අම්මා වැසිකිළි ගොස් එද්දී මිදුලේ සිටි අලියා පහර දීලා | දිනමිණ

අම්මා වැසිකිළි ගොස් එද්දී මිදුලේ සිටි අලියා පහර දීලා

අම්පාර මධ්‍යම කඳවුර පොලිස් බල ප‍්‍රදේශයේ මල්වත්ත තිස්සපුර ගම්මානයේ පදිංචිව සිටි කාන්තාවක් වැසිකිළියට ගොස් නැවත නිවසට පමිණෙමින් සිටිය දී වන අලියෙකු පහර දීමෙන් බරපතළ තුවාල ලබා අම්පාර මහ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ගනිමින් සිටිය දී මාසයකට පමණ පසු ඉකුත් දා මිය ගොස් ඇත.

මෙසේ මිය ගොස් ඇත්තේ දඩයම්තලාව, මල්වත්ත, තිස්සපුර පදිංචිව සිටි මහගමගේ පියසීලි (58) නැමැති පස් දරු මවකි. මේ පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අම්පාර හදිසි මරණ පරීක්ෂක ඊ. එම්. ජයවර්ධන මහතා විසින් අම්පාර මහ රෝහලේ හදිසි මරණ පරීක්ෂණ කාර්යාලයේ දී පවත්වන ලදී.

මෙහි දී සාක්කි දුන් මිය ගිය කාන්තාවගේ දියණියක වන තල්ගහවත්ත රාළලාගේ තිළිණි අනුරුද්ධිකා (29) යන අය මෙසේ පැවැසුවාය.

මිය ගොස් ඉන්නේ මගේ අම්මායි. ඔක්තොම්බර් 2දා අපේ අම්මා වැසිකිළියට ගොස් නිවෙසට උදේ 6.30ට විතර එන විට වන අලි‍ෙකු මිදුලේ දී අම්මාට පහර දුන්නා. ඒ වෙලාවේ අලියා ඉදලා තියෙන්නේ ඉස්තෝප්පුවේ. මගේ අයියාගේ බිරිය අම්මලාගේ ගෙදර හිටියා. අලියෙක් අම්මාට පහර දීලා තුවාලවෙලා අම්පාර මහ රෝහලේ 15වේ වාට්ටුවේ ප්‍රතිකාර කරනවා කිව්වා. අරලගංවිල සිට මමයි මහත්තයයි අම්මා බලන්න රෝහලට ගියා.

අම්මාගේ කකුලේ අස්ථියක් බිඳිලා කියලා අයි. සී. යූ. එකට දැම්මට පසුව ලොකු අසනීපයක් නෑ කිව්වා. අම්මා බලන්න මාසයක්ම රෝහලට ආවා. ඒ හැමදාම අම්මාට මැෂින් ගහලා තිබුණා. අම්මා කියන දේ අපිට තේරෙන්නේ නැහැ. ඒ අනුව අම්මා මාසයක් විතර අම්පාර මහ රෝහලේ අයි. සී. යූ. එකේ තමයි සිටියේ. විෂබීජයක් ගිහිල්ලා හුස්ම ගන්න අමාරුයි කියලා අපට දැනගන්න ලැබුණා. එදා ඉදලම එන්න එන්නම අම්මාගේ රෝගී තත්ත්වය උත්සන්න වුණා.

නොවැම්බර් 6 දා උදේ 6ට විතර අයියා කතා කරලා මට කීවේ අම්මා රෝහලේදී මිය ගියා කියලා. මමයි නංගියි දෙන්නා රෝහලට අවා. අම්මාගේ මරණය ගැන සැකයක් නැහැ. වන අලියා පහර දීමෙන් අපේ අම්මා මිය ගොස් ඇති බව විශ්වාස කරනවා.

මෙහි දී මරණ කාරියගේ තවත් දියණියක වන එච්. ආර්. දිල්රුක්ෂි යන අය ද සාක්කි දුන්නා ය.

වන අලියා පහර දීමෙන් සිරුරට ඇති වූ මොට තුවාල හේතුවෙන් රෝගියා දීර්ඝ කාලයක් ඔත්පල වීමෙන් ඇති වූ විෂබීජ තත්ත්වයක් නිසා සිරුරේ අවයව අක‍්‍රීය වීමෙන් පසුව සිදු වූ මරණයක් බවට අම්පාර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි එස්. දුල්ෂි අප්පුහාමි මහතා සඳහන් කළේය.

මධ්‍යම කඳවුර පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක කේ. එම්. ඒ. විජේසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ පොලිස් කොස්තාපල් නෙවිල් මහතා විසින් මරණ පරීක්ෂණයේ සාක්කි මෙහෙය වීය.

අම්පාර සමූහ
රවීන්ද්‍ර මැදගෙදර

නව අදහස දක්වන්න