පාර්ලිමේන්තු සභා ගර්භයේ කලහකාරී කටයුතුවලට කතානායක වගකිව යුතුයි | දිනමිණ

පාර්ලිමේන්තු සභා ගර්භයේ කලහකාරී කටයුතුවලට කතානායක වගකිව යුතුයි

ස්වර්ණා විජේකෝන්, රෝෂන් තුෂාර සහ සන්ධ්‍යා කරුණාරත්න

පාර්ලිමේන්තු සම්ප්‍රදායන්, ස්ථාවර නියෝග, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව නීතිවිරෝධීව කටයුතු කළ කතානායකවරයාගේ ක්‍රියාකලාපයට හා ආයුධ රැගෙන පැමිණි මන්ත්‍රීවරුන් අත්අඩංගුවට නොගැනීමට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විරෝධතාවක නියැළුණු බව සභානායක, ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසුවේය.

පාර්ලිමේන්තු සභාගර්භය තුළ සිදු වූ කලහකාරී හැසිරීමෙහි සම්පූර්ණ වගකීම කතානායකවරයා බාරගත යුතු බවත්, රට අරාජික නොකර මහ මැතිවරණයක් පැවැත්විය යුතු බවත් ඇමැතිවරයා පැවැසුවේය.

පාර්ලිමේන්තු සංකීර්ණය තුළ පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් ඇමැතිවරයා මේ බව ඊයේ (16) ප්‍රකාශ කෙළේය.

ඇමැතිවරයා මෙසේද පැවැසුවේය.

ඊයේ (16) සවස 1.30ට කතානායකවරයා පාර්ලිමේන්තුව කැඳවීම ප්‍රකාශයට පත්කළා. නීතිවිරෝධී හා හිතුවක්කාරි ලෙස පාර්ලිමේන්තු සම්ප්‍රදායට විරුද්ධව වැරදි නින්දිත තීරණයක් එය. එහි ප්‍රතිඵලයක් විදියට තමයි පාර්ලිමේන්තුව තුළ මෙවැනි කලහකාරී උණුසුම් තත්ත්වයක් ඇති වුණේ. කතානායකවරයාගේ හැසිරීමේ ප්‍රතිඵලයක් විදියටම තමයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව තුළදී පෙරේදා (15) කතාවක් සිදුකෙළේ, අද වනවිට පාර්ලිමේන්තුව තුළ ඇතිවී තිබෙන මේ අර්බුදයට කතානායකවරයාම වගකිව යුතුයි. පාර්ලිමේන්තුව තුළ ඊයේට වඩා නරක තත්ත්වයක් නැවතත් ඇති නොවීමට කතානායකවරයා වගබලා ගත යුතුයි. පාර්ලිමේන්තු සභා ගර්භය තුළට පිහි දෙකක් අතැතිව මන්ත්‍රීවරුන් දෙදෙනකුට ඇතුළුවීමට දුන් අවසරය නිසා අගමැතිවරයාගේ ජීවිතය පවා අනතුරකට ලක්වීමට ඉඩ තිබුණා. මේ මන්ත්‍රීවරුන් දෙදෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවට කතානායකවරයා වෙත අපි දැනුම් දුන්න ද ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන තිබුණේ නැහැ. පාර්ලිමේන්තුව තුළදී ඊට විරෝධය පෑමක් අපේ මන්ත්‍රීවරුන් විසින් සිදු කළා. එවැනි තත්ත්වයකට අපව ඇද දැමුවේ කතානායකවරයා. අපේ මන්ත්‍රීවරයකුගේ අතක් කැපුණා. පැය දෙකක සැත්කමක් ඔහුට සිදුකළා. මේ ගැන පැමිණිල්ලක් කතානායකවරයාට කළත් ඒ සම්බන්ධයෙන් කිසිඳු පියවරක් ගැනීමට කතානායකවරයා කටයුතු කෙළේ නැහැ.

