රතු කුරුස දියමන්තියේ කතාව | දිනමිණ

රතු කුරුස දියමන්තියේ කතාව

ඇමරිකන් හස්ල් 20

සැකය දුරු කර මහරාජා රජයේ රෝහලකට ඇතුළුකොට ගමන් බලපත්‍රය සන්තකයේ තබාගන්නා ලෙස වෙයින්බර්ග් සහායකයාට නියෝග කළේය. පසුදින යළිත් ඔහුට ලූගෙන් ඇමතුමක් ලැබුණි. එහෙත් ඒ වන විටත් සිදුවිය යුතු සියල්ල සිදුවී තිබිණි. ලූ පැවසු ආකාරයට, රෝහලට ඇතුළු කළ අවස්ථාවේදී මහරාජාගේ ගුවන් ගමන් බලපත්‍රය හෙද නිලධාරීන් විසින් ලූගෙන් ඉල්ලාගෙන තිබේ. එහෙත් අනන්‍යතාව තහවුරු කරගැනීමෙන් පසුව එය ලබා දී ඇත්තේ ලූට නොව මහරාජාටය. රෝහල් ඇඳක් මත වැතිරී ඉතා අසීරුවෙන් හුස්ම අදිමින් සිටි මහරාජා එදින රාත්‍රියේ කාටත් හොරා රෝහලෙන් පිටව ගොස් ඇත.

ඉන්දියාවේ මහරාජා කෙනකු වුවද මේ කියන පුද්ගලයා එවකට පදිංචිව සිටියේ තායිලන්තයේ බැංකොක් නුවරය. ධනකුවේරයකු ලෙස රඟපෑ මහරාජා ඩොලර් මිලියන 2.8ක දැවැන්ත ණයක් මොපිඩ් සමාගමට ලබාදීමට එකඟව සිටියේ සමාගම විසින් ඩොලර් ලක්ෂයක අත්තිකාරමක් බැඳිය යුතු කොන්දේසියයි. ගනුදෙනුවට හවුල් වූ මොපිඩ් සමාගමේ බලධාරියා, මහරාජා සම්බන්ධයෙන් පැහැදී සිටියේ, ඇමරිකාවේ ඉන්දීය තානාපති කාර්යාලය පවා මහරාජා කෙරෙහි දැක්වු ගෞරවය නිසාය. වෙයින්බර්ග්ට ඔහු කියූ ආකාරයට මහරාජාගේ එක් දුරකතන ඇමතුමකින් ඉන්දීය තානාපති කාර්යාල නිලධාරියකු එහි පැමිණ තිබුණේ රාජ්‍යතාන්ත්‍රික සංචාර සඳහා භාවිතා කෙරෙන නිල රථයකිනි.

නිලධාරියා මහරාජාට සලකා තිබුණේ ද සිය රටේදී රාජකීයයකුට සලකන අන්දමේ ගෞරවයකිනි. මේ සියලු කාරණා නිසා මොපිඩ් සමාගම් බලධාරියාට මහරාජා ගැන දැඩි විශ්වාසයක් තිබුණි. දෙවරක් නොසිතා ඩොලර් ලක්ෂයේ අත්තිකාරම පිරිනැමූ මොපිඩ් සමාගම කලබල වුණේ, ස්විට්සර්ලන්ත බැංකුවට යැවූ මහරාජාගේ චෙක්පත ප්‍රතික්ෂේප වීමත් සමඟය. මේ අවුල සම්බන්ධයෙන් මහරාජාගෙන් විමසීමක් කිරීමට සමාගමේ උප සභාපතිවරයකු බැංකොක් නුවරට යැවුණි පෙනෙන්නට තිබුණේ. සිදුව ඇති අකරතැබ්බය ගැන මහරාජාද නොසන්සුන්ව සිටි බවය. පටලැවීම ගැන හේතු දැක්වීමට මහරාජා ඉදිරිපත්ව තිබුණු නමුත්, මොපිඩ් බලධාරියාට අවශ්‍ය වූයේ, ඔහුගේ යෝජනා පිළිගැනීමට පෙර වෙයින්බර්ග් ලවා එම කතා ඇත්තක් දැයි තහවුරු කරගැනීමටය. වෙයින්බර්ග් ද මහරාජාට නොදෙවැනි කපටියකු බව අසරණ මොපිඩ් බලධාරියා නිකමටවත් සැක කළේ නැත.

