ජීවිතය සොයා දුවපු දිවිල්ල | දිනමිණ

ජීවිතය සොයා දුවපු දිවිල්ල

මීරා රායි දැන් සූදානම් වන්නේ යුනිසෙෆ් සංඛ්‍යාලේඛන වෙනස් කිරීමටය. නේපාල දැරියන්ට අලුත් ජීවිතයක් ලබාදීමටය.

කත්මණ්ඩු නුවර දුහුවිල්ලෙන් පිරුණු එක්තරා වීදියක යකඩ ගේට්ටු සහිත තැබෑරුමකි. බෙල්ජියානු ජාතිකයකු විසින් පවත්වාගෙන යනු ලබන මේ තැබෑරුම දුර්ලභ බීර වර්ග සඳහා නම ගිය එකකි.

එය පසුකලෙක නේපාලයේ අනාගත පරම්පරාවේ පරමාදර්ශී චරිතයක් බවට පත්වූ හිටපු ළමා සෙබළියක නිතර නිතර යන එන අමුතුම තැනක් විය. එවකට පැවැති නේපාල රජයේ මර්දනයට හසුවීමෙන් බේරීමට නිවසින් පලා ගොස් එවැනි තැන්වල රස්තියාදු වෙමින් රහසිගත ජීවිතයක් ගෙවා දැමූ මේ තරුණිය අද වනවිට ලොව වඩාත්ම අනතුරුදායක ක්‍රීඩාවක සුපිරි තරුවකි.

ඔබ මේ ක්‍රීඩිකාව මුණ ගැසෙන්නේ නම් කරුණු දෙකක් ඔබගේ අවධානයට ලක්වනු නිසැකය. ඉන් පළමු වැන්න යොවුන් වියේදී අඳුරු ජීවින රටාවක් ගත කරමින් සිටියත් ඇගේ දෑස් දීප්තියෙන් බැබලීමය. දෙවැන්න නම් ඇය නේපාලයේ සම්ප්‍රදායික ගැමි තරුණියක් වීමය.

අද වනවිට ජාත්‍යන්තර කඳු හරහා දිවීමේ තරග රැසක් ජයගෙන පදක්කම් පිට පදක්කම් දිනා සිටින මේ ලෝක පූජිත ධාවන ශූරිය මීරා රායි ය. උස් කඳු මුදුන්වල දරුණු පල්ලම් අතරින්, ගල් පර්වත ඉහළින් පැන ඉතා අවදානම් සහිත බෑවුම් හරහා දිවයන මේ තරගය ඉතා අවදානම් සහිත එකකි. මීරා එහි ඉහළින්ම කැපී පෙනෙන තරුවකි.

මීට වසර 15කට පෙර නේපාල රජයේ හමුදාවට අවශ්‍යවී සිටි මේ යොවුන් ගරිල්ලා සෙබළිය පසු කාලෙක එරට වඩාත්ම සාර්ථක ධාවන ශූරිය බවට පත්වීම පුදුම සහගතය. මේ විස්මිත ක්‍රීඩිකාව පසුගිය වසරේදී ‘නැෂනල් ජියෝග්‍රෆික්’ සඟරාව මගින් තෝරාගත් වසරේ වික්‍රමාන්විත තරුව බවටත් පත්වූවාය.

ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව අතින් ගත් විට නේපාලයට ඇත්තේ හද කම්පා කරවන ආකාරයේ වාර්තාවකි. ‘වර්ල්ඩ් ඉකොනොමික් ෆෝරම්’ වාර්තාවට අනුව මේ හිමාල කඳුකරයේ සෙවණැල්ලට යටින් ඇති රාජ්‍යය පසුවන්නේ ලිංග භේදයේ පරතරය වැඩි රටවල් 136ක් අතරින් 121 වැනි තැනය. නේපාලය එරට කාන්තාවන්ට සළකන්නේ තනිකරම පිරිමින්ගේ දේපලක් ලෙසටය. ස්ත්‍රී ප්‍රචණ්ඩත්වය ඉතා බරපතල ලෙස ඉස්මතුවී පෙනේ. කාලයක් අවිවාහක කාන්තාවන්ට දාව උපදින දරුවන්ට පුරවැසිභාවය පවා අහිමිවී තිබිණි. නිවසේ මුල්ලකට කොටුකර තබන නේපාල තරුණියන්ට දණහිසෙන් ඉහළ නිරාවරණය වන ආකාරයේ ඇඳුම් තහනම්ය. එවැනි අඳුරු පසුබිමක් ගෙවා දමමින් ඇය අන්තිමේදී නේපාලයේ වීරවරියක් බවට පත්වූවාය. අදටත් එරට කාන්තාවන් අතර කෙටි සායක් අඳින්නේ ඇය පමණක්ම විය හැකිය.

නේපාලයේ නැඟෙනහිර කලාපයේ ඉහළින් පිහිටි ගම්මානයක් වන සානු ඩුමා හී තරුණියන්ට සමාජය ඉදිරියට පැමිණීමේ අවස්ථාවක් කිසිදිනෙක නොලැබිණි. මීරාට සිදුවුයේද ඒ ටිකමය. සිය පවුලේ පිරිමි දරුවන් පාසල් යද්දී ඇයට සිදුවූයේ මුළුතැනගෙයි කොටුවී වැඩපළ කිරීමටය. ඊළඟට අඩු වයසින් විවාහ වී දරුවන් වැදීමට සිදුවන බව ඇය දැන සිටියයා. එසේ වුවත් ඇයට තිබුණේ වෙනත් අදහසකි. ජීවිතය පැහැපත් කරගැනීමට ඇය අලුත් අදහසින් සිත පුරවා ගත්තාය.

‘මම මාර්කට් එකට යන්න පුරුදු වුණා. ගියා නෙවෙයි දිව්වා. හාල් ගෝනි මිළදී ගන්න. ඊළඟට ඒවා අරන් ආපහු දුවනවා විකුණලා ගාණක් ගෙදරට හොයාගන්න.’ ඇය සිනහමුසු මුහුණින් යුතුව සිය ළමාවිය සිහිපත් කරන්නීය. එම සහල් මලු බරින් කිලෝග්‍රෑම් 28ක් වන බවත්, ඒවා ඔසවාගෙන දිව ගිය කාලයේ ඇය අවුරුදු 11ක තරම් කුඩා දැරියක් බවත් සඳහන් කිරීමට ඇයට අමතක වී ඇති සෙයකි. නොඑසේ නම් ඇය සිතාමතාම ඒ කාරණාව සඟවා දැමුවාය.

එවකට යොවුන් වියෙහි පසුවූ මීරා කෙරෙහි ඇගේ මාපියන් එතරම් තැකීමක් කළේ නැත. එහෙත් නේපාලයේ බටහිර පළාත පුරා මාඕවාදීන් කැරළි ගැසීමට පටන් ගනිද්දී එවකට 14 හැවිරිදි මීරාට සටන්කාමීන් කෙරෙහි පුදුමාකාර ඇල්මක් ඇතිවෙද්දි ඇගේ මාපියන් සිය දියණිය ගැන වැඩිපුර සොයා බලන්නට විය. ඇගේ හිතුවක්කාර ගති පැවතුම් නිසා නපුරක් වේදැයි ඔවුහු සිතන්නට වූහ. එහෙත් අන්තිමට මාඕවාදීන්ට එකතුවීමට මාපියන්ගේ ඇස් වසා එක්තරා අඳුරු රැයක ඇය නිවසින් පලා ගියාය. නේපාලයේ මාඕවාදී ගරිල්ලන් සමග එක්වීම ගැන ඇය අදටත් පසුතැවිලි නොවන්නීය. මාපියන් විසින් විවාහ කරදෙනු ලබන නාඳුනන පිරිමියකුට තම භද්‍ර යව්වනය පූජා කිරීමට වඩා ගරිල්ලා සංවිධානය හා එක්ව විමුක්තිය වෙනුවෙන් සටන් කිරීම වඩා හොඳ යැයි ඇයට සිතෙන්නට ඇත.