මේ සිදුවීම්වලට නීතියට අනුව කටයුතු කරන්න කියලා තමයි අපේ මන්ත්‍රීවරුන් කෑගැසුවේ. මහලේකම්වරුන් තුන්දෙනා, මැති ඇමැතිවරුන් සිටියට පාර්ලිමේන්තුව පැවැත්වූවේ නැහැ. කතානායකවරයා හිතුමතේට සම්මත කළ යෝජනා අපට පිළිගත නොහැකියි. කතානායකවරයා පක්ෂග්‍රාහී ලෙස අතකොළුවක් බවට පත්ව සිටිනවා. පාර්ලිමේන්තු ඉතිහාසය තුළ මෙවැනි තත්ත්වයන් ඇතිවුණා. නමුත් කවදාවත් පොලිස් භට පිරිසක් සමඟ කතානායකවරයකු පාර්ලිමේන්තු සභා ගර්භයට ඇතුළු වුණේ නැහැ. කතානායකවරයා ‍පොලිසියේ විශාල පිරිසක් සමඟ සභා ගර්භයට ඇතුළුවී මුල්ලක වාඩිවෙලා යෝජනාවක් සම්මත කළා. නැවත එවැනි තත්ත්වයක් පාර්ලිමේන්තුව තුළ ඇති නොවිය යුතුයි. අපේ මැති ඇමැතිවරුන්ගේ ආරක්ෂාව ඉල්ලමින් තමයි සභාගර්භය තුළදී විරෝධතාවක නියැලුණේ. ඒ තත්ත්වය ගැන කනගාටු වෙනවා. නමුත් ඒ තත්ත්වය ඇති කෙළේ කතානායකවරයා.

ජීවිතවලට තර්ජනය වන අවි ආයුධ සභාගර්භය තුළට ගෙනඒමට නොහැකියි. පාර්ලිමේන්තුව උත්තරීතර වුණේ ඒ නිසයි. වගකීමක් නැති, ඉතාම පහත් කතානායකවරයකු ලෙස ඔහු හැසුරුණා. වත්මන් විරුද්ධ පක්ෂයේ අය ඊට සහාය දෙමින් රට අරාජික කිරීමට පියවර ගන්නවා. එජාපය, ජවිපෙ, දෙමළ ජාතික සන්ධානයේ අතකොළුවක් බවට කතානායකවරයා පත්ව සිටිනවා. කතානායකවරයා, පක්ෂ නායකවරුන් පෙරේදා (15) ජනාධිපති වරයා හමුවුණා. ව්‍යවස්ථාවට අනුව කළ පත්වීම් පිළිගත යුතු බවට ජනාධිපතිවරයා ඔවුන්ට ප්‍රකාශ කළා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව සාදා තිබෙන ස්ථාවර නියෝගවලට පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීන් ගරු කළ යුතුයි. තුවක්කු බටයට, පිහි කිනිසිවලට බය කළ හැකි පාර්ලිමේන්තුවක් බවට පත්කිරීමට වත්මන් විපක්ෂය කටයුතු කරනවා. පාර්ලිමේන්තුවේ බහුතර බලයක් පෙන්විය හැකි නම් ස්ථාවර නියෝගවලට අනුව කටයුතු කළ යුතුයි. එජාපයට බහුතරයක් නැහැ කියලා මම වගකීමෙන් කියනවා. ජවිපෙ මන්ත්‍රීන් 6 ක්, දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීන් 16 ක් ඇමැති ධුර බාරගන්න කැමැති නැහැ. දෙමළ ජාතික සන්ධානයේ දෙදෙනෙක් අපේ පැත්තට එනවා. රනිල් මහතාට නිසි ලෙස ආණ්ඩුවක් හැදිය නොහැකි නිසා තමයි මේ තත්ත්වය ඇතිවුණේ. මැතිවරණ කැඳවීම තවදුරටත් ප්‍රමාද නොකළ යුතුයි.

