ශෂිකලාගේ දස්කම් ශ්‍රී ලංකාවට පළමු ජය ගෙනෙයි | දිනමිණ

ශෂිකලාගේ දස්කම් ශ්‍රී ලංකාවට පළමු ජය ගෙනෙයි

ශෂිකලා සිරිවර්ධනගේ තුන් ඉරියව් දස්කම් හේතුවෙන් බටහිර ඉන්දීය කොදෙව් හී පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ 11 වැන්න ලෙස පැවැති ‘ඒ’ කාණ්ඩයේ මූලික වටයේ තරගයේ බංග්ලාදේශය පරදවා තරගාවලියේ පළමු ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා පිල සමත් විය.

මේ සමග ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයට පත්වීමට ශ්‍රී ලංකා පිලට හැකිවිය.

කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ කඩුලු 7ක් දැවී ලකුණු 97ක් රැස්කළ අතර එම ඉලක්කය හඹාගිය බංග්ලාදේශ පිලට ඕවර 20 අවසානයේ සියල්ලන් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 72ක් පමණි.

නිගර් සුල්තානා ලකුණු 20ක් රැස්කරමින් බංග්ලාදේශ ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූ අතර ශ්‍රී ලංකා පන්දු යවන්නියන් හමුවේ ලකුණු 10 සීමාව පසුකළ හැකිවූයේ බංග්ලාදේශ පිතිකාරිනියන් තිදෙනකුට පමණි. පන්දු යැවීමේදී නායිකා චමරි අතපත්තු කඩුලු 3ක් දවාගත් අතර ඕවර 4ක් යැවූ ශෂිකලා සිරිවර්ධන ලකුණු 10ක් පමණක් ලබාදෙමින් කඩුලු 2ක් දවා ගත්තේය. උදේශිකා ප්‍රබෝධිනී ද කඩුලු 2ක් බිඳ දැමුවාය.

තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන ලැබූ ශෂිකලා සිරිවර්ධන පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ඉනිමට පන්දු 33කින් ලකුණු 31ක් එක් කළාය. ඇයගේ ඉනිම හතරේ පහර 2කින් සහ හයේ පහරකින් වර්ණවත් විය. ඩිලානි මනෝදරා ලකුණු 16ක් රැස්කළ අතර චමරි අතපත්තු සහ නිලක්ෂි ද සිල්වා ලකුණු 12ක් බැගින් ඉනිමට එක් කළහ.

ශ්‍රී ලංකාව සහභාගීවන මූලික වටයේ අවසන් තරගය අද (16) සත්කාකර බටහිර ඉන්දීය කොදෙව් පිල සමගින් පැවැත්වෙයි.

ශ්‍රී ලංකා කාන්තා පිල - 97/7යි. (ඕවර 20) ශෂිකලා සිරිවර්ධන 31, ඩිලානි මනෝදරා 16 (ජහන්රා අලාම් 21/3)

බංග්ලාදේශ කාන්තා පිල - 72යි. (ඕවර 20) නිගර් සුල්තානා 20 (චමරි අතපත්තු 17/3, උදේශිකා ප්‍රබෝධිනී 6/2, ශෂිකලා සිරිවර්ධන 10/2)

කොදෙව් ක්‍රීඩිකාවන්ට ජය

දකුණු අප්‍රිකාව සමග පැවැති තරගාවලියේ 12 වැනි තරගයෙන් ලකුණු 31ක ජයක් අත්කර ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ ‘ඒ’ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට සත්කාරක කොදෙව් ක්‍රීඩිකවෝ සමත්වූහ.

තරගයේ පළමුව පන්දුවට පහරදෙමින් කොදෙව් පිල ලබාදුන් ලකුණු 107ක ඉලක්කය හඹාගිය දකුණු අප්‍රිකානු පිලට ඕවර 18.4කදී සියල්ලන් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 76ක් පමණි.

ලකුණු 12කට කඩුලු 4ක් බිඳ දමමින් දස්කම් දැක්වූ කොදෙව් පිලේ නායිකා ස්ටෙෆානි ටේලර් තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස නම් කෙරිණි.

නව අදහස දක්වන්න