පාලමත් සමඟම සේදීගිය මනුස්සකම | දිනමිණ

පාලමත් සමඟම සේදීගිය මනුස්සකම

මම ගොවියෙක් ලෙස ජීවිකාව ගෙන යන කෙනෙක්. උදේ සිට එළවළු කොටුවේ වැඩකරලා හවස ගම්පොල නගරයට එන්න පාපැදියෙන් ආවා. නගරයට ආසන්න ගම්පොලවෙල කළුපාලම උඩට ආවා විතරයි මමත් එක්කම ඒ පාලම කඩාගෙන පහළට වැටුණා. ටික වේලාවකින් එතනට මිනිස්සු පිරුණා. ඒ අය කැඩුණු පාලම බලන්න පොර කෑවා මිස මා ගැන බැලුවේ නෑ. යටවෙලා හිටිය තැනින් අමාරුවෙන් මම නැගිටලා ගොඩට ආවා. එතකොට මේ ගැන අශෝක කියන අපේ ගමේ කෙනෙකුට ආරංචි වෙලා එයා මාව ගම්පොළ රෝහලට ගෙන ආවා.

ගම්පොළ, ගම්පොළවෙල පදිංචි ඩබ්ලිව්. සෝමපාල නමැති 65 හැවිරිදි ගොවි මහතා මේ අපූරු විස්තරය කළේ පසුගිය 30 වැනි දින කඩා වැටුණු ගම්පොළවෙල පාලම සම්බන්ධයෙන් අපූරු විස්තරයක් කොට මිනිසුන්ගේ මිනිස්කමට සිදුවී ඇති දුක්ඛිත තත්ත්වයද හෙළි කරමිනි.

සෝමපාල මහතාට දරුවන් තිදෙනකු සිටින අතර ඔහු ගම්පොළවෙල මහපුර ප්‍රදේශයේ වී වගාව මෙන්ම එළවළු වගාවද සිදුකරන්නෙකි.

පාපැදියෙන් ගමන් ගන්නා ඔහු සුපුරුදු පරිදි වැඩ කටයුතු නිමවා සවස ගම්පොළ නගරයට යමින් සිට ඇත.

පාලම මතින් ගමන් ගන්නා ලංගම බස් රථයද ඔහුට මගදී හමුවී ඇති අතර පාලම ආසන්නයට පැමිණෙන විට ඔහුට ඉදිරියෙන් ගිය ත්‍රිරෝද රථයක්ද ඒ මතින් ගොස් ඇත.

නමුත් සෝමපාල මහතා තම පාපැදියෙන් පාලම මතට ගොඩවූවා පමණයි එය කඩාගෙන වැටුණේ ඔහු හා පාපැදියද සමගිනි.

මේ පාලම ඉදිකර වසර 40 කට වඩා පැරැණි අතර පසුගිය වසර කිහිපය තුළම එය අබලන්ව තිබීම පිළිබඳව ප්‍රදේශවාසීන් දේශපාලනඥයන්ට හා බලධාරින්ට දන්වා තිබුණි. නමුත් කිසිවෙකුත් ඒ ගැන තැකීමක් කළේ නැත.

පවුල් 5000 ක් පමණ මේ පාලම ප්‍රයෝජනයට ගන්නා අතර පාසල් 10 ක පමණ සිසු සිසුවියන්ද මේ මතින් ගමන් කරති.

මහවැලි ගඟට ආසන්නව ගලා බසින කීරපන ඔය හරහා පාලම ඉදිකර ඇති අතර මෙහි සිට ගම්පොළ නගරයට දුර මීටර 200 ක් වත් නැති තරම්ය.

සෝමපාලගේ ත්‍රාසජනක අත්දැකීම ඔහු මෙසේ විස්තර කළේය.

පාලමේ කැඩුණු කොන්ක්‍රීට් එකත් එක්කම ‍මම පහළට වැටුණා. බයිසිකලේ වතුරට වැටුණත් මම පස් ගොඩක් උඩට වැටුණා. එතකොට තව කැඩී ආව පස් වගේකට මගේ කකුල් දෙක යටවුණා. මම කෑ ගැහුවා. මට ඇහුණා උඩ මිනිස්සු කතා කරනවා. ඒ අය කැඩුණු පාලම බලන්න උනන්දු වූවත් මා ගැන බැලුවේ නෑ. මම අමාරුවෙන් ගොඩට ආවා බයිසිකලේ ගන්න බැරිවුණා. ඒක අදටත් එතන යටවෙලා.

අද මගේ කකුල් දෙක වේදනා දෙනවා. මට වැඩකරන්නත් අමාරුයි.

කොහොම වුණත් මම ඉල්ලන්නේ මේ පාලම ඉක්මනට හදලා දෙන්න කියලයි. ගම්මාන 7-8 ක මිනිස්සු මේ නිසා අමාරුවේ වැටුණා.

ජායාරූප - ගම්පොළ සමූහ


නව අදහස දක්වන්න