හිටපු කතානායක, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති

චමල් රාජපක්ෂ මහතා -

කතානායකවරයාගේ හැසිරීමේ පක්ෂග්‍රාහී බවක් අපි දකිනවා. පාර්ලිමේන්තු සම්ප්‍රදායට අපි ගරු කළ යුතුයි. නීතියට අනුව කටයුතු කළ යුතුයි. නීත්‍යානුකූලව හා අර්ථවත්ව පාර්ලිමේන්තුව පැවැත්වීම සඳහා ස්ථාවර නියෝග තිබෙනවා. විදේශීය නියෝජිතයන් පිරිසක් ගැලරියට ගෙන්වා තිබුණා. මේවාට වගකිවයුත්තේ කතානායකවරයා. සභා ගර්භය තුළට පොලිසිය ආවා. මේවා අශෝභන දර්ශනයන්. ව්‍යවස්ථාදායකය හා විධායකය අතර ලොකු අර්බුදයක් ඇතිවී තිබීම ගැන වගකිවයුත්තේ කතානායකවරයා. එතුමා අපක්ෂපාතීව සිටියා නම් මෙවැනි අර්බුදයක් ඇතිවන්නේ නැහැ. මේ දින තුන තුළ පාර්ලිමේන්තුව තුළ හැසිරීම හෙළා දකිනවා වගේම ඒ ගැන කනගාටු වෙනවා. රටේ ගෞරවය, පාර්ලිමේන්තුවේ ගෞරවය ආරක්ෂා කරන්න කතානායකවරයා කටයුතු කළ යුතුයි.

ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා -

පාර්ලිමේන්තුවේ මේ දිනවල හැසිරීම ගැන ජනතාව දන්නවා. කතානායකවරයා ජනපති වෙත 14 වැනිදා ලියුමක් යවා තිබෙනවා. එහි සඳහන් පළමු කාරණාව ඉවත් කරගෙන දෙවැනි කොටස ක්‍රියාවට නංවන්න විපක්ෂය කටයුතු කරනවා. එසේ නම් පළමු හා දෙවැනි කොටස්වල තිබූ දේ හිමින් සම්මත කළා කියලා කියන එකේ තේරුම මොකක්ද? එය වලංගු ද, නැද්ද. එකපිට එක නීතිවිරෝධී ලෙස යෝජනා සම්මත කරනවා. කතානායකවරයකුට මෙවැනි දේ වටින්නේ නැහැ. පාර්ලිමේන්තුව විධිමත් ලෙස ස්ථාපනය කරගන්න කියලා ජනාධිපතිවරයා කීවා. සභානායකවරයෙක්, ආණ්ඩු පක්ෂයේ සංවිධායකවරයෙක්, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවක් තිබෙනවා. පාර්ලිමේන්තුව පවත්වාගෙන යා යුතු ක්‍රමවේදයක් තිබෙනවා. එජාප මන්ත්‍රීවරු 2 ක් පිහි අරගෙන හිටියා. කතානායක පාර්ලිමේන්තු පොලිසියට පැමිණිලි කළ යුතුයි ඒ ගැන. පාර්ලිමේන්තු පොලිසිය එසේ නැතිව පැමිණිලි බාරගන්නේ නැහැ.

පාර්ලිමේන්තු සභා ගර්භය තුළ ඉහළ මාලයේ සිට පිරිසක් ÒහූÓ කීවා. කතානායක හා වේත්‍රධාරිතුමාගේ අවසරය නැතිව ඉහළ මාලයට ඇතුළු විය නොහැකියි. අපේ කවුරුත් ආධාරකරුවන් ආවේ නැහැ. විපක්ෂයට හිතවත් මැර පිරිසක් ඉහළ මාලයට ඇවිත් ÒහූÓ කියන්න ගත්තා. යම් යම් දේවල් උඩ සිට දමා ගැසුවා. යෝජනාවක් සම්මත කර මේ ආණ්ඩුව පිළිගන්නේ නැහැ කියන එක කියන්න තමයි කතානායකවරයාට ඕනෑ කරන්නේ. අංක නැති පොලිස් පිරිසක් සමඟ කතානායකවරයා සභා ගර්භයට පැමිණියා. අපි එයට විරුද්ධ වුණා. පාර්ලිමේන්තුව පවත්වාගෙන යන්නට කතානායකවරයා අපොහොසත්ව තිබෙනවා. පාර්ලිමේන්තුවේ ඉහළ මාලයේ මහජන ගැලරියට පැමිණි අය ගැන නම් ලැයිස්තුවක් වේත්‍රධාරිතුමා ගෙන තිබෙනවා. එය අපි ඉල්ලනවා. කවුද මැරවරයන් ගෙනාවේ කියලා එමඟින් සොයාගත හැකියි.