‘මම මාඕවාදී ගරිල්ලන්ගේ කඳවුරට යන බව දවසක් අම්මට කිව්වා.’ ඇය සිය උරහිස් සොලවමින් දැන් කියන්නීය.

‘ඊට පස්සේ තවත් මාස හතක් විතර යනකල් මං අම්මව ඇහැටවත් දැක්කේ නෑ.’

දියණිය රජයේ හමුදා සමග සටන් කරමින් සිටි ගරිල්ලා සංවිධානයට එක්වීමෙන් දැඩි වේදනාවට පත්වූ මීරාගේ මව සිය දිවි හානි කරගැනීමේ උත්සාහයක නිරතවූ බැව් ඇය දැන ගත්තේ පසුවය.

නේපාල රජයේ හමුදාව සමග දරුණු සටනක නිරතවෙමින් මාඕවාදී ගරිල්ලා සංවිධානය එරට සිවිල් යුද්ධය තවත් වසර 3ක් ඉදිරියට ඇදගෙන ගියේය. නමුත් ළමා සොල්දාදුවකු ලෙස එම සංවිධානයට බැඳි සිටි මීරාට සටන් බිමට යාමට අවස්ථාව නොලැබිණි. ඒ වෙනුවට ඇය කරාතේ සටන් ක්‍රම පුහුණු වූවාය. මලල ක්‍රීඩාවේ ද නිරතවූවාය. වෙඩි තැබීමත් පුරුදුවූවාය. සිවිල් යුද්ධයේ අවසන් භාගයේදී රජයේ හමුදාවේ අත්අඩංගුවට පත්වූ සටන්කාමීන්ට දැඩි වධහිංසාවලට මුහුණදීමට සිදුවිය. ඇතැමුන් අතුරුදන් වූ අතර තවත් සමහරු ඝාතනයට ලක්විය. ඇය කියන්නේ ඒ කාලයේ ඇය ගෙවා දැමුවේ අවිනිශ්චිත ජීවිතයක් බවය. නමුත් ඇගේ සතුටට කාරණාවක් වූයේ නේපාලයේ කිසිදු තරුණියකට නොලැබෙන අන්දමේ නිදහසක් සමග කරාතේ, පාපන්දු, වොලිබෝල් වැනි ක්‍රීඩාවල නිරතවීමේ අවස්ථාවක් ලැබීමය.

වසර 2006දී එරට සිවිල් යුද ගැටුම් නිමාවට පත්වීමෙන් පසුව මාඕවාදින් වැඩිදෙනකුට හමුදාවේ රැකියා ලැබිණි. එහෙත් ලාබාළ වයසේ පසුවූ බැවින් මීරාට හමුදා සේවයට එක්වීමට ලැබුණේ නැත. ඒ වෙනුවට ඇය රජයේ පුනරුත්තාපන වැඩසටහන්වලට එක්වූ අතර පිරිමින් සමග හරි හරියට ධාවන ක්‍රීඩාවේ නිරතවීමට අවස්ථාවක් ද ලැබිණි. ඇගේ ක්‍රීඩා ජීවිතය මුවහත් වූයේ මෙවැනි පසුබිමකිනි.

පසුකලෙක මීරා රායි නමැති සුප්‍රකට වික්‍රමාන්විත ධාවන ශූරිය බිහිවීමට අඩිතාලම වැටුණේ කිලෝමීටර් 21ක් දුරැති කඳු හරහා දිවීමේ තරගයකට සහභාගිවීමට ලැබුණු අහඹු අවස්ථාවකින් පසුවය. දරිද්‍රතාව අතින් අන්තිම කෙළවර සිටි මීරා එම තරගයට එක්වූයේ කුසට අහරක් ද නොමැතිවය. එනිසාම අති දුෂ්කර කඳු හරහා දිවගිය පළමු තරගයේ අවසන් මීටර් 400 පෙනි පෙනී මේ තරුණිය බිම ඇද වැටුණාය.

