සගයන්ගේ කර මතින් රංගන පිටියට සමුදෙයි | දිනමිණ

සගයන්ගේ කර මතින් රංගන පිටියට සමුදෙයි

ෆවුස් මොහොමඩ්

ගාලු ක්‍රීඩාංගණයේ පළමු ටෙස්ට් ජයග්‍රහණයත්, වසර දෙකකට පසුව පළමු විදෙස් ටෙස්ට් ජයග්‍රහණයත් දෙකම වාර්තා කරමින් ගාල්ල ක්‍රීඩාංගණයේ පැවැති පළමු ටෙස්ට් තරගයෙන් ඊයේ තවත් දිනයක් ඉතිරිව තිබියදීම ශ්‍රී ලංකා පිල ලකුණු 211කින් පරාජය කළ සංචාරක එංගලන්ත පිල සිය අවසන් ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ ලොව වැඩිම ටෙස්ට් කඩුලුලාභී වමත් පන්දු යවන්නා වන රංගන හේරත්ගේ සමුගැනීමේ සතුට උදුරාගත්තේය. ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුල්ල ලෙස එංගලන්ත ක්‍රීඩකයන්ගේ අත් පොලොසන් හඬ මැද පිටියට පිවිසි රංගන හේරත්ගේ අවසන් ටෙස්ට් ඉනිම අවාසනාවන්ත ලෙස දුවද්දී දැවීයාමකින් නිමාවට පත්විය.

තරගයේ ජයග්‍රහණය සඳහා වාර්තාගත ලකුණු 462ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා පිල ඊයේ පස්වරු තේ පානයෙන් ඕවර 19කට පසුව ලකුණු 250කට දැවී ගියේ තරග 3කින් සමන්විත ටෙස්ට් තරගමාලාව 1-0කින් එංගලන්තයට පෙරමුණ ලබා දෙමිනි.

වසර 2016 ඔක්තෝබරයේ චිතගොන් නුවරදී බංග්ලාදේශය පරාජය කිරිමෙන් පසුව මේ දක්වා එංගලන්ත පිල විදෙස් රටවල ටෙස්ට් තරග 13කට ක්‍රීඩා කළ අතර කිසිදු ජයග්‍රහණයක් වාර්තා කළේ නැත. එමෙන්ම එංගලන්ත පිල මීට පෙර ගාලු ක්‍රීඩාංගණයේ ටෙස්ට් තරග 4කට සහභාගි වී කිසිදු ජයග්‍රහණයක් ලබා සිටියේ නැත.

පෙරේදා රාත්‍රිය පුරා ගාල්ලට දැඩි වර්ෂාවක් පතිත වූවත් ඊයේ උදැසන නියමිත වේලාවටම තරගය ආරම්භ කිරීමට තරම් උචිත කාලගුණය තත්ත්වය මැද පිටියට පැමිණි දිමුත් කරුණාරත්න සහ කෞෂාල් සිල්වා පළමු කඩුල්ලට ලකුණු 50ක සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත්වූවත් එංගලන්ත පිලේ වේගපන්දු තුරුම්පුව වන ජේම්ස් ඇන්ඩර්සන් අවස්ථා කිහිපයකදීම මේ දෙදෙනාගේ ඉවසීම පරීක්ෂාවකට ලක් කළේය.

පළමු කඩුල්ලේ සම්බන්ධතාව ලකුණු 50දීම බිඳ වැටුණේ ජැක් ලීච්ගේ පන්දුවකට කෞෂාල් සිල්වා කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවීමෙනි. පිටියේ විනිසුරුගේ තීරණය අභියෝගයකට ලක් කළ කෞෂාල් විනිසුරු තීරණ යළි විමසීමේ ක්‍රමවේදයේ පිහිට පැතුවත් ප්‍රතිඵලය එයම විය.

මුයින් අලි පන්දු යැවීමට කැඳවීමෙන් පසුව ඔහු යැවූ මුල්ම ඕවරයේ දී බෙන් ස්ටෝක්ස්ට දුන් උඩපන්දුව ගිලිහී යාමෙන් කඩුල්ල රැකගැනීමට වාසනාවන්ත වූ දිමුත් සිය ඉනිමට තවත් ලකුණු 10ක් එක්වෙද්දී ආපසු ක්‍රීඩාගාරයට පියමැන්නේ මුයින් අලිගේ පන්දුවකට ඔහු අතටම උඩපන්දුවක් ලබාදෙමිනි. ඒ අනුව මුළු ලකුණු සංඛ්‍යාව 59ක් වෙද්දී ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරුවන් දෙදෙනාම නැවත ක්‍රිඩාගාරයේ අසුන් ගත්තේ සෙසු පිතිකරුවන්ගේ කරමත විශාල වගකීමක් පවරමිනි.