මැතිවරණයකට යන්න මේ අය බයයි. සුමන්තිරන් මේ රඟපෑම කරන්නේ රට බෙදීම ගැන ඔහු දැමූ වාර්තාව සම්මත කරගන්නයි. යාබද පළාත් සභා දෙකේ ජනතාවගේ ජනමත විචාරණයකින් ඒකාබද්ධ කළ හැකියි කියලා ඒ වාර්තාවේ තිබෙනවා. මේ කෙටුම්පත් හදන එකේ සභාපතිවරයා වුණේ ඒ දවස්වල රනිල් වික්‍රමසිංහ මහතා. මේ මුළු ක්‍රියාදාමයේම අධ්‍යක්ෂ සුමන්තිරන්. නිෂ්පාදක රනිල්. ප්‍රධාන නළුවා කතානායක. ඇඳුම් සැපයීම ජවිපෙ කියලා මෙතුමා කියනවා. බටහිර නියෝජිතයන්ට රට බාරදීමට රනිල් මහතා කටයුතු කරනවා. අගමැති මහින්ද රාජපක්ෂ මහතා මැයි 19 වැනිදා දිනක ත්‍රස්තවාදීන්ගෙන් රට බේරාගත්තා. දැන් නැවතත් එතුමාට රට බේරා ගැනීමට සිදුව තිබෙනවා. අපි එතුමාට සහාය දෙමු.

ඇමැති වාසුදේව නානායක්කාර මහතා -

පසුගිය නොවැම්බර් 08 වැනිදා කතානායකවරයා වෙත මම ලිපියක් යොමු කළා. එයට පිළිතුරක් ලැබුණේ නැහැ. මෛත්‍රීපාල හා මහින්ද මහත්වරු එකතු වුණේ රනිල් මහතා කළ වැඩ නිසයි. මෛත්‍රීපාල ජනාධිපතිවරයා සහ ගෝඨාභය මහතා මරන්නට සැලසුමක් හදා තිබුණා. මෙවැනි දේ නිසා ඔවුන් දෙදෙනා රට එක්සේසත් කර මහජනතාවට සුබසිද්ධිය සැලසීමට පියවර ගත්තා. පාර්ලිමේන්තුවේ මේ පවතින තත්ත්වය මඟහරවා ගැනීමට කළ යුතු එකම විසඳුම තමයි පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීම.

ඇමැති එස්. බී. දිසානායක මහතා -

2015 ජනාධිපතිවරණයෙන් පසුව ආණ්ඩුව පිහිටවූවා. එසේ ආණ්ඩුව පිහිටුවීම සිදුකෙළේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ආසන 41 ක් තිබියදී පමණයි. ඔහුට බහුතර බලයක් එවිට තිබුණේ නැහැ. අගමැති දි. මු. ජයරත්න මහතා කිසිඳු කතාවක් නැතිව අගමැතිකම රනිල් මහතාට බාර දී යන්න ගියා. අද එහෙම බැරි ඇයි? අපට බහුතර බලයක් තිබෙනවා. ඒ නිසා විපක්ෂය ඒ ගැන කෑගසන්නට ඕනෑ නැහැ. මුස්ලිම් කොංග්‍රසය, රිෂාඩ් බදියුදීන් මහතාගේ පිරිසක්, එජාපයේ කොටසක් අප සමඟ එකතුවීමට කැමැත්ත පළකර තිබෙනවා.

නව අදහස දක්වන්න