මැදවච්චිය සේනානායක ළමා උයන වැසී අවුරුද්දක් | දිනමිණ

මැදවච්චිය සේනානායක ළමා උයන වැසී අවුරුද්දක්

 මැදවච්චිය නගරයේ ප්‍රාදේශීය සභාව මගින් නඩත්තු කරමින් පවත්වාගෙන ගිය සේනානායක ළමා උයන මේ වන විට නිසි පිළිසකර කිරීමක් නොමැතිකමින් අවුරුද්දකට ආසන්න කාලයක් වසා දමා ඇත.

මැදවච්චිය නගරයේ 50000ට ආසන්න ජනතාවගේ දුවා දරුවන් සඳහා විනෝද වීමට මේ ළමා උද්‍යානය එවක සිටි මහජන නියෝජිතයන් විවෘත කර තිබුණි. පසුගිය දිනවල එහි පැවති අඩුපාඩු පිළිසකර කර දීමේ අරමුණින් එම ළමා උද්‍යානය තාවකාලිකව වසා තිබුණි. ඒත් එහි වැඩ කටයුතු අවසන් වී තිබුණද මේ වන විටත් එය වසා දමා ඇති බව ප්‍රදේශවාසීහු පවසති.

එහි බිම වැලි වලින් පුරවා ඇති අතර දරුවන්ගේ ආරක්ෂාවට ගැටලු වන පරිදි ගස් වල මුල් සහ කඳන් කොටස් මේ වන විටත් එහි දක්නට ඇත. එහි වටා ආවරණයක් කිරීම සඳහා පසුගිය මාස කිහිපයේ කොන්ත්‍රාක්කරුවකුට භාර දී තිබුණු බවත් මේ වන විට ඔවුන් එය අවසන් කර ඇති බවත් ප්‍රදේශවාසීහු පැවසීය.

අප මේ පිළිබඳ මැදවච්චිය ප්‍රාදේශීය සභාවෙන් විමසීමක් කළ අතර එහි ප්‍රකාශිකයෙක් මෙසේ කීය.

අපි මේ වන විට එහි වැඩ අවසන් කර තිබෙනවා. එහි ආරක්ෂිත වැටක් ගහන්න තමයි අපි මේක තාවකාලික වැහුවේ. මේ වන විට ඒ වැඩ අවසන්. ඉදිරියෙදි නිසි පරිදි , ආරක්ෂිතව එය පිරිසුදු කර දරුවන් වෙනුවෙන් උද්‍යානය විවෘත කරනවා.

සටහන හා ඡායාරූපය
කැබිතිගොල්ලෑව සමූහ-එස්. ජී. උබේපාල

නව අදහස දක්වන්න