අපේකමට රිසි දකුණු ලකේ අය | දිනමිණ

අපේකමට රිසි දකුණු ලකේ අය

කුඹුරු අස්වැද්දීමේදී වස විසෙන් තොරව වගා කිරීමද තවත් විශේෂත්වයකි. දිලීර සහ වල්පැළ මර්දනය සඳහා ගොවීන්ට විශේෂිත වු දියර වර්ග නිෂ්පාදනය කිරීමට අවශ්‍ය උපදෙස් හා තාක්ෂණික දැනුම දකුණු පළාත් සංවර්ධන අධිකාරිය මඟින්ම ලබාදෙනු ලැබේ. කුඹුරුවලට කාබනික පොහොර යෙදීම නිසාවෙන් මෙම වී වර්ග වල අස්වැන්න ඉහළ මට්ටමක පවතී. එසේම හම්බන්තොට දිස්ත්‍රික්කයේ පුරන් කුඹුරු අස්වැද්දීමේදී අවශ්‍ය ජලය ලබා ගැනීමට බූන්දල හා රොටවැව ප්‍රදේශයේ අමුණු දෙකක් ප්‍රතිසංස­්කරණය කිරීමද දකුණු පළාත් සංවර්ධන අධිකාරිය මඟින් සිදු කර ඇත.

පාරම්පරික සහල් වර්ග ප්‍රචලිත කිරීමේ අරමුණින් දකුණු පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යංශයට අයත් දකුණු පළාත් සංවර්ධන අධිකාරිය මගින් පුරන් කුඹුරු අක්කර හත්සිය පනහක් තෝරා ගෙන ඒ මඟින් ප්‍රතිලාභී පවුල් හයසීයක් (600) පමණ පෝෂණ හා ආර්ථික මට්ටමට ගෙන යාමට හැකි වී ඇත.

රටේ කෘෂිකර්මාන්තයේ දියුණුව පිළිබඳව කතා කළද මීට දශක දෙකකට පෙර රටට කෘෂිකර්මාන්තයෙන් ලද දායකත්වය සියයට 29 වුවත් අද වන විට එය සියයට 7.7 දක්වා අඩු ප්‍රතිශතයක් බවද කිව යුතුය.

එම නිසා මේ පිළිබඳව තමාගේ දැඩි අවධානය යොමු කළ දකුණු පළාතේ ප්‍රධාන ඇමති ෂාන් විජයලාල් ද සිල්වා මහතා රටට සැමදා ස්ථිර වැසි ලැබීමක් නොමැති නිසා එක් කාලයට දැඩි නියඟ තත්වයන් තව කාලයක දැඩි ගංවතුර වැනි ස්වාභාවික ව්‍යසනයන්ට අප රටේ ගොවි ජනතාව මුහුණ දීමට සිදු වන නිසා එම ගැටලුවට ස්ථිර විසඳුම් නම් වැව් අමුණු සකස් කර කලට වේලාවට ගොවීන්ට ජලය ලබා දීමත් අවශ්‍ය තාක්ෂණික උපදෙස් හා බිත්තර වී වර්ග සහන මිලට ලබා දීමත් බව තේරුම් ගත්තේය.

දකුණු පළාත් සංවර්ධන අධිකාරිය මඟින් මේ වන විට මෙම ව්‍යාපෘතිය “කෙතක මහිම“ ලෙස නම් කර පසු ගිය කාලය තුළ රුපියල් ලක්ෂ තුන්සියයක් (300) පමණ වියදම් කර වැව් අමුණු සකස් කර පුරන් කඹුරු අස්වැද්දීමට ගොවීන් නැඹුරු කිරීමට කටයුතු කර ඇත. ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ තල්ගස්වල ප්‍රදේශයේත්, මාතර දිස්ත්‍රික්කයේ තිහගොඩ අත්තුඩුවාව ප්‍රදේශයේත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේ බූන්දල, රොටවැව ප්‍රදේශයේත් ඉතා සාර්ථක ලෙස පාරම්පරික සහල් වර්ග වන මා වී, සුවඳැල්, පච්චපෙරුවාල්, හීනැටි, ආදී දුර්ලබ ගණයේ සහල් වර්ග වගා කරඇත.

