රූට් තනි අතින් එංගලන්තය ගොඩ දමයි | දිනමිණ

රූට් තනි අතින් එංගලන්තය ගොඩ දමයි

ෆවුස් මොහොමඩ්

දඟ පන්දු යවන්නන්ගේ පාරාදීසයක් බඳු තණතීරුවේ එංගලන්තයේ පිතිකරුවන් සෙල්ලමකට ගත් අකිල ධනංජය සිය ටෙස්ට් තරග දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කරද්දී තනි අතින් ඉනිම ඇදගෙන ගිය එංගලන්ත පිලේ නායක ජෝ රූට්ගේ සටන්කාමී ශතකය නිසා දෙපිල අතර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වූ ඊයේ පස්වරුවේ පිටියේ ආලෝක තත්ත්වය අඩුවීම නිසා තරගය නතර කරනවිට එංගලන්ත පිල සිය දෙවැනි ඉනිම සඳහා කඩුලු 9කට ලකුණු 324ක් රැස් කිරීමට සමත්විය.

ඊයේ පස්වරු 4.15 පමණ වනවිට පල්ලෙකැලේ ක්‍රීඩාංගණය වටා දෙපස කඳු මුදුන් වැසි වලාකුලෙන් වැසී ගිය අතර දිනය නිමාවීමට තවත් ඕවර 15ක් ඉතිරිව තිබියදී තරගය නතර කිරීමට විනිසුරුවෝ පියවර ගත්හ. ඊට මොහොතකට පසුව මහා වැසි ඇද හැලෙන්නට පටන් ගත්තේය. ඒ වනවිට එංගලන්ත පිල ශ්‍රී ලංකාවට වඩා ලකුණු 278ක් ඉදිරියෙන් පසුවූ අතර බෙන් ෆෝක්ස් ලකුණු 51ක් ද, ජේම්ස් ඇන්ඩර්සන් ලකුණු 4ක් ද ලබා නොදැවී කඩුල්ලේ රැඳී සිටියහ.

තරගය ආරම්භ වූ පළමු දිනයේ පළමු ඕවරයේ සිටම තියුණු ලෙස පන්දුව දඟ කැවෙන්නට පටන් ගත් පල්ලෙකැලේ තණතීරුවේ එංගලන්ත ඉනිමේ දෙවැනි කඩුල්ල ඊයේ උදෑසන මුළු ලකුණු සංඛ්‍යාව 77දී බිඳ වැටීමෙන් පසුව පිටියට පිවිසි නායක ජෝ රූට් ඉතා කල්පනාකාරී ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 124ක් රැස් කළ අතර බිඳ වැටුණු ඉනිම කදිමට පිළිසකර කරමින් වාර්තා කළේ සිය 15 වැනි ටෙස්ට් ශතකයයි. මිනිත්තු 165ක් කඩුල්ල ආරක්ෂා කරගත් එංගලන්ත පිලේ නායකයා ලක්මාල්ගේ පන්දුවකට හතරේ පහරක් එල්ල කරමින් සියය වාර්තා කළ විගස ඉහළට පැන අහසට මිට මොලවා අනිමින් සිය සතුට පෙන්නුම් කළේය.

තරගයේ පළමු දිනයේ සිටම දඟ පන්දු යවන්නන්ගේ සැණකෙළියක් බවට පත්වූ මේ තරගයේ එංගලන්ත ඉනිම් 2දිත්, ශ්‍රී ලංකා පළමු ඉනිමේදිත් බිඳ වැටුණු කඩුලු 29න් 27ක්ම දඟපන්දු යවන්නෝ අයිති කරගත්හ. එංගලන්ත දෙවැනි ඉනිමේ අවසන් භාගය වනතුරු වේගපන්දු යවන ශ්‍රී ලංකා පිලේ නායක සුරංග ලක්මාල් පන්දුව අතට ගත්තේ නැත.

ස්වීප් සහ රිවර්ස් ස්වීප් පහරවල් සඳහා ඊයේ එංගලන්ත පිතිකරුවන් පොළඹවා ගත් ශ්‍රී ලංකා පිලේ දඟ පන්දු යවන්නන් බිඳ වැටුණු මුල් කඩුලු 7ම අත්කර ගත්තේ එම උපක්‍රමයෙනි.එහි ප්‍රමුඛයා බවට පත්වූ අකිල ධනංජය පිට පිට පන්දු දෙකකදී එංගලන්ත පිලේ නායකයාවත්, අනතුරුව සෑම් කරන්වත් පිටියෙන් ඉවත් කරමින් තරගය පුරා කඩුලු 6ක්ම බිඳ දැමුවේය.