මහරාජා කියා තිබූ ආකාරයට ඔහු මොපිඩ් සමාගමට පොරොන්දු වූ ණය මුදල බැංකුව විසින් පියවන්නට යෙදී තිබුණේ දියමන්තියක් විකුණා ලැබෙන මුදලිනි. ‘රතු කුරුස දියමන්තිය‘ ලෙස හැඳින්වුණු මහරාජාට අයත් මෙම මහාර්ඝ දියමන්තිය විකුණා ලැබෙන මුදල සිය ගිණුමට බැර කරන ලෙසට මහරාජා ස්විස් බැංකුවට උපදෙස් දී තිබිණි. නමුත් ස්විට්සර්ලන්ත රජය දියමන්තිය රාජසන්තක කොට තිබුණේ, බදු ගෙවිම පැහැර හැරි බවට චෝදනා කරමිනි. තත්වය නිරාකරණය කර ගැනීමට තමාම ස්විට්සර්ලන්තය බලා යා යුතු බව මහරාජාගේ අදහස විය. සූරිච් නුවරට පළමු පන්තියේ ගුවන් ටිකට්පතක් පිරිනමන්නේ නම් බදු අර්බුදය විසඳා, දියමන්තිය විකුණා මොපිඩ් සමාගමට ගෙවිය යුතු ඩොලර් මිලියන 2.8ක ණය ගෙවීමට හේ පොරොන්දු වී තිබිණි. මොපිඩ් සමාගම් බලධාරියාට අවශ්‍ය වුණේ, මහරාජා පොරොන්දු වූ පරිදි ක්‍රියා කරන්නේ දැයි වෙයින්බර්ග් ලවා සොයා බැලීමටය. හිලව්වට දියමන්ති අලෙවියෙන් ලැබෙන මුදලින් කොටසක් වෙයින්බර්ග්ට දීමටද නිලධාරියා පොරොන්දු විය. එසේම මහරාජාගේ දියමන්ති ගනුදෙනුව බොරුවක් බව ඔප්පු වූවහොත් ඔහුට දුන් ඩොලර් ලක්ෂයේ අත්තිකාරම යළි ලබාගැනීමේ වගකීමද වෙයින්බර්ග්ට පැවරී තිබිණි. එපමණක් නොව මහරාජා ලුහුබැඳීමේ මහා වික්‍රමයේ වෙයින්බර්ග් හා ඔහුගේ සහායක ලූගේ වියදම් සියල්ල දැරීමටද මොපිඩ් සමාගම එකඟ විය.

පසුදින උදෑසන ලූද සමඟ වෙයින්බර්ග් ස්විට්සර්ලන්තයේ සූරිච් නුවරට පිය­ාසර කර සූරිච් හෝටලයේ නවාතැන් ගත්තේය. මහරාජා පැමිණෙන තුරු එහි හිඳීම ඔහුගේ සැලැස්ම විය. කෙතරම් තකතීරුවකු වුවත් වෙයින්බර්ග් වූකලී පෞද්ගලික පවිත්‍රතාවය අතිශයින්ම වැදගත් කොට සැලකූවෙකි. එය කුඩාවියේ සිටම ඔහුගේ ඇබ්බැහියකි. සූරිච් හෝටලයේ කාමරය තමා සමඟ බෙදා ගත් ලූගේ අපවිත්‍රකම පිළිබඳව වෙයින්බර්ග් කෝපයෙන් පසු වූ හේතුව එයයි.

“නොදකින් මෙච්චර මිනිස්සු ඉඳිද්දි, මටම මේ කිලුටු හොරිකඩය එක්ක එකට ඉන්න වුණානේ.“ ලූ සමඟ සූරිච් හෝටලයේ ගතකළ හැම දිනකම වෙයින්බර්ග් ශාපකළේය.

