පාර්ලිමේන්තුව විසුරුවයි | දිනමිණ

පාර්ලිමේන්තුව විසුරුවයි

ධනුෂ්ක ගොඩකුඹුර

නාමයෝජනා නොවැ: 19-26 මැතිවරණය ජන: 5

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අට වැනි පාර්ලිමේන්තුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඊයේ (9) මධ්‍යම රාත්‍රියේ විසුරුවා හරිනු ලැබීය. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනයට ජනාධිපතිවරයා ඊයේ රාත්‍රියේ අත්සන් තැබීමෙන් අනතුරුව නිකුත් කෙරිණි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33වන ව්‍යවස්ථාවේ (2) (ඇ) අනුව්‍යවස්ථාව සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 62 ව්‍යවස්ථාවේ (2) අනුව්‍යවස්ථාව සමඟ කියවිය යුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70වන ව්‍යවස්ථාවේ (5) අනුව්‍යවස්ථාව යටතේ පැවරී ඇති බලතල ප්‍රකාරව හා 1981 අංක 01 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 10 වන වගන්තියේ විධිවිධාන අනුව ජනාධිපතිවරයා මෙම විසුරුවා හැරීම සිදුකර ඇත.

නව වැනි පාර්ලිමේන්තුව 2019 ජනවාරි මස 17 වැනි දින රැස්වීමට නියමිත අතර නව වැනි පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනීමේ මහ මැතිවරණය 2019 ජනවාරි මස 05 දින පැවැත්වීමට නියමිතය. නාමයෝජනා කැඳවීම මේ මස 19 සිට 26 තෙක් සිදුකෙරේ.

මේ අතර ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද විශේෂ ගැසට් නිවේදනයක් මගින් රජයේ මුද්‍රණාලය රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය වෙත ඊයේ සිට පවරන ලදී.

අට වැනි පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනීමේ මහ මැතිවරණය 2015 වසරේ අගෝස්තු මස 17 වැනි දා පැවැත්වුණු අතර මංගල සැසිය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් 2015 වසරේ සැප්තැම්බර් මස 01 වැනි දා පැවැත්විණි.


නව අදහස දක්වන්න

Or log in with...