කඩුලු 10ම අතැතිව ලකුණු 46ක් පසුපසින් සිටිමින් ඊයේ උදෑසන පිටියට පිවිසි එංගලන්ත පිතිකරුවන් දැඩි පීඩනයකට ඇද දැමූ ශ්‍රී ලංකා පිල තරගයේ වාසිය සියතට ගත්තේ දිවා ආහාරයට පෙර කඩුලු 4ක්ම උදුරා ගනිමිනි. දිවා ආහාරය වෙද්දී එංගලන්ත පිල කඩුලු 4කට ලකුණු 131ක් ලබා සිටියේය. ඒ වනවිට නොදැවී ලකුණු 26ක් ලබා සිටි ජෝ රූට් දිවා ආහාරයෙන් පසුව ආක්‍රමණශීලී පිතිහරඹයක නිරතවූ අතර ජොස් බට්ලර් සමග එක්ව ලකුණු 183 දක්වා මුළු ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේ පස්වැනි කඩුල්ලට ලකුණු 52ක් එකතු කරමිනි. සිය නායකයාට අගනා සහයක් ලබාදුන් බට්ලර් ලකුණු ලබාගැනීම වේගවත් කළ අතර පන්දු 45කදී ලකුණු34ක් ලබා සිටි අතර අකිල ධනංජයගේ පන්දුවකට රිවර්ස් ස්වීප් පහරක් එල්ල කරන්නට යාමෙන් පා ඉන්න බිඳ ගත්තේය.

පෙරේදා දිනය නිමාවීමට ඉතිරිව තිබූ එකම ඕවරයේදි කඩුලු ආරක්ෂා කරගැනීමේ අරමුණින් රොරී බර්න්ස් සමග ඉනිම ආරම්භ කිරීමට පිටියට එවනු ලැබූ ජැක් ලීච් ඊයේ උදෑසන දෙවැනි ඕවරයේදි ඩිල්රුවන් පෙරේරාගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවූ අතර විනිසුරු මාරියස් එරස්මස් ප්‍රතික්ෂේප කළ එම ඉල්ලීම සුරංග ලක්මාල් සාර්ථක කරගත්තේ විනිසුරු තීරණය යළි විමසීමේ ක්‍රමවේදයේ පිහිටෙනි.

පසුව තම සුපුරුදු ආරම්භක සගයා කීටන් ජෙනිංග්ස් එක්වීමත් සමග නව පණක් ලැබූ අයුරින් පිතිහරඹයේ නිරතවූ බර්න්ස් දෙවැනි කඩුල්ලට ලකුණු 76ක සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත්වූ අතර සිය ටෙස්ට් තරග දිවියේ මංගල අර්ධ ශතකයක් වාර්තා කරගත්තේය. මේ පිතිකරු යුගලය එංගලන්ත ඉනිමේ මුළු ලකුණු සංඛ්‍යාව 77 දක්වා ඉහළ දැමුවේ ඩිල්රුවන්ගේ, අකිල ධනංජයගේ හා මලින්ද පුෂ්පකුමාරගේ දැඩි පරීක්ෂාකිරීම ගණනාවකට මුහුණ දෙමිනි. එම සම්බන්ධතාව බිඳ දැමූ අකිල ධනංජය කඩුල්ල මුවා කිරීමේ වරදට ජෙනිංග්ස් අසුකරගත්තේ ඔහු මැද ඉන්න කෙළින් වැටුණු පන්දුවට රිවර්ස් ස්වීප් පහරක් එල්ල කරන්නට පොළඹවා ගනිමිනි.

දිවා ආහාරයට පෙර එංගලන්ත පිලේ තුන්වැනි හා සිවුවැනි කඩුල්ල බිඳ වැටුණේ එක් ලකුණක් ඇතුළතය. බර්න්ස් කඩුල්ල මුවා කරගැනීමේ වරදට හසු කරගැනීමට 26 වැනි ඕවරය යැවූ මලින්ද පුෂ්පකුමාර සමත්වෙද්දී 27 වැනි ඕවරය යැවූ ඩිල්රුවන් ලකුණු ලබාගැනීමටත් පෙර බෙන් ස්ටෝක්ස් ආපසු හරවා යැව්වේද කඩුල්ල මුවා කිරීමේ උගුලට හසු කරමිනි. බර්න්ස් මෙන්ම ස්ටෝක්ස් ද විනිසුරු දුන් තීන්දුවලට අභියෝග කරමින් විනිසුරු තීරණ යළ විමසීමේ අවස්ථාව පාවිච්චියට ගත්තත් අන්තිමේදී එම අවස්ථා දෙකම නැති කරගත්තේය. ශ්‍රී ලංකා පිලට ද සිදුවූයේ ඒ ටිකමය. තරගය තීරණාත්මක එකක් වූ බැවින් ශ්‍රී ලංකා පිලේ නායකයා ද විනිසුරු තීරණ යළි විමසීම දෙවරක් අසාර්ථක කරගැනීමෙන් දිවා ආහාරයට පෙර තරග විනිසුරුට එරෙහිව යාමේ විකල්පය අහිමිවිය.

අද තරගයේ සිවුවැනි දිනයයි.

නව අදහස දක්වන්න