අසමත් නොවීමට නම්! | දිනමිණ

අසමත් නොවීමට නම්!

කොළඹ  විශ්ව­වි­ද්‍යා­ලයේ   ආර්ථික  විද්‍යා  අධ්‍යන අංශයේ මහා­චාර්ය  සිරි­මල් අබේ­රත්න

දේශපාලනය සහ ආර්ථිකය අතර ඇත්තේ අවියෝජනීය සබඳතාවකි. ලෝකයේ වුව දේශපාලන

බලවතුන් වන්නේ ආර්ථික බලවතුන් බව ප්‍රත්‍යක්ෂ කරුණකි. දේශපාලන ස්ථාවර බව හෝ අස්ථාවර බවට බලපෑම් කරන ප්‍රමුඛතම සාධකය ආර්ථිකයයි. මේ පිළිබඳවත් ආර්ථික අභියෝග ජයගැනීම පිළිබඳවත් “කප්රුක” සමඟ සංවාදයට එක්වූයේ කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව අධ්‍යනය අංශයේ මහාචාර්ය සිරිමල් අබේරත්න මහතාය.

 

රුපියල අවප්‍රමාණ වීම පිළිබඳව නිරන්තර සංවාදයට ලක්වෙනවා. සැබවින්ම කුමක්ද මේ තත්ත්වය?

බැංකු වෙත ලැබෙන ඩොලර් ප්‍රමාණයට වඩා බැංකු වෙතින් ගෙවන ඩොලර් ප්‍රමාණය වැඩිවීම නිසයි මෙම තත්ත්වය ඇතිවෙන්නේ, සාමාන්‍යයෙන් මුදල් හුවමාරුකරන්නේ බැංකුවලින්. මෙම තත්ත්වය නිසා වෙළෙඳපොළේ ඩොලර් හිඟවෙනවා. ඕනෑම වෙළෙඳ පොළක ඉල්ලුමට සරිලන සැපයුමක් නැතිවිට මිල ඉහළ යනවා. ඒ අනුව ඩොලර් ලබාගැනීමට ගෙවිය යුතු රුපියල් ප්‍රමාණය වැඩි වෙනවා. සාමාන්‍යයෙන් වෙළෙඳ පොළේ භාණ්ඩ හිඟවීමෙන් මිල ඉහළයාමක් සිදුවුවහොත් මිල පාලනය කිරීම සඳහා එම භාණ්ඩ වෙළෙඳපොළේ බහුල කිරීමයි සිදුකරන්නේ. ඩොලරයේ මට්ටම ඉහළ යනවිට සිදුකරනුයේත් වෙ‍ළෙඳ පොළ වෙත ඩොලර් මුදාහැරීමයි. නමුත් මෙලෙස මුදාහැරීමට ඩොලර් සංචිත තිබිය යුතුයි. මහ බැංකුව විසින් ඩොලර් සංචිත වෙළෙඳ පොළ වෙත මුදා හරිමින් ඩොලරය පාලනය කිරීම එක් ක්‍රමවේදයක්.

අපගේ මහ බැංකුවේ පවතින්නේ ඩොලර් බිලියන 7 ½ ක මුදල් සංචිතයක්. මහ බැංකුව එලෙස මුදල් රැස්කර තිබෙන්නේ හදිසි අවස්ථාවක ප්‍රයෝජනයට ගැනීමට මෙන්ම විදෙස් ණය ගෙවීම් සඳහා මෙම මුදල් අත්‍යාවශ්‍ය වෙනවා.

ඔබ පැවසුවා වෙළෙඳ පොළ පාලනය සඳහා වඩාත් යහපත් වන්නේ නම්‍යශිලී ආර්ථික ප්‍රතිපත්තියක් බව?

