ට්‍රම්ප්ගේ පිල කෙට්ටු වේ | දිනමිණ

ට්‍රම්ප්ගේ පිල කෙට්ටු වේ

ධම්මික සෙනෙවිරත්න

ආණ්ඩුකාරවරු 50 ක් අතුරින් මැතිවරණයේදී තෝරාපත් කරගන්නේ 36 දෙනෙකි. එකී 36 දෙනා අතුරින් 26 දෙනකුම රිපබ්ලිකන් ආණ්ඩුකාරවරුය. මේ මැතිවරණයේදී තමන්ගේ පක්ෂයේ ආණ්ඩුකාරවරයකු බලයට පත්වීම ප්‍රතිවාදී පක්ෂ 2 ටම තීරණාත්මක ලෙස බලපායි. මන්දයත්, 2020 දී පැවැත්වෙන ජනාධිපතිවරණයේදී සිය පක්ෂයේ අපේක්ෂකයන්ට ආධාර කිරීම සම්බන්ධයෙන් ඔවුන් විශාල භූමිකාවක් ඉටුකරන බැවිනි.

අමෙරිකාවේ මධ්‍යවාර මැතිවරණ ඉකුත් 6 වැනිදා පැවැත්විණි. එහිදී සෙනෙට් මණ්ඩලයේ ආසන 100 න් 35 කටද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ආසන 435 සඳහා ද නියෝජිතයන් පත්කරගත් අතර ප්‍රාන්ත ආණ්ඩුකාරවරු 39 දෙනකු තෝරාගැනීම ද සිදුවිය. කොන්ග්‍රසය ගොඩනැ‍ඟෙන්නේ සෙනෙට් මණ්ඩලය හා නියෝජිත මන්ත්‍රී මණ්ඩලය යන ද්විමණ්ඩලයේම සංයුතියෙනි. සෙනෙට් මණ්ඩලයේ මෙන්ම නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේද බලය මෙතෙක් පැවැතියේ රිපබ්ලිකන් පක්ෂය සතුවය. එය මෙවර වෙනස් වූයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බලය ඩිමොක්‍රටික් පක්ෂයට අත්කර දෙමිනි. එම පක්ෂය ආසන 223 ක් ලබාගන්නා විට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝජනය කරන රිපබ්ලිකන් පක්ෂය ලබාගත්තේ ආසන 197 කි. කෙසේ වුවද සෙනෙට් මණ්ඩලයේ වැඩි ආසන සංඛ්‍යාව දිනාගැනීමට රිපබ්ලිකන් පක්ෂයට හැකි විය. පැවැති සංඛ්‍යාවට වඩා ආණ්ඩුකාර ධුර 7 ක් වැඩිකර ගැනීමට ද ඩිමොක්‍රටික් පක්ෂය සමත්ව ඇත.

සාමාන්‍යයෙන් මධ්‍යවාර මැතිවරණ සඳහා එතරම් අවධානයක් යොමු නොවන අතර ඡන්දය ප්‍රකාශවන ප්‍රතිශතය ද අඩුය. එහෙත්, මෙවර තත්ත්වය වෙනස් විය. ඡන්දය ප්‍රකාශ කිරීමට උද්‍යෝගයක් ද තිබිණි. මේ මැතිවරණය පැවැත්වූයේ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ පළමු ධුර කාලයෙන් හරි අඩක් ගෙවී යද්දීය. ට්‍රම්ප් පාලනය පිළිබඳ ජනමත විමසුමක් ලෙස ද මධ්‍යවාර මැතිවරණ හැඳින්විය හැකි බව ඇතැම් විශ්ලේෂකයන්ගේ අදහසය.

