වීදුරු වෙළෙන්දාට පාතාල තර්ජන | දිනමිණ

වීදුරු වෙළෙන්දාට පාතාල තර්ජන

ඇමරිකන් හස්ල් 15

හයිමි සමඟ කරගෙන ගිය ගනුදෙනුවේ උත්ප්‍රේරකය වුයේ මාරිය. හයිමි විසින් එම රන්වන් කෙස් ඇති හුරුබුහුටි තරුණිය ගිණුම් කටයුතු සඳහා සේවයට බඳවාගෙන තිබුණේ, ව්‍යාපාරයේ තත්වය විශේෂයෙන්ම වෙයින්බර්ග් පිළිබඳව ඇස ගසාගෙන සිටීමටය. ස්වභාවයෙන්ම කා ගැනත් සැකයෙන් පසුවු හයිමිට වෙයින්බර්ග් තමා රවටනු ඇති බවට සැකයක් තිබුණේ නැත. මාරි තමාගේ විශ්වාසයට නතුකර ගත් හයිමි, වෙයින්බර්ග් සම්බන්ධයෙන් තමා කරන්නට යන දෑ අවංකවම ඇයට හෙළි කිරීමට පසුබට වූයේ නැත.

මෑන්හැටන් කැෂුවල්ටි රක්ෂණ සමාගම සිය හොර ජාවාරම්වලින් වෙයින්බර්ග් කෙතරම් සූරාකෑවාද යත්, 1960 වන විට එය බංකොලොත් තත්වයට පත්ව තිබිණි. වෙයින්බර්ග්ට එය කෙතරම් අයහපත් අන්දමින් බලපෑවාද යන්න අමුතුවෙන් විස්තර කළ යුතු නැත. කෙතරම් ව්‍යාපාර තිබුණද ඒ සියල්ල ඔහු පවත්වාගෙන ගියේ රක්ෂණ සමාගමෙන් ලැබුණු ස්ථිර ආදායමෙනි. ඒ කිසිවකින් ලද ලාභයක් ඔහු ඉතිරි කරගෙන තිබුණේද නැත. හතර වටේට ණයව සිටි වෙයින්බර්ග් දුරකතනය නාදවන වාරයක් පාසා බියෙන් තැති ගත්තේ, ණයකරුවන්ගෙන් නිතර තර්ජනාත්මක ඇමතුම් ලැබුණු බැවිනි. මෙතෙක් කලක් අමතක කොට සිටි සිය වැඩිමහල් ඥාතියා වන ‘හයිමි‘ වෙයින්බර්ග්ගේ මතකයට එන්නේ මෙවිටය.

පවුලේ සියලුදෙනා අතර පිළිකුලටත් ප්‍රතික්ෂේප කිරීමටත් ලක් වූ හයිමි වූකලී අතිශයින් මසුරු, මුදලට කෑදර, අනුකම්පාව නොහඳුනන කෛරාටිකයෙකි. ධනවතකු ද වූ හේ වෙයින්බර්ග්ට වඩා එමෙන් දෙගුණයකින් වැඩිමහලුය. කලක සිටම ඔහු තමාගේ වීදුරු ව්‍යාපාරය මිලට ගැනීම ගැන උනන්දුවක් දැක්වු බවද වෙයින්බර්ග්ට සිහි විය. දැන් එළැඹ ඇත්තේ ඊට හොඳම කාලය බව තීරණය කළ වෙයින්බර්ග් හයිමි අමතා ගනුදෙනුව කතිකා කර ගත්තේය. බංකොලොත් ව්‍යාපාරය විකුණා ලද මුදලෙන් යාන්තම් ණය ගෙවා දැමු වෙයින්බර්ග්ට සිය ව්‍යාපාරය මුලුමනින්ම අහිමි වූයේද නැත. හයිමිගේ අධීක්ෂණය යටතේ එහි පාලන කටයුතු කරගෙන යාම වෙයින්බර්ග්ටම භාරවූ අතර, ඔහුගේ සේවය වෙනුවෙන් ව්‍යාපාරයේ සහකරුවකු ලෙස ඔහුට ගෙවීම් කෙරිණි. තමා මුහුණ දී සිටි බැරෑරුම් තත්වය සලකන විට, වෙයින්බර්ග්ට සිතුණේ මෙම සැලැස්ම නරකම නැති බවයි.

