තීන්දුවේ හරි වැරැද්ද ජනතාව තීරණය කළ යුතුයි | දිනමිණ

තීන්දුවේ හරි වැරැද්ද ජනතාව තීරණය කළ යුතුයි

ධනුෂ්ක ගොඩකුඹුර

වත්මන් දේශපාලන වෙනස සම්බන්ධයෙන් ගත් තීන්දුවේ හරි වැරැද්ද ජනතාව හමුවට ගොස් තහවුරු කරගත යුතුයැයි තමා විශ්වාස කරන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. එම ක්‍රියාමාර්ගය නිවැරැදි යැයි ජනතාව තීන්දු කළහොත් පසුගිය වසර තුනක කාලය තුළ රට අගතිය කරා ගෙනගිය ගමන කඩිනමින් වෙනස් කිරීමට විශාල ශක්තියක් ලැබෙනු ඇති බවත් රාජපක්ෂ මහතා කීවේය. අගමැතිවරයා මෙම අදහස් පළ කළේ ජාත්‍යන්තර වෙළෙඳ සහ ආයෝජන ප්‍රවර්ධන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා විසින් රචනා කරන ලද ශ්‍රී ලංකා ආර්ථිකයේ තෙවසරක ප්‍රගතිය සහ අගතිය ග්‍රන්ථය දොරට වැඩීමේ උළෙලට හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ ආයතන ශ්‍රවණාගාරයේ දී ඊයේ (09) එක්වෙමිනි.

ආණ්ඩුව භාර ගන්නා ලෙසට තමන්ට යෝජනා කෙරුණු අවස්ථාවේ දී මේ රට තවදුරටත් විනාශය කරා යන්නට ඉඩ හරිනවාද නැද්ද යන්න පිළිබඳ තීන්දුවක් ගැනීමට සිදුවූ බවත් රාජපක්ෂ මහතා පැවසීය.

එම යෝජනාවට එකඟ නොවී තවදුරටත් ඉවසීමට තීන්දු කළේ නම් ඉදිරියේ දී තමන්ට භාරගැනීමට රටක් ඉතුරු නොවනු ඇති බව පෙන්වා දුන් රාජපක්ෂ මහතා එසේ වූයේ නම් රටේ ජාතික සම්පත් සියල්ල කුණුකොල්ලයට පිටරටවලට විකුණා දමනු ඇති බවත් පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස්, ඇමැති බන්දුල ගුණවර්ධන යන මහත්වරු ද මෙහිදී අදහස් දැක්වූහ.

අදහස් 1ක් ඇත

නව අදහස දක්වන්න