මෙම මැතිවරණයේදී වාර්තා කිහිපයක්ම බිහිවීම ද විශේෂත්වයකි. අමෙරිකා ඉතිහාසයේ පළමු ස්වදේශික අමෙරිකානු මන්ත්‍රීවරිය තේරී පත්වීම, පළමු සෝමාලි අමෙරිකානු නියෝජිතවරියගේ තේරී පත්වීම, ලාබාලම මන්ත්‍රීවරියගේ තේරී පත්වීම ඒ අතර තිබේ. කොන්ග්‍රසයට වාර්තාගත අන්දමේ කාන්තා නියෝජනයක් ලැබීම ද මෙවර මැතිවරණ ප්‍රතිඵලයේ විශේෂයකි. සංඛ්‍යාත්මකව එය 100 ක් පමණ වේ. එනම් සමස්ත නියෝජනයෙන් 1/4 ක් පමණ ප්‍රමාණයකි. ආණ්ඩුකාරවරු කිහිපදෙනකුගේම ජනාධිපතිවරණ අපේක්ෂා බොඳ වූ මැතිවරණයක් ලෙස ද එය සැළැකිය හැකිය.

දැවැන්ත ප්‍රචාරය

ඉකුත් මැතිවරණවලදී මෙන් නොව මෙවර මැතිවරණයේදී ප්‍රචාරක කටයුතු සඳහා පක්ෂ දෙකම විශාල මුදලක් වැය කළ බව වාර්තා විය. සිය මැතිවරණ ව්‍යාපාරය සඳහා ඩිමොක්‍රටික් පක්ෂය විශාල මුදලක් යෙදවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි. මහා පරිමාණයේ ප්‍රචාරක කටයුතු මෙවර දැකිය හැකි විය. ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රචාරක දැන්වීම්වලින් අඩක් පමණ වෙන්වූයේ සෞඛ්‍ය රැකවරණය ගැනය. රිපබ්ලිකන් පක්ෂයේ දැන්වීම්වලින් 1/3 ක් පමණ වෙන්වූයේ බදු සම්බන්ධයෙනි. CNN වාර්තා කළ පරිදි මැතිවරණ ප්‍රචාරණ වියදම ඇ. ඩො. මිලියන 124 ක් තරම් විය. සංක්‍රමණික ප්‍රශ්නය ආමන්ත්‍රණය කළ දැන්වීම් 280,000 ක් පමණ ප්‍රචාරය වූ බව ගණන් බලා තිබේ. මේ ප්‍රමාණ 2014 මධ්‍යවාර මැතිවරණ මෙන් පස්ගුණයකි. එය ඇ. ඩො. බිලියන 5 ඉක්මවීය. මැතිවරණය අවසන් වනවාත් සමඟ නීතිපති ජෙෆ් සෙසන්ට තනතුරෙන් ඉවත්වීමට සිදුවිය. එසේ කිරීම සඳහා ඔහුට බලපෑම් එල්ල විණි. ඉකුත් ජනාධිපතිවරණයේදී රුසියානු මැදිහත්වීම් තිබූ බවට එල්ල වූ චෝදනා ගැන ඔහු විමර්ශන කරමින් පසුවිය.

කොන්ග්‍රසයේ බලය අත්කර ගැනීම මඟින් ජනාධිපති ට්‍රම්ප් ධුරයෙන් ඉවත්කර ගැනීම ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රධාන පරමාර්ථයක් වූ බව පැහැදිලි විය. නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ වැඩි බලයක් තහවුරු කර ගැනීමෙන් ද ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන අණ-පනත් ආදිය පමා කිරීමට හැකියාව ලැබේ. තමන්ට වැඩි බලයක් ලැබුණේ නම් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙනඒම ද ඔවුන්ගේ සැලැස්මේ කොටසකි. අමෙරිකා ඉතිහාසයේ මේ දක්වා කිසිදු ජනාධිපතිවරයකුට එරෙහිව එවැනි යෝජනාවක් ඉදිරිපත් වී නොමැත. ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණේ එසේ ජනාධිපතිවරයා ධුරයෙන් පහකර උප ජනාධිපති මයික් පෙට්පෙයෝ ජනාධිපති ධුරයට ගෙනඒමේ සැලැස්මක් ඇති බවය.

