අගමැති ධුරයට මහින්ද පත්කිරීමේ ජනපති තීරණයට අපේ සහයෝගය | දිනමිණ

අගමැති ධුරයට මහින්ද පත්කිරීමේ ජනපති තීරණයට අපේ සහයෝගය

නුවන් කොඩිකාර

රට දේශපාලනික, ආර්ථික හා සමාජයීය ලෙස අරාජිකත්වයට පත් වෙමින් තිබෙන මොහොතක ඉන් රට මුදා ගැනීම සඳහා මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීන්දුවට ගෝලීය ශ්‍රී ලාංකික සංසදය සම්පූර්ණ සහයෝගය ලබාදෙන බව එම සංසදය පවසයි.

විදේශගතව ජීවත් වන ශ්‍රී ලාංකිකයන් වශයෙන් සිය සංසදය මෙරට ඇති වී ඇති තත්ත්වය ජාත්‍යන්තරය දැනුවත් කර මෛත්‍රීපාල සිරිසේන මහතාට අවශ්‍ය සහය ලබාදීමට පියවර ගන්නා බව ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක සභාවේ ලේකම් යසස් ධර්මදාස මහතා පැවැසීය.

ජනාධිපතිවරයා විසින් අගමැතිවරයා ඉවත් කිරීම, පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳව දැනුවත් කිරීම සඳහා රාජගිරියේ පිහිටි ජාතික සංවිධාන සම්මේලන මධ්‍යස්ථානයේ ඊයේ (16) පැවැති මාධ්‍ය හමුවේදී ධර්මදාස මහතා කීවේය.

රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩුව බාරගත් දිනයේ සිට මෙරට ඇති වූ සිද්ධිදාමයන් සැලකිල්ලට ගැනීමේදී, ඔවුන් සෑම තීන්දුවක්ම ගෙන ඇත්තේ ඇතැම් බටහිර රටවල්වලට ඕනෑ එපාකම් අනුව බව පවසන ඒ මහතා තවදුරටත් එම න්‍යාය පත්‍රවලට අනුව වැඩකරන කිසිවකුට ඡන්දය නොදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලා සිටින බව ප්‍රකාශ කෙළේය.

ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක සභාවේ ලේකම් යසස් ධර්මදාස මහතා

ආර්ථිකය විනාශ කිරීම, ජාතික සම්පත් විකිණීම, බටහිර ගැති වීම ඇතුළු කාරණා කිහිපයක් බලපෑම නිසා තමයි ජනාධිපතිතුමා මෙවැනි තීරණයක් ගන්න ඇත්තේ. ඒ විතරක් නෙවෙයි එතුමා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පවා රහසිගතව ක්‍රියාත්මක වෙමින් තිබුණ බවට කරුණු හෙළි වීමත් සමඟ අගමැතිවරයා පිළිබඳව තිබුණු විශ්වාසය බිඳු වැටුණා. එහෙම වුණාම කිසිම කෙනෙක් එවැනි විශ්වාස නැති පුද්ගලයෙක් සමඟ වැඩ කරන්න සූදානම් නැහැ. මේ සියලු දේවල ප්‍රතිඵලයක් විදියට තමයි මහින්ද-මෛත්‍රී සංයෝගය ඇති වුණේ. පසුගිය පළාත් පාලන මැතිවරණය දිහා බලන්න. මහින්ද-මෛත්‍රී දෙපලට සියයට පනස් හයක ඡන්ද ප්‍රතිශතයක් ලැබිලා තිබුණා. මේ සඳහා ජතිවාදය ගැන කතා කරන කිසි කෙනකුගේ ඡන්දයක් නැහැ. එම නිසා අපි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ රටට ගැළපෙන නායකත්වයක් පත්කරගන්න කටයුතු කරන්න කියලා. මේ දිනවල ජාත්‍යන්තර පුවත්පත්වල මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ගැන සඳහන් වෙන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කළ බෞද්ධ නායකයා කියලා. එයින් ඔවුන් උත්සාහ කරන්නේ අපිට ගැරහීමටයි.

