මැතිසබේ රැස්කිරීම නීති විරෝධී ක්‍රියාවක් | දිනමිණ

මැතිසබේ රැස්කිරීම නීති විරෝධී ක්‍රියාවක්

මහින්ද අලුත්ගෙදර

ප්‍රජාතන්ත්‍රවාදයේ මුදුන් මල්කඩ ලෙස සැලකෙන උත්තරීතර පාර්ලිමේන්තුව ඊයේ (14) දිනයේ රැස්කිරීම සම්පූර්ණයෙන්ම නීති විරෝධී ක්‍රියාවක් බව නීතීඥ ප්‍රේමනාත් සී.දොලේවත්ත මහතා අවධාරණය කරයි.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළද ඊට අදාළ නඩුව තවමත් අවසන් වී නොමැති බව පෙන්වාදෙන ඒ මහතා ඒ සඳහා කරුණු දැක්වීමට දින නියමකර තිබෙන බවද මේ සම්බන්ධ තීන්දුව එළඹෙන දෙසැම්බර් මස 7 දා ප්‍රකාශයට පත්කිරීමට නියමිත බවද සදහන් කරයි.

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් නිකුත්කර තිබෙන ගැසට් පත්‍රය නීත්‍යානුකූල බවට එළඹෙන 7 දා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දුවක් ලබාදෙන්නේ නම් ඊයේ දවසේ පාර්ලිමේන්තුව කැඳවීමේ වගකීම බාරගන්නේ කවුරුන් දැයි ප්‍රශ්න කරන ප්‍රේමනාත් සී.දොලේවත්ත මහතා පාර්ලිමේන්තුව රැස්කිරීම සඳහා සාමාන්‍යයෙන් දිනකට රුපියල් ලක්ෂ 50කට අධික මුදලක් වැයවන බවද පෙන්වාදෙයි. ඒ අනුව මෙවැනි විශාල මුදලක් වැයකිරීමේ වගකීම කා විසින් බාර ගන්නේ දැයි හෙතෙම ප්‍රශ්න කරයි.

රටේ ප්‍රජාතන්ත්‍රවාදයට තිත තබමින් මැතිවරණයක් අවශ්‍ය නැතැයි එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය, මුස්ලිම් කොංග්‍රසය ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන අධිකණය හමුවට ගොස් තිබෙන බව පෙන්වාදෙන ඒ මහතා එසේ නමුත් ආණ්ඩුව ඡන්දයක් අවශ්‍ය බව ප්‍රකාශ කරන බවද පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි මාරු කිරීමකින් තොරව මහජන මතය විමසා නව පාර්ලිමේන්තුවක් පත්කර ගැනීම අතිශය වැදගත් බවද කියාසිටී.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් නිකුත් කළ ගැසට් නිවේදනය අභියෝගයට ලක්කරමින් පාර්ශව කිහිපයක් විසින් ඉදිරිපත් කළ පෙත්සම් විභාගයට ගැනීම තවදුරටත් සිදුවන බව සදහන් කරන ඒ මහතා කිසිසේත්ම ගැසට් නිවේදනය අවලංගු කර නොමැති බවද මෙලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත්කර තිබෙන අතුරු තහනම් නියෝගය හරහා අගමැතිවරයා පත්කිරීම හෝ නව අමාත්‍ය මණ්ඩලය පත්කිරීම කිසිඳු ආකාරයකින් අභියෝගයට ලක්කර නොමැති බවද පවසයි.

නඩු විභාග කාලසීමාව අවසන් වනතුරු එහි ක්‍රියාකාරිත්වය තාවකාලිකව අත්හිටුවා තිබෙන නමුත් මේ සම්බන්ධයෙන් ලිඛිත දේශන, විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා දින නියමකර තිබෙන බවද නඩු විභාගය අවසානයේ දී ඒ සම්බන්ධ තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට නියමිත බවද කියාසිටී.

නව අදහස දක්වන්න