ආණ්ඩුකාරවරු 50 ක් අතුරින් මැතිවරණයේදී තෝරාපත් කරගත්තේ 36 දෙනෙකි. එකී 36 දෙනා අතුරින් 26 දෙනකුම රිපබ්ලිකන් ආණ්ඩුකාරවරුය. මේ මැතිවරණයේදී තමන්ගේ පක්ෂයේ ආණ්ඩුකාරවරයකු බලයට පත්වීම ප්‍රතිවාදී පක්ෂ 2 ටම තීරණාත්මක ලෙස බලපායි. මන්දයත්, 2020 දී පැවැත්වෙන ජනාධිපතිවරණයේදී සිය පක්ෂයේ අපේක්ෂකයන්ට ආධාර කිරීම සම්බන්ධයෙන් ඔවුන් විශාල භූමිකාවක් ඉටුකරන බැවිනි. අරමුදල් රැස්කරදීමෙන් මෙන්ම ස්වේච්ඡාවෙන් වැඩ කරන පිරිස් යොමුකිරීමෙන් ද ආදී වශයෙනි.

නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතරය අත්කර ගැනීම මඟින් ට්‍රම්ප්ගේ පාලනයට විවිධ මට්ටමේ බලපෑම් ඇතිකිරීමට ඩිමොක්‍රටික් පක්ෂයට හැකිවනු ඇත. එසේ වුවද, සෙනෙට් මණ්ඩලයේ බහුතරය ඇත්තේ රිපබ්ලිකන් පක්ෂය සතුව බැවින් ශ්‍රේෂ්ඨාධිකරණය, කැබිනට් මණ්ඩලය වැනි ආයතනික ව්‍යුහයන්ට බලපෑම් කිරීමට ඩිමොක්‍රටික් පක්ෂයට හැකියාවක් නොමැත. එය ට්‍රම්ප්ගේ ඉදිරි දෙවසරක ධුර කාලය සම්බන්ධයෙන් වාසිදායකය. ඉදිරි ජනාධිපතිවරණයේදී තීරණාත්මක විය හැකි ප්‍රාන්ත ගණනාවක බලය තමන්ට නතුව පවත්වා ගැනීමට රිපබ්ලිකන් පක්ෂයට හැකියාව ලැබී තිබේ. ඒ අතර ඇරිසෝනා, ඉන්ඩියානා, ජෝර්ජියානා, ඔහායෝ, ෆ්ලොරීඩා වැනි ප්‍රාන්ත ඇති බව මත විමසුම්වලදී පෙනී ගොස් තිබිණි. ඉකුත් ජනාධිපතිවරණයේදී රුසියාව මැදිහත් වී ඇතැයි මත පළවූ අයුරින්ම මෙවර මැතිවරණයේදී චීනය දෙසට සැකයේ හස්තය දිගු විය. අන් පාර්ශ්වයක් නොව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින්ම කියා සිටියේ චීන භාණ්ඩ මත නවබදු පැනවීම වැනි තමන් ගත් ක්‍රියාමාර්ග නිසා චීනය තමන් පරාජය කිරීමට කටයුතු කරමින් සිටින බවය. කෙසේ වුවද චීන ‍විදේශ ඇමැති වැංග් යී මේ චෝදනාව ප්‍රතික්ෂේප කළේය. පදනමක් නැති චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන බව ඔහුගේ ප්‍රකාශයේ සඳහන් විය.

මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පැවැති උනන්දුව සාපේක්ෂව ඉහළ මට්ටමක තිබීම ද විශේෂ කාරණයකි. 2014 මැතිවරණයට වඩා කැපී පෙනෙන වැඩිවීමක් එහි දක්නට ලැබිණි. ඡන්ද විමසීම සිදුවූ නොවැම්බර් 6 වැනිදා වන විට ඡන්ද මිලියන 40 ක් පමණ ප්‍රකාශ වී තිබිණැයි ගණන් බලා තිබේ. ප්‍රතිශතයක් ලෙස එය ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාවෙන් 45 - 50% පමණ වේ. එපමණ ඉහළ ප්‍රතිශතයක් වාර්තා වූයේ 1966 මධ්‍යවාර මැතිවරණයෙන් පසුවය. එනම් ගතවූ වසර 50 ක ඉතිහාසයේ එය වාර්තාවකි.