හයිමි සමඟ කරගෙන ගිය ගනුදෙනුවේ උත්ප්‍රේරකය වුයේ මාරිය. හයිමි විසින් එම රන්වන් කෙස් ඇති හුරුබුහුටි තරුණිය ගිණුම් කටයුතු සඳහා සේවයට බඳවාගෙන තිබුණේ, ව්‍යාපාරයේ තත්වය විශේෂයෙන්ම වෙයින්බර්ග් පිළිබඳව ඇස ගසාගෙන සිටීමටය. ස්වභාවයෙන්ම කා ගැනත් සැකයෙන් පසුවු හයිමිට වෙයින්බර්ග් තමා රවටනු ඇති බවට සැකයක් තිබුණේ නැත. මාරි තමාගේ විශ්වාසයට නතුකර ගත් හයිමි, වෙයින්බර්ග් සම්බන්ධයෙන් තමා කරන්නට යන දෑ අවංකවම ඇයට හෙළි කිරීමට පසුබට වූයේ නැත. වීදුරු ව්‍යාපාරයත්, වෙයින්බර්ග්ගේ සම්බන්ධතාත් ක්‍රමානූකූලව සියතට ගැනීමෙන් පසු ඔහු සේවයෙන් නෙරපා දැමීමේ සැලසුම හයිමි මාරිට හෙළි කළේය. නමුත් මාරි ඒ වන විටත් සිටියේ වෙයින්බර්ග් සමඟ අනියම් පෙමක පැටලීය. ඥාති සොහොයුරාගේ කුරිරු සැලසුම් ගැන ඇය වෙයින්බර්ග්ට හෙළි කරත්ම ඔහු කෝපයෙන් වියරු වැටිණි. හයිමි එවන් දෙබිඩ්ඩකු නම් තමා ඔහුට වඩා ඉක්මන් විය යුතු බව වෙයින්බර්ග් තීරණය කළේය. පළිගැනීමේ වඩාත්ම සංකීර්ණ, නොනවතින මෙහෙයුමකට වෙයින්බර්ග් අවතීර්ණ වන්නේ එලෙසය.

පළිගැනීමේ ක්‍රියාන්විතයේ පළමු අදියර ලෙස වෙයින්බර්ග් කළේ, ඥාති සොහොයුරාට හොරෙන් තමාගේම වීදුරු ව්‍යාපාරයක් ක්වීන්ස් නගරයේ විවෘත කිරීමය. මාරිද හයිමිගේ වෙළෙඳ සලෙන් ඉවත් කරගත් වෙයින්බර්ග්, ඇය තමාගේ ‘ඩිට්මාර් වීදුරු‘ වෙළෙඳ සලේ සේවයට යෙදෙව්වේය. වෙළෙඳ සලේ පාලනය ගෙනයාම පියාට භාර කළ වෙයින්බර්ග් සෑම රාත්‍රියකදීම එහි රාක්ක, හයිමිගේ වෙළෙඳ සලෙන් හොරෙන් පන්නාගත් වීදුරු තොගවලින් පිරෙව්වේය. හයිමිගේ වෙළෙඳ සල භාරව තිබුණේ වෙයින්බර්ග්ටම නිසා එහි සේවය කළ කම්කරුවන් ඩිට්මාර් හි සේවා කටයුතු සඳහා යොදා ගැනීමටද වෙයින්බර්ග්ට කිසිදු තහංචියක් තිබුණේ නැත. එහෙයින් කිසිදු වියදමක් නැතිව ඔහු තමාගේම වීදුරු ව්‍යාපාරයක් සාර්ථක ලෙස නඩත්තු කරගෙන ගියේය. ඩිට්මාර් වෙළෙඳ සලෙන් අලෙවි කරන වීදුරු සඳහාත්, ඒවා සවිකිරීම සඳහාත් වන සියලු වියපැහැදම් නොදැනුවත්ව වුවද දැරුවේ හයිමිය. නමුත් ඉන් ලැබුණු සියලු ආදායම් බැරවුණේ වෙයින්බර්ග්ගේ ගිණුමටය.

