමානයේදී ලෝක වෙළෙඳපොළේ ඉහළ ඉල්ලුමක් ඇත.

නව අදහස දක්වන්න