උනන්දුවේ තරම

මැතිවරණය අවසන්වීමෙන් පසු ධවල මන්දිරයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී CNN ධවල මන්දිර වාර්තාකරු ජිම් ඇකොස්ටා සහ ජනාධිපති ට්‍රම්ප් අතර වචන හුවමාරුවක් සිදුවිය. නැවත දැනුම් දෙනතුරු ඇකොස්ටාට ධවල මන්දිර වාර්තාකරණය තහනම් කිරීමට පියවර ගත් බව ධවල මන්දිර මාධ්‍ය ලේකම් සාරා සැන්ඩර්ස් පවසා තිබේ. තම රාජකාරිය කිරීමට වෑයම් කළ තරුණ කතකට අත තැබීමට ඇකොස්ටා පෙළඹුණු බව ද ඇය සඳහන් කර තිබිණි. එය සිදුවූයේ එම වචන හරඹය නතර කිරීම සඳහා ධවල මන්දිර සේවිකාවක වෑයම් කළ අවස්ථාවේදීය. මේ ප්‍රකාශය CNN මඟින් ප්‍රතික්ෂේප කර තිබේ. මෙය ප්‍රජාතන්ත්‍ර විරෝධී පියවරක් බව ද CNN නිකුත් කළ ප්‍රකාශයක දැක්විණි. මෙහිදී ජනාධිපති ට්‍රම්ප් CNN වාර්තාකරු හැඳින්වූයේ ‍නොහික්මුණු අවලස්සන පුද්ගලයකු වශයෙනි. CNN කියා සිටින්නේ සිය වාර්තාකරු කාන්තාවකට අත නොතැබූ බව සහ ඇය ඔහුගේ උරහිසට අතක් තබා ඔහු වැළැක්වීමට වෑයම් කළ අවස්ථාවේදී සමාවෙන්න මැඩම්! යනුවෙන් පවසමින් එම බාධා කිරීම මඟහරින්නට වෑයම් කළ බවය. ජනාධිපති ට්‍රම්ප්, ඇකොස්ටා වළක්වා සෙසු වාර්තාකරුවන් වෙතට යොමුවීමට වෑයම් කළ අවස්ථාවේදී ඇකොස්ටා ජනාධිපතිවරයාට බාධා කරන අයුරක් ද දිස්විණි.

‍උද්ගත වූ මේ තත්ත්වය ක්ෂණිකව ඇතිවූවක් විය හැකිය. කෙසේ වුවද ජනාධිපතිවරණ සමයේදී ද අමෙරිකාවේ මුල් පෙළේ මාධ්‍ය කටයුතු කළේ ට්‍රම්ප් විරෝධී ස්ථාවරයක පිහිටමින් බව පැහැදිලි විය. එම මාධ්‍ය හැසිරීම ජනාධිපති ට්‍රම්ගේ දෝෂදර්ශනයට ලක්ව තිබිණි.

මැතිවරණයේ ප්‍රතිඵලයත් සමඟ ඩිමොක්‍රටික් පක්ෂය කොන්ග්‍රසය තුළදී කෙසේ ක්‍රියාකරනු ඇතිදැයි නුදුරු අනාගතයේදී දැකගත හැකිවනු ඇත. ජනාධිපති ට්‍රම්ප් දැනටමත් 2020 දී ජනාධිපතිවරණය සඳහා සූදානම් වන බවක් දක්නට තිබේ. මෑතදී ඔහු ගත් ඇතැම් ආරක්ෂණවාදී මෙන්ම ජාතිකවාදී තීන්දු හා පියවර ද ඒ ඔස්සේ තේරුම් ගැනීමට පුළුවන. මැතිවරණ ප්‍රතිඵලය සම්බන්ධයෙන් ඔහු දක්වන ප්‍රතිචාරය කෙසේවේද යන්න ඊළඟ ජනාධිපතිවරණ ජයග්‍රහණය සම්බන්ධයෙන් තීරණාත්මක සාධකයක් වීම නොවැළැක්විය හැකිය.

නව අදහස දක්වන්න