කතිකා කරගත් ආකාරයට මහරාජා පසුදින උදෑසනින්ම වෙයින්බර්ග් නැවතී සිටි කාමරයට පැමිණි අතර, උණුසුම් පිළිගැනීමකින් පසු දෙදෙනා කතාවට වැටුණහ. පුරා පැයක් තමාගේ අසීමිත වත්කම් හා ධනවතුන් සමඟ ඇති සබඳතා ගැන පුරාජේරු ගැසු මහරාජා තමාට නොදෙවෙනි තක්කඩියකු බව වටහා ගැනීමට වෙයින්බර්ග්ට වෙනත් සාක්ෂි අවශ්‍ය වූයේ නැත. මහරාජාගේ ගුවන් ගමන් බලපත්‍රය බලහත්කාරයෙන් ඩැහැගෙන වෙයින්බර්ග් කාමරයෙන් පිටවිය. තමා මෙම කතාවේ ඇත්ත නැත්ත සොයාගන්නා තෙක් මහරාජා අත්අඩංගුවේ තබාගන්නා ලෙසට ලූට උපදෙස් දෙමිනි. ඔහු අභිබවා යාමට මහරාජාද උත්සාහ නොදැරුවේ වෙයින්බර්ග් පාතාල මැරයකු බව අවබෝධ කරගෙන සිටි නිසාය. වෙයින්බර්ග්ගේ ඊළඟ ප්‍රයත්නය වූයේ මහරාජාගේ දියමන්ති කතාව ඇත්තක් දැයි දැනගැනීමයි. තමාට තිබු නානාවිධ සම්බන්ධකම් මාර්ගයෙන් වැඩිකල් යන්නට මත්තෙන් මහරාජාගේ හොර එළි කරගන්නට වෙයින්බර්ග් සමත් විය. දැනගැනීමට ලැබුණු තොරතුරුවලට අනුව මහරාජාට රතු කුරුස දියමන්තියක් හෝ, ණයක් දීමට තරම් වත්කමක් හෝ ස්විට්සර්ලන්ත බැංකු ගිණුමක් හෝ තිබුණේ නැත. අවම වශයෙන් ඔහු මහරාජා කෙනෙකු හෝ නොව වෘත්තීය මුදල් වංචාකරුවෙකි. මොපිඩ් සමාගමෙන් වංචාකර ගත් ඩොලර් ලක්ෂය ඔහු පරෙස්සමට තබා විත් තිබුණේ බැංකොක් නුවර විසූ ඔහුගේ බිරින්දෑ ළඟය. වහාම මුදල් සියල්ල ලන්ඩනයට එවන ලෙසට මහරාජා ලවා බිරියට විදුලි පණිවුඩයක් යැවු වෙයින්බර්ග් ලු ද සිය අත්අඩංගුවේ සිටි මහරාජාද කැටුව ලන්ඩනයට පැමිණ ‘හොලිඩේ ඉන්‘ හෝටලේ නවාතැන් ගත්තේ. මුදල් ලැබෙන තුරු එහි නැවතී සිටීමේ අරමුණිනි. දින සති බවට පත්ව කාලය ගතව ගියත් බැංකොක් නුවරින් මුදල් ලැබෙන පාටක් තිබුණේ නැත. මහරාජාද, දේශපාලනික අර්බුදවල සිට මොරසූරන මෝසම් වැසි දක්වා සිතාගත හැකි නොයෙක් කාරණා පමාවට හේතු ලෙස දක්වන්නට ගත්තේය. නමුත් ඒ කිසිවකින් හෝ වෙයින්බර්ග් මෙල්ල වූයේ නැත. මුදල් නොලැබෙන්නේ නම් ඔහුට හෝටල් කාමරයේ සදාකාලික සිරකරුවකු වන්නට සිදුවනු ඇති බවට මහාරාජාට තර්ජනය කළ අවසානයේ මෙම කඹ ඇදිල්ලෙන් වෙයින්බර්ග් හෙම්බවත් විය. මහරාජා අත්අඩංගුවේ තබාගැනීම ලූට භාර කළ ඔහු යළි නිව්යෝක් පැමිණියේ ඒ වන විට ඔහුගේ ස්විස් බෑන්ක් ඇසෝසියේට්ස් හි වැඩ කටයුතුද අරාජිකව තිබු නිසාය. මුදල් ලැබෙන තුරු මහරාජා හෝ ඔහුගේ ගුවන් ගමන් බලපත්‍රය හෝ නිදහස් නොකරන ලෙසට ඔහු ලූට තදින්ම අවවාද කොට තිබිණි.

නිව්යෝක් වෙත පැමිණ දින කිහිපයක් ඉක්ම යාමටත් පෙර වෙයින්බර්ග්ට ලන්ඩනයෙන් ඇමතුමක් ලැබිණි. ඒ ලු හොස්ට්ගෙනි.