නම්‍යශිලී ආර්ථික ප්‍රතිපත්ති යනුවෙන් හඳුන්වන්නේ පවතින ස්වභාවයට අනුව වෙළෙඳ පොළ සකස්වීමට ඉඩ තැබීමය. එමඟින් නොයෙකුත් වෙනස්කම් සිදුවෙනවා. උදාහරණයක් විදිහට තෙල් මිල වැඩි නම් යායුතු ගමන පෞද්ගලික වාහනයේ නොගොස් පොදු ප්‍රවාහන සේවය භාවිතා කරනවා වැනි විකල්ප ‍තෝරාගනිමින් දුෂ්කරතාව අවම කරගැනීම වැනි කටයුතු සිදුවෙනවා. මේ මඟින් සිදුවන යහපත් දේ නම් අපනයන වඩා ශක්තිමත් වීමයි. එසේම ආනයන අඩුවීමටත් මෙය බලපානවා.

මෙම තත්ත්වයට මූලිකම හේතුව රටේ වියදම් ඉහළ ගොස් ආදායම් අඩුවීමේ කරුණද?

මේ තත්ත්වය කරුණු කීපයක් ඔස්සේ හඳුනාගත හැකියි. ඉන් එක් ප්‍රධානම ගැටලුව වන්නේ අපනයන ආදායම අත්‍යාවශ්‍ය මට්ටමින් වර්ධනය නොවීමයි.

දැනට වසර 25කට පෙර 1992 දී වියට්නාම‍ෙයත් ලංකා‍ෙවත් අපනයන ආදායම ඩොලර් බිලියන 2. 5ක්. පසුගිය වසර වනවිට ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඩොලර් බිලියන 11 දක්වා වර්ධනය වී තිබෙනවා. පසුගිය වසරේදී වියට්නාමයේ අපනයන ආදායම ඩොලර් බිලියන 214 ක් බවට පත්වෙලා. වියට්නාමයේ ආර්ථික ශක්තිය වඩාත් ඉහළම මට්ටමට වර්ධනය වී තිබෙන බව මේ කරුණු ඔස්සේ තහවුරු වෙනවා. මෙපමණක් නොවේ. දැනට වසර 20කට පෙර බංග්ලාදේශයේ අපනයන ආදායම ඩොලර් බිලියන 5ක්. පසුගිය වසර වනවිට එරට අපනයන ආදායම ‍ඩොලර් බිලියන 36ක් දක්වා ඉහළට ඔසවා තැබීමට ඔවුන් සමත්වී තිබෙනවා.

වියට්නාමයේ ඒකපුද්ගල ආදායම ඩොලර් 1500ක්, බංග්ලාදේශයේ ඒකපුද්ගල ආදායම ඩොලර් 2300ක්, ශ්‍රී ලංකාවේ ඒකපුද්ගල ආදායම ඩොලර් 4000 බවයි සඳහන් වෙන්නේ. ඒ අනුව ලංකාව මේ රටවල්වලට වඩා පොහොසත් නමුත් ඔවුන්ගේ ආර්ථික වර්ධනය අපිට වඩා ශක්තිමත්.

ආර්ථික වර්ධනය දුර්වලවීම ආයෝජන කෙරෙහි බලපානවා නේද?

අපනයන වර්ධනය වන්නේ නිෂ්පාදනය වඩා පුළුල් කිරීමෙන්. නිෂ්පාදන පුළුල් කිරීම සඳහා ආයෝජන අත්‍යාවශ්‍ය වෙනවා. ආයෝජන කළ හැක්කේ ඉතුරුම් ශක්තිමත්වීමෙන්. දේශීය කුඩා පරිමාණ ව්‍යාපාරිකයින්ගේ ඉතුරුම් ශක්තිමත් වුවහොත් ඔවුන්ගේ ආයෝජනද පුළුල් වනවා. ඒ සඳහා ක්‍රමවේදයක් ඇතිවිට වසර 10කින්, 20කින් සියයක් ඔවුන් ගෝලීය ව්‍යාපාරිකයන් බවට පත්විය හැකියි. එවැනි තත්ත්වයක් ඇතිවන්නේ ඉතුරුම් සහ ආයෝජනයන් ශක්තිමත් වීමෙන්.