මෙමකුඹුරු අස්වැද්දීමේදී වස විසෙන් තොරව වගා කිරීමද තවත් විශේෂත්වයකි. දිලීර සහ වල්පැළ මර්දනය සඳහා ගොවීන්ට විශේෂිත වු දියර වර්ග නිෂ්පාදනය කිරීමට අවශ්‍ය උපදෙස් හා තාක්ෂණික දැනුම දකුණු පළාත් සංවර්ධන අධිකාරිය මඟින්ම ලබාදෙනු ලැබේ. කුඹුරුවලට කාබනික පොහොර යෙදීම නිසාවෙන් මෙම වී වර්ග වල අස්වැන්න ඉහළ මට්ටමක පවතී.

එසේම හම්බන්තොට දිස්ත්‍රික්කයේ පුරන් කුඹුරු අස්වැද්දීමේදී අවශ්‍ය ජලය ලබා ගැනීමට බූන්දල හා රොටවැව ප්‍රදේශයේ අමුණු දෙකක් ප්‍රතිසංස­්කරණය කිරීමද දකුණු පළාත් සංවර්ධන අධිකාරිය මඟින් සිදු කර ඇත. කාලයක් මුළුල්ලේ ප්‍රයෝජනයක් නොගැනීම නිසාවෙන් රොන්මඩ පිරීමෙන් හා ලී දඬු එක් රැස් වී තිබීමෙන් කුඹුරු යාය පුරන් තත්වයේ පැවති නමුත් නව තාක්ෂණික උපදෙස් මත අමුණු ප්‍රතිසංස්කරණය කිරීම හේතුවෙන් මුළු ප්‍රදේශයම මේ වන විට අස්වැද්දීමට හැකි වී ඇත.

එම ප්‍රදේශයේ පමණක් වගා කිරීම සඳහා ගිය කන්නයේ පාරම්පරික බිත්තර වී කිලෝ 4460 ක් පමණ සහන පදනම මත ලබා දී ඇත. 2018 වර්ෂය සඳහා තව මාසයක් තුළ බිත්තර වී ලබා දීමද සිදු වේ.

මේ පිළිබඳව අදහස් දැක් වූ දකුණු පළාත් පුධාන ඇමති ෂාන් විජය ලාල්ද සිල්වා මහතා,

දකුණු පළාත් සංවර්ධන අධිකාරිය මඟින් සිදු කරන ව්‍යාපෘති අතර “ කෙතක මහිම “ වැඩසටහන තුළින් මේ වන විට දකුණු පළාත තුළ පාරම්පරික සහල් භාවිතය ඉතා ඉහල මට්ටමක පවත්වා ගැනීමට හැකි වුණා. මෙහි ප්‍රධාන අරමුණ වස විසෙන් තොර කාබනික පොහොර යොදලා ජනතාවට අවශ්‍ය ආහාර ලබා ගැනීමට අවස්ථාව සැලසීම. ඒ වගේම මාතර දිස්ත්‍රික්කයේ තිහගොඩ ප්‍රදේශයේ වගා කරන්නේ ඒ පාරම්පරික සහල් ප්‍රභේදයක් වන “මා වී“. ඒ ප්‍රදේශයට “මාවී කළාපය“ කියල තමයි කියන්නේ. මේ වන විට ගොවීන්ට අමතක වුණු පාරම්පරික සහල් වර්ග දකුණු පලාත තුළ ප්‍රචලිත කිරීමට ගත් උත්සාහය සාර්ථක වෙලා තියෙනවා. යයි පැවසීය.

වස විසෙන් තොර පාරම්පරික සහල් වර්ග ගොවීන් අතර ප්‍රචලිත කර පුරන් කුඹුරු අස්වද්දමින් දකුණේ ජනතාව නිරෝගිමත් ජනතාවක් කිරීමට දකුණු පළාත් සංවර්ධන අධිකාරිය ගන්නා වූ වෑයම පිලිබඳව සියළු ජනතාවගේ ප්‍රණාමය හිමි විය යුතු වන්නේය.

