ඇමැති ජල ක්‍රීඩා අතුරු කමිටුවක් පත්කරද්දී සංගමය දෙසැ. 20දාට නිලවරණය කැඳවයි | දිනමිණ

ඇමැති ජල ක්‍රීඩා අතුරු කමිටුවක් පත්කරද්දී සංගමය දෙසැ. 20දාට නිලවරණය කැඳවයි

ප්‍රින්ස් ගුණසේකර

ක්‍රීඩා ඇමැති ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාපා මහතාගේ නියෝගයෙන් ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය විසුරුවා අතුරු කමිටුවක් ගැසට් කිරීමට සියල්ල සූදානම් වෙද්දී එම සංගමය අද දිනයේ නිලවරණයක් කැඳවීමේ නිවේදනය සාමාජික සංගම් වෙත යවයි. ක්‍රීඩා ඇමැතිවරයා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් සකස් කොට තිදෙනෙකුගෙන් යුත් අතුරු කමිටුවක් පසුගිය සිකුරාදා මුද්‍රණයට යවා ඇතත්, ජල ක්‍රීඩා සංගමය තම සාමාජිකයන් වෙත එවන ලද නිලවරණ නිවේදනයේ සඳහන් වන්නේ දෙසැම්බර් මස 20 වැනිදා ජාතික ඔලිම්පික් කමිටු නිවහනේදී නිලවරණය පැවැත්වීමට කටයුතු යොදා ඇති බවය.

ඇමැතිවරයා පත්කළ ජල ක්‍රීඩා අතුරු කමිටුවට රියර් අද්මිරාල් ජී. එම්. ගුණසේකර, ක්‍රීඩා අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් සතරසිංහ හා වසර 2005දී කොළඹ සාන්ත ජෝෂප් විදුහල නියෝජනය කළ පිහිනුම් ශූර අශේන් ප්‍රනාන්දු යන මහත්වරු ඇතුළත්ව සිටිති.

මෙලෙස දෙපාර්ශ්වයක් විසින් ජල ක්‍රීඩා පරිපාලනය සම්බන්ධ ස්ථාවර දෙකක් දරද්දී ලෝක ජල ක්‍රීඩා සංගමය ශ්‍රී ලංකාවට තහනමක් පැනවීමේ අවධානමක් ද මතුවෙමින් පවතී. එලෙස ජල ක්‍රීඩා තහනමක් පැනවුවහොත් මේ වසරේ දෙසැම්බර් මාසයේ චීනයේ පැවැත්වෙන ලෝක ජල ක්‍රීඩා ශූරතාවලිය හා ඉන්දියාවේ නවදිල්ලි හී පැවැත්වීමට නියමිත දකුණු ආසියා පිහිනුම් ශූරතාවලිය ශ්‍රී ලංකාවට අහිමි වනු ඇත.

මෙයට මාස කිහිපයකට පෙර ජල ක්‍රීඩා සංගමයේ නිලවරණය පැවැත්වීමට සියල්ල සූදානම්ව තිබියදී එහි නිලතලවලට පුහුණුකරුවන් නාම යෝජනා ලබාදී ඇතැයි චෝදනාව මත නිලවරණය තාවකාලිකව අත්හිටවනු ලැබීය. අනතුරුව ජල ක්‍රීඩා සභාපති මහින්ද ලියනගේ මහතා ඇතුළු නියෝජිතයන් කිහිපදෙනකු කැඳවා ක්‍රීඩා අමාත්‍යාංශයේදී පරීක්ෂණයක් පැවැත්වුණි. ඉන් අනතුරුව පසුගිය 8වැනිදා නිලවරණය නැවැත පැවැත්වීමට හැකි බව ක්‍රීඩා අමාත්‍යාංශය ලිඛිත නිවේදනයක් ජල ක්‍රීඩා සංගමයට ලබාදී ඇත.

එම දැනුම්දීම අනුව ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය නිලවරණයක් කැඳවීමට පියවර ගත් බව සභාපති මහින්ද ලියනගේ මහතා පැවැසීය. නිලවරණය පැවැත්වීමට නිලවරණ කමිටුවක් පත් කිරීමට ජල ක්‍රීඩා සංගමය පියවර ගෙන ඇත. එම නිලවරණ කමිටුවට ජාතික ඔලිම්පික් කමිටු නියෝජ්‍ය ලේකම් චන්දන ලියනගේ හා භාණ්ඩාගාරික සේනක රණසිංහ යන මහත්වරුද ශ්‍රී ලංකා ටේබල් ටෙනිස් සංගමයේ චන්දන පෙරේරා මහතාද පත්ව සිටිති.

“ජල ක්‍රීඩා සංගමය විසුරුවා ඇති බවට හෝ නව අතුරු කමිටුවක් පත්කරන බව මට කිසිදු දැනුම්දීමක් කර නෑ. අපට දින කිහිපයකට පෙර ලිපියකින් දැනුම් දුන්නේ නිලවරණයට එරෙහි බාධක සියල්ල ඉවත්කර ඇති බවයි. ඒ අනුව අපි නිලවරණය පවත්වනවා” ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමයේ සභාපතිවරයා පැවැසීය.

නව අදහස දක්වන්න