ඥාතියා රැවටීමේ අන්තයකට නොයන්නට වෙයින්බර්ග් හැමවිටම පරෙස්සම් ද විය. හයිමිගේ වීදුරු ව්‍යාපාරය බංකොලොත් වුවහොත් එය ඩිට්මාර් වීදුරු ව්‍යාපාරයේද අවසානය බැව් හේ දැන සිටි බැවිනි. මේ නිසා, තමාගේ ව්‍යාපාරය පවත්වාගෙන යාමට ප්‍රමාණවත් ලාභයක් හයිමිගේ ව්‍යාපාරයෙන් ලැබෙන පරිදි මනා සමබරතාවකින් යුතුව දෙපාර්ශ්වයම සතුටු කිරීමට වෙයින්බර්ග් වගබලා ගත්තේය. වසර දෙකක් මුලුල්ලේම ඔහු මෙම ජාවාරම සාර්ථකව කරගෙන ගියේ එහෙයිනි. දෙපාර්ශ්වයම සතුටු කිරීමේ මෙම අපූර්ව හැකියාව වෙයින්බර්ග් ප්‍රකට කළේ ව්‍යාපාර කටයුතු සම්බන්ධයෙන් පමණක්ම නොවේ. නීත්‍යානුකූල බිරිය හා අනියම් බිරිය ලෙස සහකාරියන් දෙදෙනකු නඩත්තු කිරීමේ භාරධූර ක්‍රියාන්විතයට ඔහු අතගැසුවේද මෙකලය. වෙනම නිවෙසක් මිලදීගෙන මාරි පදිංචි කළ වෙයින්බර්ග්ගේ මෙම පුරුද්ද එදා සිට ඔහුගෙන් බැහැර වූයේ නැත.

හැම කතාවකම සිදුවන පරිදි කලකට පසු හයිමිටද වෙයින්බර්ග්ගේ දෙබිඩි කල්ක්‍රියාව ගැන සැක පහළ විය. තමාගේ වීදුරු අලෙවි සලෙන් පිටත්වූ ට්‍රක්රථයක් ලුහුබැඳ ගිය හයිමි නතරවුණේ ඩිට්මාර් වීදුරු වෙළෙඳ සලේය. තමාගේම වීදුරු විකුණන තැනකදී තමාගේ විශ්වාසවන්ත සේවිකාව වූ මාරි දුටු විට ඔහුට යකා නැග්ගේය. එදිනම දිස්ත්‍රික් නීතිඥයා හමුවී වෙයින්බර්ග් ඇතුළු සියල්ලන්ටම විරුද්ධව නීතිමය පියවර ගන්නා බවට තර්ජනය කළ හයිමි ඩිට්මාර් වෙතින් පිටවූයේ අඩි හප්පමිනි. ඉන් සුළු මොහොතකට පසු වෙයින්බර්ග් මාරිව ඇමතුවේ වෙළෙඳ සලේ කටයුතු පිළිබඳව සොයා බැලීමටය.

“හායි ඩාලිං! කොහොමද අද ඔහේ වැඩ කටයුතු එහෙම ගාණට යනවා නේද කෙල්ලේ ?“

“හරි වැඩේනේ මෙල්, අද ඔයාගේ අයියා මෙහේට කඩාගෙන පැන්නා. මට කරකියා ගන්න දෙයක් නැති වුණා. හතර වටේටම දෙහි කපලා එයා ගියේ, මේක නිකන් අරින්නේ නැහැයි කියලා මටත් තර්ජනය කරලා.... අනේ මට බයයි ඩාලිං. අපි දැන් මොකද කරන්නේ ?“ මාරි පැවසූ වෙව්ලීම් ස්වරය අනුව ඇය තවමත් පසුවන්නේ කම්පනයෙන් බව තේරුම් ගැනීම වෙයින්බර්ග්ට අසීරු වුයේ නැත.

“ඒකත් එහෙමද? ඔයා බයවෙන්න එපා රත්තරන්. ඕක කොහොමටත් වෙන්න තිබ්බ දෙයක්නේ. අපි බලමු ඊළඟට මොකද්ද කරන්නේ කියලා. මේ මෙල්ට කරන්න බැරි දෙයක් නැහැ.“

මාරි අස්වැසු වෙයින්බර්ග් මඳක් කල්පනා කළේය. මේ ඔහු බලා‍පොරොත්තු නුවු දෙයක් නොවේ. ඔහු හයිමිගේ විදුරු අලෙවිසලට ඇමතුමක් ගත්තේය. එවෙලේ ඔහු සිටියේ වීදුරු සවිකිරිමේ කොන්ත්‍රාත්තුවකට බැහැරට ගොස්ය.