දකුණු පළාත් සංවර්ධන අධිකාරියේ සහකාර අධ්‍යක්ෂ (ක්‍රම සම්පාදන) චන්ද්‍රිකා මලේපතිරණ මහත්මිය

දකුණු පළාත් සංවර්ධන අධිකාරිය මගින් දකුණු පළාත තුළ ජීවත් වන ජනතාව වෙනුවෙන් ව්‍යාපෘති රාශියක් ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒ අතර “ කෙතක මහිම“ ව්‍යාපෘතිය සාර්ථක මට්ටමකට ගෙන ඒමට හැකි වුණා. පළාත තුළ දිස්ත්‍රික්ක තුනේම ගොවි ජනතාව මේ සඳහා යොමු වෙලා ‍ඉන්නවා. පුරන් කුඹුරු අස්වැද්දීමට අවශ්‍ය තාක්ෂණික දැනුම යටිතල පහසුකම් ලබා දෙනවා මෙන්ම පාරම්පරික වී වගා කිරීමෙන් ඔවුන්ට ජීවන තත්වය නගා සිටුවීමටද හැකි වෙනවා. වර්තමානයේ පැරණි සහල්වලට විශාල ඉල්ලුමක් තියෙනවා. මේ වන විට සහල් කිලෝ එකක් රැපියල් 250 ආසන්න මිලකට විකිණීමටත් පුළුවන්. ඉල්ලුමට සරිලන සේ සැපයුම අසීරුයි. ඒ තරමටම පාරිභෝගික ජනතාව කාබනික පොහොර යොදල සකස් කරන මෙම සහල් පරිභෝජනයට විශාල නැඹුරුවක් තිබෙනවා.

ව්‍යාපෘතිය භාරව කටයුතු කරන දකුණු පළාත් සංවර්ධන අධිකාරියේ කළමනාකාර සහකාර ජී. එච්. ඒ. චින්තක මහතා,

වස විසෙන් තොර පාරම්පරික සහල් නිෂ්පාදනය කිරීම තමයි මෙම ව්‍යාපෘතියේ අරමුණ. ඒ තුළින් ජනතාවට සහන මිලට මෙම සහල් දීමත් තවත් අරමුණක්. මේ වන විට මෙම ව්‍යාපෘතිය අති සාර්ථක වෙලා තියෙනවා. අද වන විට සැම පුද්ගලයකුම වගේ එක් එක් ලෙඩවලින් පෙළෙනවා. කොලෙස්ටරෝල්, දියවැඩියාව, ආතරයිටීස් ආදි බෝ නොවන රෝග වැලඳීම අවම කිරීමත් වැලඳී ඇති රෝගීන්ගේ අසනීප තත්වය මර්දනය කිරීමටත් මෙම වස විස නැති කාබනික පොහොර යොදා නිෂ්පාදනය කරන සහල්වලට හැකියාව තියෙනවා. සහන මිලට බිත්තර වී දෙනවා වගේම මෙම කුඹුරුවල අස්වැන්න විකිණීම තෙක් පසු විපරම් කිරීමද අප අධිකාරියෙන් සිදු කරනවා යැයි පැවසීය.