ශ්‍රී ලංකා පිලේ පළමු ඉනිමේදිත් ඉතා දුර්වල පහරකින් නිකරුණේ කඩුල්ල පූජා කළ අංක 3 පිතිකරු ධනංජය ද සිල්වා දෙවැනි ඉනිමේදිත් අපරික්ෂාකාරී ලෙස දැවීගියේ තම කණ්ඩායමේ පරාජය ඉක්මන් කර දමමිනි. බෙන් ස්ටෝක්ස් විසින් යවන ලද දිවා ආහාරයට පෙර අවසන් ඕවරයේ පළමු පන්දුව කඩුලු රකින බෙන් ෆෝක්ස් අතට යාමට පෙර ධනංජයගේ පිත්තේ යාන්තමින් ගැටුණු බවට අනුමාන කරමින් එංගලන්ත පිලේ ක්‍රීඩකයන් විසින් කරන ලද ඉල්ලීම ප්‍රධාන විනිසුරු මේරියස් ඉරස්මස් අනුමත කළේ තරමක් කල්පනා කිරීමෙන් පසුවය. එම තීන්දුව අභියෝගයට ලක්කළ ධනංජය විනිසුරු තීරණ යළි විමසීමේ ක්‍රමවේදයෙන් කඩුල්ල රැක ගැනීමට සමත්වූවත් ඊළඟ පන්දුවට අපරික්ෂාකාරි පිත්ත දමමින් ස්ලිප් හී සිටි එංගලන්ත පිලේ නායක ජෝ රූට් අතටම උඩපන්දුවක් ලබාදීමෙන් තවත් ලකුණු 39ක් එකතු වෙද්දී ශ්‍රී ලංකා පිලට තුන්වැනි කඩුල්ලත් අහිමිව ගියේය. ඒ සමගම දිවා ආහාරය සඳහා තරගය නැවැත්වූ අතර ශ්‍රී ලංකා පිල කඩුලු 3කට ලබා සිටි ලකුණු සංඛ්‍යාව 98ක් විය.

දිවා ආහාරයෙන් පසුව ශ්‍රී ලංකා ඉනිමට ජීවය ගෙනදුන් කුසල් මෙන්ඩිස් සහ ඇන්ජෙලෝ මැතිව්ස් මුළු ලකුණු සංඛ්‍යාව 144 දක්වා ඉහළට ඔසවා තැබීමට සමත්වූහ. මිනිත්තු 96ක් පුරා කඩුල්ලේ රැඳී සිටිමින් මනා සංයමයකින් යුතුව පන්දුවට පහරදුන් කුසල් මෙන්ඩිස් ජැක් ලීච්ගේ පන්දුවකට හතරේ පහරක් එල්ල කරමින් ලකුණු සංඛ්‍යාව 45 දක්වා ඉහළ දමාගත්තේය. එහෙත් ඊළඟ පන්දුවේදී ඉදිරියට පැමිණ ඉහළින් එල්ල කළ පහරකින් මුයින් අලි අතට උඩපන්දුවක් ලබා දුන්නේ අනවශ්‍ය කළබලකාරි ස්වරූපයක් පෙන්නුම් කිරිමෙනි.

අංක 6 ස්ථානයෙන් පිටියට පැමිණි නායක දිනේෂ් චන්දිමාල්ට ජැක් ලීච්ගෙන් ලැබුණේ ඔහු අන්දමන්ද වුණු පන්දුවකි. ආරක්ෂාකාරිව පන්දුව පිළිගැනීමට චන්දිමාල් උත්සාහ කළත් එය ඔහුගේ පිට ඉන්න ගලවා දැමුවේ ශ්‍රී ලංකා පිල පරාජයේ ආගාධයට ඇද දමමිනි.

ලකුණු 18ක් ලබා සිටියදී බෙන් ස්ටෝක්ස්ගේ පන්දුවකට මැතිව්ස් එල්ල කළ පුල් පහරින් ජේම්ස් ඇන්ඩර්සන් අතටම ගිය උඩපන්දුව ඔහු බිම දැමීමෙන් කඩුල්ල බේරාගත් මැතිව්ස් පස්වරු තේ පානයට පෙර මේ තරගයේ දෙවැනි අර්ධ ශතකයත් වාර්තා කරමින් නිරතවූයේ හුදෙකලා සටනකය. පස්වරු තේ පානය වනවිට කඩුලු 5ක් දැවී ලකුණු 190ක් ලබා සිටි ශ්‍රී ලංකා පිලේ 6 වැනි කඩුල්ල ලෙස නිරෝෂන් දික්වැල්ල දැවී ගියේ තේ පානයෙන් පසුව මුයින් අලි යැවූ මුල්ම ඕවරයේ පළමු පන්දුවෙනි. අලිගේ දෙවැනි ඕවරයේදී මැතිව්ස් දැවීයාමත් සමග ශ්‍රී ලංකා පිලේ පරාජය ඉක්මන් විය.

ඊයේ තරගයෙන් පසුව ක්‍රීඩාවෙන් සමුගත් රංගන හේරත් වෙනුවෙන් ගාල්ල ක්‍රීඩාංගණයේ විශේෂ උත්සවයක් සංවිධාන කර තිබූ අතර අනූව දශකයේ බිහිවූ අවසන් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයාගේ නික්ම යාම නිමිත්තෙන් ඔහුට විශේෂ තිළිණ හා සමරු සටහන් රැසක් ප්‍රදානය කෙරිණි.

දෙපිල අතර දෙවැනි ටෙස්ට් තරගය මේ මස 14 වැනිදා පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී ඇරැඹේ.

නව අදහස දක්වන්න