“හෙලෝ, මම වීදුරු සවිකරන්නන්ගේ වෘත්තිය සමිතියේ සිඩ්නි ග්ලාසර්. මට මෙල් වෙයින්බර්ග්ට කතා කරන්න පුළුවන්ද ?“ එහා කෙළවරෙන් පිළිතුරු දුන්නේ හයිමි අලුතින් සේවයට බඳවාගත් ගිණුම් නිලධාරියාය.

“එයා දැන් මේ කොයි මොහොතේ හරි එන්න ඕනේ.“

“එයා ආපු ගමන්ම කියන්න වෘත්තීය සමිතියේ සිඩ්නි ග්ලාසර්ට කතා කරන්න කියලා. මේක හදිස්සියක්.“

එපමණක් කියා ඇමතුම අහවර කළ වෙයින්බර්ග්, ඊළඟට පිම්මේ ගියේ ඉටැලියන් ඊස්ට් හාලෙම් ප්‍රදේශයේ විසූ තමාගේ පැරණි මැරවර මිතුරන් පිරිසක් හමුවීමටය. ඔවුන් එක පවුලේ සොහොයුරන් සිවුදෙනකු වූ අතර ගරාජයක් පවත්වාගෙන යන මුවාවෙන් කළේ පාතාලයේ අපරාධ කොන්ත්‍රාත්තුවලට අත්උදව් දීමය. වෙයින්බර්ග් මැදිව සිටින ගැටලුවට සවන්දුන් ඔවුන් අතරින් බාලයා ‘ජූනියර්‘ පැය භාගයක් තුළ හයිමිගේ වීදුරු ගබඩාවට පැමිණීමට එකඟ විය. නිකම්ම නොව සිය කැලිබර් තිස්අටේ තුවක්කුව පුස් වෙඩිවලින් සන්නද්ධ කරගෙනය. වහා ආපසු හැරුණු වෙයින්බර්ග් පැය කාලක් යන්නටත් මත්තෙන් සිටියේ හයිමිගේ වීදුරු වෙළෙඳ සලේය.

බලාපොරොත්තු වු පරිදිම හයිමි සිටියේ, වෙයින්බර්ග්ගේ පැමිණීම අපේක්ෂාවෙන්, කෝපයෙන් දත් කූරු කමිනි. වෙයින්බර්ග් දුටු විට ඔහුගේ මුහුණ ඇඹූල්වූයේ බලා සිටියදීමය.

“වාඩි වෙනවා ඔහොම.“ වෙයින්බර්ග් කාමරයට ඇතුළු වන විටම හයිමි කඩාගෙන පැන්නේය.

“මට තමුසෙත් එක්ක කතා කරගන්න දෙයක් තියෙනවා.“

“ඔක්කොම හරි. මට මිනිත්තුවක් දෙන්න.“ වෙයින්බර්ග්ගේ කටහඬ තැන්පත්ය. සේවය නිමා කොට කාර්යාලයෙන් පිටවන්නට සූදානම් වන ගිණුම් තබන්නා වෙත හැරුණු හේ ඔහු ඇමතීය.

“මට අද කවුරු හරි මොනවා හරි පණිවිඩයක් තිබ්බද?“

“ආහ්. ඔව්. තව ටිකෙන් අමතක වෙනවා. වීදුරු සවිකරන්නන්ගේ වෘත්තීය සමිතියේ සිඩ්නි ග්ලාසර් කියලා කෙනෙක් කතා කරලා කිව්වා එයාට ඇමතුමක් දෙන්න කියලා. හදිස්සියක් කියලයි කිව්වේ“