පසුව කත්මණ්ඩු නුවරට සේන්දු වී මාඕවාදින් සමග කාලයක් පුරා සම්බන්ධතා පැවැත්වූ එක්තරා කරාතේ ගුරුවරයකු යටතේ ඇය නේවාසික කරාතේ පුහුණුව ලැබුවාය. ඊට අමතරව ධාවන ක්‍රීඩාවත් ඇය පුරුදු පුහුණු වූයේ ඔහුගේ මග පෙන්වීම අනුවය.

කඳු අතරින් දිවෙන දුෂ්කර ධාවන ක්‍රීඩාවට ඇය එක්වූයේ එලෙසිනි. මේ වනවිට ලොව වඩාත්ම බිහිසුණු හා ත්‍රාසජනක කඳු බෑවුම් හරහා දිවෙන තරග රැසක් ජයගැනීමට මීරා සමත්වී සිටින්නීය. ස්කොට්ලන්තයේ පසුගිය වසරේ පැවැති තරගයක් ඇය ජයගත්තේ ලෝක වාර්තාවක් ද තබමිනි. මීරා දැන් එම ක්‍රීඩාවේ වෘත්තීය මට්ටමේ ක්‍රීඩිකාවකි.

‘මම පොඩිකාලේ දිව්වේ කුසගින්න නිවාගන්න කෑම හොයන්නයි. මාඕවාදී ගරිල්ලා සංවිධානයට එකතුවුණාට පස්සේ මරණයෙන් බේරෙන්න දිව්වා. කොහොමහරි මම පොඩිකාලේ ඉඳලම ජීවිතය හොයාගෙනයි දිව්වේ. හැමදාම මට ඕන කළේ අලුත් දෙයක් කරන්නයි. වෙනස් දෙයක් කරන්නයි. නේපාලයේ පුංචි ගැහැනු ළමයි වේලාසනින්ම අම්මලා වෙන එක මට පිළිකුල් වෙලයි තිබුණේ. ජීවිතය විඳින්න ඕන වයසේ ඇයි අපිව අම්මලා කරන්න හදන්නේ. මේ ප්‍රශ්නය පොඩිකාලේ මගේ හිතට හරියට වද දුන්නා.’ මීරා සිය යොවුන්විය සිහිපත් කරමින් එසේ කියන්නීය.

‘මම කොහොමහරි ජීවිතය හොයා ගන්නවා කියලා හිතාගත්තා. ජීවිතයට අලුත්පාටක් එකතු කරන්න මට පුළුවන් වුණේ එහෙමයි. මගේ ආච්චි මහන්සිවෙලා වැඩකරපු කෙනෙක්. මගේ අම්මාත් ඒ වගේ. ඒත් එයාලට බැරිවුණා එයාලගේ ජීවිතවලට වටිනාකමක් ඇතිකර ගන්න. ඒත් මම ජීවිතය ජයගත්තා. ලෝකය පුරා රටවල් ගණනාවකට යන්න මට අවස්ථාව ලැබුණා. ඒක නේපාලයේ ගැමි කාන්තාවන්ට තවමත් හීනයක්.’

ඇයට දැන් අවශ්‍ය වී ඇත්තේ තමා වැනිම නිර්භීත දැරියන් නේපාලයෙන් බිහිවනු දැකීමය. යුනිසෙෆ් සංවිධානයට අනුව නේපාලයේ ගැහැනුන්ගෙන් අඩකට වඩා අවුරුදු 18ක් වීමටත් පෙර විවාහ වෙති. ඉන් සියයට 16ක්ම විවාහ වන්නේ අවුරුදු 15ක් සම්පූර්ණ වීමටත් පෙරය.

මීරා රායි දැන් සූදානම් වන්නේ යුනිසෙෆ් සංඛ්‍යාලේඛන වෙනස් කිරීමටය. නේපාල දැරියන්ට අලුත් ජීවිතයක් ලබාදීමටය.


නව අදහස දක්වන්න