ඒ වගේම පසුගිය කාලයේ ජීනීවා නුවරට ගිහින් ආචාර්ය සරත් වීරසේකර මහත්මය ඇතුළු විද්වතුන් පිරිසක් අපේ රට වෙනුවෙන් කතා කළා, තර්ක කළා. එළඹෙන මාර්තු මාසයේදී යළිත් ජීනීවා නුවර මානව හිමිකම් සමුළුව පටන් ගන්නවා. අපි රජයෙන් ඉල්ලා සිටිනවා ආචාර්ය සරත් වීරසේකර මහතා ඇතුළු එම විද්වත් කමිටුවට ඒ පිළිබඳ සොයා බලා අවශ්‍ය තීන්දු තීරණ ගන්න බලය ලබාදෙන්න කියලා.

ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ රුසියානු ශාඛාවේ සභාපති ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා...

අපි විදේශ රටවලදි දකින්නේ බටහිර රටවල්වලින් දෙන තොරතුරුයි. ඒ අය අපේ රටවල් පෙන්වන්නේ ප්‍රජාතන්ත්‍ර විරෝධී රටවල් ලෙසයි. හැබැයි ඒ කියන රටවල් හැසිරෙන ආකාරය අපේ මිනිස්සු දන්නේ නැහැ. අපේ රටේ ප්‍රශ්නයට ජාත්‍යන්තරය අත ගහන්න ඕනේ නැහැ. අපේ ප්‍රශ්නය අපේ ජනතාවට බේර ගන්න ඉඩ දෙන්න කියලා අපේ ඒ රටවලින් ඉල්ලා සිටිනවා. අද බලන්න අපේ රටේ ජනාධිපතිවරයා විසින් පහ කළ අගමැතිවරයා ළඟට තමයි විදෙස් තානාපතිවරුන් යන්නේ. ඔවුන් යන්න ඕනේ එතැනට නෙවෙයි. ජනාධිපතිතුමා ළගට, නැත්නම් අගමැතිවරයා ළගට. ඇයි ඔවුන් එහෙම යන්නේ බලපෑම් කරන්නැයි. දැන් අපි තේරුම් ගන්න ඕන කවුද අපිට මිත්‍ර රටවල්, කවුද අපිට හතුරුකම් කරන රටවල් කියලා.

ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ ව්‍යාපෘති ලේකම් අජන්ත ප්‍රේමරත්න මහතා.

අපි අද මෙතෙන්ට ආවේ කිසිම දේශපාලන පක්ෂයකට හෝ පුද්ගයෙක් වෙනුවෙන් පෙනී සිටින්න නෙවෙයි. අපි ඉදිරිපත් වුණේ අද රටට ඇති වී තිබෙන තත්ත්වයෙන් ජනාධිපතිතුමා ගත් ක්‍රියාමාර්ගයට ස්තූතිය පුද කරන්න. මේ රට ගියපු විදියට 2020 වෙනකම් ගියා නම් රටක් ඉතුරු වේවිද කියන ප්‍රශ්නය තමයි ජනතාවගෙන් අහන්න වෙන්නේ. යළිත් වරක් අපි කියන්නේ ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ සමාජිකයන් ලෙස ජනාධිපතිතුමා ගත් තීරණයට සහයෝගය ලබාදෙනවා.

ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ ශ්‍රී ලංකා නේවාසික සම්බන්ධීකාරක, නීතිඥ නුවන් බැල්ලන්තුඩාව

අපේ රටේ ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිතුමාට තමයි අගමැති සහ කැබිනට් මණ්ඩලය පත්කරන්න අයිතිය තිබෙන්නේ. එක්සත් ජාතික පක්ෂයට එය වැරදි නම් උසාවියට යන්න තිබුණා. එහෙම යන්නැත්තේ ඔවුන් දන්නවා අධිකරණයට ගියොත් ඔවුන්ට අවාසි කියලා. අනෙක් කාරණය තමයි උසාවිය යන්න ඕනේ නැහැ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ තුනෙන් දෙකේ ඡන්දයකින් මැතිවරණය තියන්න කියලා යෝජනාවක් ගෙනත් සම්මත කරගන්න එක. ජනතා විමුක්ති පෙරමුණට පුළුවන් අගමැති ඉවත් කරන්න විශ්වාසභංග යෝජනාව ගෙනාවා වගේ පාර්ලිමේන්තුව විසුරුවල ඡන්දය තියන්න කියන යෝජනාව ගේන්න. අපි ඔවුන්ට කියනව ප්‍රජාතන්ත්‍රවාදය අගයනවා නම් ඒ දේ කරන්න කියලා.

 

නව අදහස දක්වන්න