“මෙල්, අපිට මෙහේ ප්‍රශ්නයක්.“

“මොකද්ද ඒ පාර? “ වෙයින්බර්ග් සිටියේ සිය සහායකයාගේ අකාර්යක්ෂමකම ගැන සිත යටින් පුපුරමිනි. තමා නැතිව සතියක්වත් මේ ඔලමොට්ටලයාට වැඩ ටික කරගෙන යාමට බැරි වීම ගැන ඔහු සාප කළේය.

“මහරාජාට හාට් ඇටෑක් වගෙයි. “ ලූ විස්තර කරන්නට ගත්තේ වචනද පටලවා ගනිමිනි. “එයා වේදනාවෙන් ඇඹරී ඇඹරී දඟලනවා. බලාගෙන ඉන්න බයයි. මම දොස්තර කෙනෙක් මෙහෙට එක්කරන් ආවා. එයාව පෞද්ගලික රෝහලකට ඇතුළු කරන්න සිද්ධ වෙනවා. ඒකට ඩොලර් පන්සියයක් ගෙවන්න ඕන. මෙල් මට සල්ලි ටිකක් එවන්න.“

“පුද්ගලික රෝහලක් ?“ වෙයින්බර්ග් ගෝරනාඩු කළේය.“ ඇයි යකෝ උඹේ ගොන් මොළේට තාමත් තේරෙන්නේ නැද්ද ඔය මහරාජා කියන යකා පල් හොරෙක්. ඒකව ගිහිං දානවා ආණ්ඩුවේ ඉස්පිරිතාලෙකට! “

“ඒත් මෙල්,...“ ලූ අවිශ්වාසයෙන් තතනන්නට විය. “අපි කොහොමද මෙල් මහරාජා කෙනෙක්ට පින් ඉස්පිරිතාලෙකට යන්න කියලා කියන්නේ?“

සැකය දුරු කර මහරාජා රජයේ රෝහලකට ඇතුළුකොට ගමන් බලපත්‍රය සන්තකයේ තබාගන්නා ලෙස වෙයින්බර්ග් සහායකයාට නියෝග කළේය. පසුදින යළිත් ඔහුට ලූගෙන් ඇමතුමක් ලැබුණි. එහෙත් ඒ වන විටත් සිදුවිය යුතු සියල්ල සිදුවී තිබිණි. ලූ පැවසු ආකාරයට, රෝහලට ඇතුළු කළ අවස්ථාවේදී මහරාජාගේ ගුවන් ගමන් බලපත්‍රය හෙද නිලධාරීන් විසින් ලූගෙන් ඉල්ලාගෙන තිබේ. අනන්‍යතාව තහවුරු කරගැනීමේ පසුව එය ලබා දී ඇත්තේ ලූට නොව මහරාජාටය. රෝහල් ඇඳක් මත වැතිරී ඉතා අසීරුවෙන් හුස්ම අදිමින් සිටි මහරාජා එදින රාත්‍රියේ කාටත් හොරා රෝහලෙන් පිටව ගොස් ඇත.

“කවුද මෙල් හිතන්නේ මැරෙන්න පණ ඇද ඇද හිටපු මනුස්සයෙක් එහෙම හිටි හැටියේ ඉස්පිරිතාලෙන් පැනලා යයි කියලා “ ලූ සිය සැක සංකා වෙයින්බර්ග් හමුවේ පළ කළේ අවංකවමය.

“ලූ මට ඔයාට දෙයක් කියන්න පුළුවන්ද?“ ඉතා හීන් හඬින් වෙයින්බර්ග් ඇසුවේ සන්සුන් ලෙසය.

“ මොකද්ද මෙල් ?“

“තමුසේ තමයි මේ ලෝකේ ඉන්න නොම්මර එකේ ගොන් බූරුවා !“ මහා හඬින් දුරකතනයට බෙරිහන් දුන් වෙයින්බර්ග් එය පොළොවට දමා ගැසුවේය.

පරිවර්තනය
රුක්ලන්ති පෙරේරා

රොබට් ඩබ්. ග්‍රීන් විසින් රචනා කළ මෙල්වින් වෙයින්බර්ග්ගේ චරිතාපදානය ‘ස්ටිං මෑන්‘ කෘතියේ

සඳුදා - ණය ගන්නෝ සනසන්නෝ

නව අදහස දක්වන්න