සිය රංග ජවනිකාව අවසන් කිරීමට ගිණුම් තබන්නා පිටව යනතුරු සිටි වෙයින්බර්ග් කෙතරම් තාත්වික හා විශ්වාසය දනවන අයුරින් ලෙස සිය රංගනය සිදුකළාද යත් හයිමිගේ නිම් හිම් නැති කෝපය අතුරුදන්වූයේ හිරු දුටු පිණි මෙනි. පසුකලකදි ඇබ්ස්කැම්හි සාර්ථකත්වය සඳහා නැතිව බැරි අංගයක් වූ වෙයින්බර්ග්ගේ මෙබඳු සටකපට නිර්මාණාත්මක ජවනිකා ඔහුගේ අනන්‍යතාව කියා පෑ සංකේතයක් බවටද පත්විය. හයිමි බලාගෙන සිටියදීම මතකයේ තිබු ක්‍රියාවිරහිත දුරකතන අංකයක් කරකැවූ වෙයින්බර්ග් එහා කෙළවරේ සිටි මනඃකල්පිත සිඩ්නි ග්ලාසර් කෙනෙක් සමඟ මහත් අසහනයෙන් යුතුව කෙරෙන සංවාදයක් කදිමට රඟදැක්වූවේය. සංවාදය නිමා කර ඔහු සොහොයුරා දෙසට හැරුණේ බියෙන් කැළඹීමට පත්වය.

“ඔහේට සිද්ධ වෙලා තියෙන්නේ ලොකුම ලොකු වැරදීමක්. ඩිට්මාර් ග්ලාස් ෂොප්එක මගේ නෙවෙයි. ඒක රන් කරන්නේ පාතාලේ ගැන්සියක්. ඔහේ අද උදේ එහේ ගිහිං නටපු නාඩගම නිසා උන් දැන් ඉන්නේ ඇවිස්සිලා. දන්නවනේ පාතාලේ හැටි. උන් මේක ලේසියෙන් අත අරින්නේ නැහැ. අපේ සංගමේ බොසා සිද්ධිය දැන ගත්ත හැටියෙමයි මට පණිවිඩේ තියලා තියෙන්නේ. එයා කියපු විදිහට ඔයාට මේකෙන් ගැලවිමක් නැහැ. ඔයා ඉවරයක් කරන්න එයාලා කොන්ත්‍රාත්තුවත් දීලා ඉවරයි. දැනටමත් ගේම දෙන්න කට්ටිය මඟ එනවා ඇති. උන්ගේ වැඩ හරිම ඉක්මණ්. කිසිම සාක්ෂියක් ඉතිරි නොකර එයාලා ගාණට ඔයාව තොලොංචි කරලා දාවි. පාතාලෙත් එක්ක ඔට්ටු වෙනවා කියන්නේ කළුගලේ ඔලුව ගහ ගත්තා වගේ තමයි.“

වෙයින්බර්ග් විස්තර කළේ හයිමිගේ සියොළඟම දහදියෙන් තෙත් කරමිනි. සිය සොහොයුරාට පාතාලය සමඟ සබඳකම් ඇති බව දැන සිටි හයිමි වෙයින්බර්ග්ගේ දෙපතුළ ළඟ වැඳ වැටුණේ වෙව්ලමිනි. තමා ගලවා ගන්නා ලෙස කියමින් හේ වැළපෙද්දී වෙයින්බර්ග් තවත් ඇමතුමක් ගත්තේය. ඒ යළිත් සිඩ්නි ග්ලාසර් අමතා මීට මැදිහත් වන ලෙස ඉල්ලීමටය. නමුත් එය සාර්ථක වුයේ නැත. සිඩ්නි ග්ලාසර් ඇමතුමට ප්‍රතිචාර දැක්වුවේ නැත. යමෙකු බර අඩි තබමින් පියගැට පෙළ නැඟගෙන එන හඬ දෙදෙනාටම ඇසෙන්නට වුයේ ඒ මොහොතේදීය. ඒ නම් හයිමි ඝාතනය කරන්නට එන මැරවරයා බවට කිසිදු සැකයක් නැත. කාමරයෙන් පිටවන්නට වෙනත් දොරටුවක් තිබුණේද නැත. වෙයින්බර්ග්ද හයිමි සමඟ කොටු වී අවසන්ය.

රොබට් ඩබ්. ග්‍රීන් විසින් රචනා කළ මෙල්වින් වෙයින්බර්ග්ගේ චරිතාපදානය ‘ස්ටිං මෑන්‘ කෘතියේ

සඳුදා - දොස්තර කෙනෙකුටත් ඉන්ජෙක්ෂන් එකක්


නව අදහස දක්වන්න

Or log in with...