විරෝධතා හමුවේ කතානායක කළ යුතුව තිබුණේ පක්ෂ නායක රැස්වීමක් කැඳවීමයි | දිනමිණ

විරෝධතා හමුවේ කතානායක කළ යුතුව තිබුණේ පක්ෂ නායක රැස්වීමක් කැඳවීමයි

සිතාරා සේනානි

මන්ත්‍රීවරුන්ගේ උද්ඝෝෂණ හමුවේ කතානායකවරයාට සභාව පාලනය කර ගැනීමට නොහැකි නම් කළ යුතුව තිබුණේ වහාම පක්ෂ නායක රැස්වීමක් කැඳවා තත්ත්වය පාලනය කර ගැනීමට කටයුතු කිරීම මිස පොලිසිය කැඳවීම නොවන බව වරාය හා නාවික කටයුතු ඇමැති මහින්ද සමරසිංහ මහතා පවසයි.

එහෙත් කතානායකවරයා පාර්ලිමේන්තුවේ දී ඊයේ (16) එසේ කටයුතු නොකර විරෝධතාවේ නියුතුව සිටි මන්ත්‍රීවරුන් වෙත පොලිසියේ හැත්තෑපස්දෙනකු පමණ ගෙන ඒමට කටයුතු කිරීම නිසා එය වැළැක්වීමට එම මන්ත්‍රීවරුන්ට යම් පියවර ගැනීමට සිදු වූ බව ද ඇමැතිවරයා පෙන්වා දෙයි.

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තුවේ දී ඊයේ උද‍්ඝෝෂණයක නිරත වූයේ පෙරේදා (15) පාර්ලිමේන්තුවට පිහි රැගෙන පැමිණි මන්ත්‍රීවරුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට කතානායකවරයා කටයුතු නොකළ නිසා බව ද ඇමැතිවරයා සඳහන් කරයි.

ඊයේ සිදු වූ ආකාර‍යෙන් සභාවට පොලිසිය කැඳවීමේ සම්ප්‍රදායක් කිසිදා තමන් නොදුටු බව කී ඇමැතිවරයා, කතානායකවරයාට එසේ කටයුතු කිරීමට මේ රට පොලිස් රාජ්‍යයක් නොවන බව ද අවධාරණය කළේය.

වරාය හා නාවික කටයුතු ඇමැති මහින්ද සමරසිංහ මහතා මේ බව පැවැසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (16) පැවැති මාධ්‍ය හමුවේ දී ය.

ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදන පාර්ලිමේන්තුවේ අභියෝගයට ලක් කිරීමට නොහැකි බැවින් පසුගිය 14 වැනිදා ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවේ එයට අදාළ වන පළමු වගන්තිය ඉවත් කිරීමටත්, අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය පිළිගන්නා බව පාර්ලිමේන්තුවේ දී මුලින්ම ප්‍රකාශ කරන ලෙසත්, පසුව ව්‍යවස්ථානුකූලව සහ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලට අනුකූලව අලුතින් විශ්වාසභංග යෝජනාවක් ගෙන එන ලෙසත් ජනාධිපතිවරයා පක්ෂ නායකයන්ට පෙරේදා (15) කළ දැනුම්දීම ඒ අන්දමින් ක්‍රියාත්මක කරන ලෙස අපි ඊයේ පෙරවරුවේ පැවැති පක්ෂ නායක රැස්වීමේ දී කතානායකවරයාට දන්වා සිටියත් එතුමා ඒ ගැන අවධානය යොමු නොකර පස්වරු 1.30ට පාර්ලිමේන්තුව රැස් කළා. පක්ෂ නායක රැස්වීමේ දී අලුත් විශ්වාසභංග යෝජනාවේ පිටපතක්වත් එතුමා අපට ලබා දුන්නේ නෑ. ඒ නිසා ඊයේ පාර්ලිමේන්තු රැස්වීමට සහභාගි වෙනවාද නැතිද කියන සාධාරණ සිතුවිල්ල අපට ඇති වුණා. කතානායකවරයා නැවත වතාවක් දේශපාලන කෝණයකින් බලා ඊයේ දිනයේත් පාර්ලිමේන්තුවේ කටයුතු කිරීම ගැන අපි කනගාටු‍ වෙනවා. එම නිසා පාර්ලි‍මේන්තුවේ ඊයේ වූ සිද්ධියට කතානායකවරයා සම්පූර්ණයෙන්ම වගකිව යුතුයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලැබී නැති බලයක් ආරෝපණය කරගෙන කතානායකවරයාට කටයුතු කරන්න බෑ. නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු ඇමැති දයාසිරි ජයසේකර මහතා,

ස්ථාවර නියෝග අනුව කටයුතු කර පාර්ලිමේන්තුවේ තත්ත්වය පාලනය කර ගැනීමට අසමත්වීම ගැන කතානායකවරයා ලැජ්ජාවට පත්විය යුතුයි. මුලින් ආදර්ශවත් විය යුත්තේ ඔහුයි. ඔහු එසේ නොකරන විට අනෙක් අය ගැන කුමක් කියන්නද?

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් තමන්ගේ පුටුවල හිඳගෙන මහත්වරුන් වගේ හිටියේ ඒ අය වෙනුවෙන් වැරැදි වැඩේ කරන්න කෙනෙක් සිටින බව දන්නා නිසයි. අපි කියන්නේ නීතිය හා ස්ථාවර නියෝග පිළිපදින්න බැරි ඇයි මේ විශ්වාසභංගය ගැන කරුණු සලකා බලන්න දින 5ක් දෙන්න බැරි ඇයි කියලයි.

පළාත් සභා, පළාත් පාලන සහ ක්‍රීඩා ඇමැති ෆයිසර් මුස්තාපා මහතා ද අදහස් දැක්වීය. පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා ද එම අවස්ථාවට සහභාගි විය.

නව අදහස දක්වන්න