මේ වනවිට අපගේ ආර්ථික වර්ධන වේගය වන්නේ 5%ක ප්‍රමාණයක්. අපගේ ආයෝජන සියයට 20 කින් වර්ධනය කළ හැකි නම් ආර්ථික වර්ධනය සියයට 8ක් දක්වා ඉහළ දැමිය හැකියි. ආයෝජන ප්‍රමාණය සියයට 30කින් වර්ධනය කළ හැකිනම් ආර්ථික වර්ධන වේගය සියයට 10 මට්ටමට පත්වෙයි. මේ අනුව විශේෂයෙන්ම ආයෝජන වර්ධනය කිරීම ගැනයි ප්‍රතිපත්ති සැකසිය යුත්තේ.

ආයෝජන මෙතරම් දුර්වලවීමට හේතුව කුමක්ද?

‍ වත්මන් දේශපාලන වාතාවරණය දෙස බලනවිට ඒ බව මැනවින් තහවුරු වෙනවා. විශේෂයෙන්ම සෘජු ආයෝජන සිදුවන්නේ ලාභය අපේක්ෂාවෙන්. අස්ථාවර දේශපාලන වාතාවරණයක් ඇති තැනක ආයෝජන කිරීමට ආයෝජකයින් බිය වෙනවා. නිරන්තරයෙන් වෙනස්වන ප්‍රතිපත්ති, නීති රීති පරිපාලන ව්‍යුහයන් ඇති රටක ආයෝජකයන් අධෛර්යමත් වෙනවා.

වසරකට ලොවපුරා ගලායන විදෙස් ආයෝජන ප්‍රමාණය ඩොලර් ට්‍රිලියන 1.5ක් පමණ වෙනවා. ඉන් සියයට එකක ප්‍රමාණය මෙරටට ගෙන්වාගත හැකිනම් ඩොලර් බිලියන 15ක මුදලක්. නමුත් දැනට ලබාගන්න ප්‍රමාණය ඉන් බිලියන 1කටත් අඩු ප්‍රමාණයක්. නමුත් වියට්නාමය වැනි රටවල් ඔවුන් ලබාගන්න සෘජු විදෙස් ආයෝජන ප්‍රමාණය බිලියන 14කටත් වඩා ඉහළට ඔසවා තැබීමට සමත් වී තිබෙනවා. පසුගිය වසරේ බංගලිදේශය ලබාගත් විදෙස් ආයෝජන ප්‍රමාණය ඩොලර් බිලියන 2කට වැඩියි. නමුත් අපගේ තත්ත්වය වෙනස් කර ගැනීමට අපි තවමත් අසමත් වෙලා.

පවතින තත්ත්වයෙන් මිදීමට නම් ආර්ථික ප්‍රතිපත්ති වෙනස්විය යුතු බවද ඔබ සඳහන් කරන්නේ.

ප්‍රතිපත්ති සකස් වෙන්නේ දැක්මකට අනුවයි. දැන්වත් නැති ජාතියක් විනාශය කරායි ගමන් කරන්නේ. ජාතියකට දැක්මක් දිය හැක්කේ පුළුල් දැක්මකින් යුතු නායකයෙකුටයි. එවැනි නායකයින් තව වසර දහයකින්, විස්සකින් තමන්ගේ ජාතිය යා යුතු තැන තීරණය කරනවා. ඒ සඳහා කටයුතු කරනවා.

ජාතියේ ගමන්මඟ තීරණය වන්නේ නායකයාගේ වපසරියට අනුවයි. රටක අනාගතය සකසන්නේ දැක්මක් ඇති නායකයින්. නායකයෙකුගේ ලක්ෂණ පිළිබඳව මා අධ්‍යයනය කර තිබෙනවා. ජෝන් මැක්ස් වෙල් (John Maxwell) මේ පිළිබඳව හඳුන්වා ඇත්තේ “Low of the lid” යන සංකල්පයෙන්. ලිඩ් යනු පියනයි. නායකයාගේ දැක්ම ජාතියකට ඉහළින් ඇති පියනක් වැනිය. ඒ පියනේ වපසරිය අනුව ජාතියේ ගමන්මඟ තීරණය වෙයි. ඒ නිසා අර්බුදයෙන් මිදෙන මඟ සැකසිය හැක්කේ පළල් දැක්මක් ඇති නායකත්වයට පමණයි.

සටහන -

බුද්ධිකා බ්‍රාහ්මනගේ


නව අදහස දක්වන්න