"ගජ" ඉදිරි පැය 24 තුළ ප්‍රචණ්ඩවන ලකුණු | දිනමිණ

"ගජ" ඉදිරි පැය 24 තුළ ප්‍රචණ්ඩවන ලකුණු

මධ්‍යම බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින "ගජ" සුළි කුණාටුව ඉදිරි පැය 24 තුලදී තවදුරටත් චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි
 
සුළි කුණාටුව මේ වන විට කන්කසන්තුරය සිට ආසන්න වශයෙන් කිලෝ මීටර් 890ක් ඊසාන දෙසින් උතුරු අක්ෂාංශ 13.2 සහ නැගෙනහිර දේෂාංශ 87.5 ආසන්නව ස්ථානගතව පවතී. එය තවදුරටත් වර්ධනය වීම හේතුවෙන් අද දිනයේ ධීවර හා නාවික කටයුතු වල නොයෙදෙන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වා සිටී.
 
සුළි කුණාටුවේ බලපෑම පොතුවිල් සිට ත්‍රිකුණාමලය, කන්කසන්තුරය හරහා මන්නාරම දක්වා මුහුදු ප්‍රදේශවලට පැවතිය හැකියි.
 
එමෙන්ම, එම මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ද පැයට කිලෝමීටර් 90ත් 110ත් අතර වනු ඇතැයි, කාලගුණ අනාවැකියේ සඳහන්.
 
සුළි කුණාටුවේ බලපෑම ලබන 15 වැනිදා පෙරවරුව වන විට ශ්‍රී ලංකාවේ උතුරු වෙරළ තීරය හරහා දකුණු තමිල්නාඩු වෙරළට ඇතුළුවනු ඇතැයි ද, නිවේදනයේ දැක්වේ.
 
එසේම දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රදාන වශයෙන් අද දිනයේ වැසි රහිත කාලගුණයක් අපේක්‍ෂා කෙරේ.
 

නව අදහස දක්වන්න