දකුණු පළාත් සංවර්ධන අධිකාරියේ සභාපති කුමාර කරවිට මහතා,

දකුණු පළාත් ප්‍රධාන ඇමති ෂාන් විජයලාල් මහතාගේ උදාර සංකල්පයක් මත මෙම කෙතක මහිම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ මේ මඟින් පාරම්පරික වී ප්‍රදේශයේ ප්‍රචලිත විට සිදුවන්නේ කාබනික පොහොර සමග මෙම වී පළාතේ පුරන් කුඹුරු වගේම ගොවිබිම් සඳහා භාවිතා කිරීමට නොහැකි ප්‍රදේශවලින් වගා කිරීමේ හැකියාව තියෙනවා. උදාහරණයක් ලෙස මාතර නිල්වලා ගඟ ප්‍රදේශයේ කාලයක් ගංවතුර රඳා පැවතීම සිදු වෙනවා ඒ ප්‍රදේශයේ "මා" වී වගා කරනවා. එම වී ප්‍රදේශයේ ගංවතුර නිසා දින ගණනාවක් ජලයට යට වී තිබුණත් ඔරොත්තු දීමේ හැකියාව තියෙනවා. ඒ වගේම හම්බන්තොට ඉතා දුෂ්කර ප්‍රදේශවල සුවදැල් වී වගා කරනවා. එම වී වර්ගය වියළි කාලගුණයට ඔරොත්තු දෙනවා. ඒ වගේම ගාල්ල දිස්ත්‍රික්කයේ කරදිය මිශ්‍ර වන ප්‍රදේශවල "මඩතවාලු" වී ප්‍රභේදය වගා කරනවා. ඒ වගේම මෙම සහල් භාවිතයෙන් නොමැති නිසා වර්තමාන කුඩා දරුවාන් පවා අද වන විට බෝ නොවන රෝගවලට ගොදුරු වෙලා.

මේ පිළබඳව අදහස් දැක්වූ දේශීය බීජ හා කෘෂි සම්පත සුරකීමේ හම්බන්තොට දිස්ත්‍රික් සංවිධානයේ ලේකම් චන්ද්‍රසෝම වීරරත්න මහතා.

දකුණු පළාත් සංවර්ධන අධිකාරියෙන් කරන්නේ ඉතා වැදගත් මෙහෙවරක් පාරම්පරිකව අපෙන් ගිලිහී ගිය වී ප්‍රභේද හදුනාගෙන ඒවා ගොවීන් අතර ප්‍රචලිත කිරීමට උත්සාහ කිරීම. අපි ඉතා කැමැත්තෙන් මේ කුඹුරු කරන්නේ. ඒ වගේම අපේ ප්‍රදේශයේ ගොවීන් වුණත් මෙයින් විශාල ආදායම් ලබා ගැනීමට හැකි වෙලා තියෙනවා.

පාරම්පරික සහල් වගා කරන හම්බන්තොට රොටවැව ප්‍රදේශයේ ගොවියකු වන ආරියදාස බානලගේ මහත්මා, මෙම වී පාරම්පරික වී වගා කිරීම අපි මෙම ව්‍යාපෘතිය පටන් ගත්තු කාලේ සිට කරනවා. අපිට දකුණු පළාත් සංවර්ධන අධිකාරියෙන් සහන මිලට බිත්තර වී ලබා දෙනවා වගේම, අවශ්‍ය උපදෙස් ලබා දෙනවා.ඒක අපට ලොකු ශක්තියක් මේ පිළිබඳව අපව උනන්දු කරලා ගොවිතැන් කටයුතු කරන පළාත් සංවර්ධන අධිකාරියේ ගරු සභාපතිතුමා ක්‍රියාත්මක කරන්න උපදෙස් දීලා, යටිතල පහසුකම් පිළිබඳව සොයා බලා කටයුතු කරන දකුණු පලාත් ප්‍රධාන ඇමතිතුමන් අපි ස්තූතිවන්ත වෙනවා යැයි පැවසීය.

(විශේෂ ස්තූතිය - දකුණු පළාත් සංවර්ධන අධිකාරියේ සභාපති කුමාර කරවිට, සාමාන්‍යාධිකාරී ටී. ආර්. ටී. මල්ලවාරච්චි, සහකාර අධ්‍යක්ෂ (ක්‍රමසම්පාදන) චන්ද්‍රිකා මලේපතිරණ හා මෙම ව්‍යාපෘතිය භාරව කටයුතු කරන කළමණාකාර සහකාර ජී. එච්. ඒ. චින්තක මහත්ම මහත්මීන්ට)

දකුණු පළාත් විශේෂ
ප්‍රභාත් විතානාච්චි

නව අදහස දක්වන්න