ව්‍යවස්ථාව නවන එජාපය | දිනමිණ

ව්‍යවස්ථාව නවන එජාපය

78 ව්‍යවස්ථාව යටතේ අග්‍රාමාත්‍යවරයාට නොතිබූ සුරක්ෂිතභාවයක්, බලයක් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් බිහි වුණේ කොහොමද ? එදා ජේ.ආර්. ජයවර්ධන අගමැතිවරයාට නොදුන් බලයක්, සුරක්ෂිතභාවයක් වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට හිමි වන්නේ කොහොමද ? එය ප්‍රශ්නයක්. මොකද 19 සම්මත වන්නේ සම්පූර්ණයෙන්ම ජනවාරි 08 ජනවරමින්. එය සම්මත වන විට පැවැති ආණ්ඩුවේ අගමැති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත් වුණේ අති සුළුතරයක් සහිතවයි.

එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගැනීමත් සමඟ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ සංවාදය අලූත් මුහුණුවරක් ගෙන තිබෙනවා. මීට වසර හතරකට පමණ පෙර පූජ්‍ය මාදුළුවාවේ සෝහිත හිමියන් සහ මෛත්‍රීපාල සිරිසේන මහතා අත තිබූ ප්‍රජාතන්ත්‍රවාදයේ කොඩියට අද හිමිකම් කියන්නේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ කණ්ඩායමයි.

අද එක්සත් ජාතික පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදයේ පමණක් නොව පාර්ලිමේන්තු ක්‍රමයේ ද මුරදේවතාවුන් ලෙස පෙනී සිටීමට ගන්නා වූ උත්සාහය දෙස හාස්‍යයෙන් යුතුව බලන විශාල පිරිසක් ද සිටිනවා. ඒ ප්‍රජාතන්ත්‍රවාදය සහ බහුතර පාලනය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ අතීත පැටිකිරිය මනාව දන්නා කියන පිරිසයි. අද ඔවුන් ප්‍රශ්න කරන්නේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට මුවා වී එජාපය විසින් ලබා ගත් බලය හා රැකවරණය මහජනතාව ඉදිරියේ ප්‍රශ්න කිරීමට ලක් නොකොට සෝද සෝදා මඬේ ඔබන ආකාරයෙන් පාර්ලිමේන්තුව තුළ උරගා බැලීමට යාමේ පදනම කුමක්ද යන්නයි.

ජනවාරි 08 ජනබලය හා අගමැති

හිටපු අගමැතිවරයා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය තම ආරක්ෂාව වෙනුවෙන් අද යොදාගෙන තිබෙන්නේ 2015 ජනවාරි 08 ජයග්‍රහණයේ ප්‍රකාශනයක් වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයයි. එහි 46 (2) (අ) (ආ) වගන්තියයි. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් අපේක්ෂිත ප්‍රමුඛ කර්තව්‍ය වූයේ, ජනාධිපති ධූරයේ අත්තනෝමතික බලතල සීමා කිරීම මිස එම ජන වරමට කිසිඳු සම්බන්ධයක් හෝ වගවීමක් නැති අග්‍රාමාත්‍ය ධූරය සුරක්ෂිත කිරීම හෝ අග්‍රාමාත්‍යවරයා සතු බලතල ශක්තිමත් කිරීම නොවන බව 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත වූ විට බහුතරයක් නීතිවේදීන්ගේ හා උනන්දුවක් දක්වන පාර්ශ්වවල අදහස වුණා. එහි දී ඔවුන් පැහැදිලිව පෙන්වා දුන්නේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා ජනාධිපතිවරයාගේ තටු කපන ගමන් එකී ජනවරමට කිසිදු සම්බන්ධයක් හෝ වගවීමක් නැති අග්‍රාමාත්‍යවරයාගේ බලතල ශක්තිමත් කිරීම හා ධූරය සුරක්ෂිත කිරීම සිදු නොවිය යුතු බවයි. විශේෂයෙන් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් ව්‍යවස්ථාවට එක් කළ 46 (2) අ-ආ වගන්ති අග්‍රාමාත්‍යවරයාට අනවශ්‍ය සුරක්ෂිතභාවයක් ලබා දෙන පියවරක් ලෙස එදා ඔවුන්ගේ දැඩි විවේචනයට ලක් වුණා.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීමත් සමඟ නිර්මාණය වූ දේශපාලන ප්‍රවණතා නිසා ජනවාරි 08 ජන බලය පික්පොකැට් ගැසූ, 46 (2) වගන්තිය පිළිබඳ අවධානය ගිලිහී ගියා. එය අවසානයට රූපාන්තරය වුණේ ශ්‍රී ලංකා ජනරජයේ විධායක බලය හිමි එකම මූලය විධායක ජනාධිපතිවරයා නොව ඒ සඳහා සම හවුල්කාරීත්වයක් අග්‍රාමාත්‍යවරයාට ද ඇති ආකාරයක් ප්‍රකාශ කරමිනුයි. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ද පික්පොකැට් ගැසූ මේ බලය ඉතාම සවිඥානිකව භාවිත කළ ආකාරයක් දැකිය හැකියි. දේශපාලන විචාරකයින්ගේ අදහස වන්නේ 2015 ජනවාරි 09 සිට පසුගිය ඔක්තෝබර් මස 26 වැනිදා දක්වා පැවතියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආණ්ඩුවක් නොව මෛත්‍රී - රනිල් හවුල් ආණ්ඩුවක් බවයි. විධායක බලය ජනපති - අගමැති හවුලේ භුක්ති විඳින අනීතික තත්ත්වයක් බවයි. වත්මන් දේශපාලන අර්බුදය නිර්මාණය වීමට අගමැතිවරයා විසින් අනීතිකව නිර්මාණය කළ මේ තත්ත්වය ප්‍රධාන හේතුවක් වූ බවත් ඔවුන්ගේ අදහසයි.

ජනමතයට පටහැනි ඔළු බලය

අද රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එජාපය එල්ලී සිටින්නේ ජනවාරි 08 ජනබලය විසින් බිහි කළ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ 46 (2) වගන්තියේ බව පැහැදිලියි. ඒත් ප්‍රශ්නය වන්නේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් අග්‍රාමාත්‍යධූරය සුරක්ෂිත කරන්නේත්, එය ජනාධිපතිවරයාට වග නොකියන, පත් කළ විට ඉවත් කළ නොහැකි පදවියක් බවට බලාධිපත්‍යයක් හිමිකර ගත්තේත් කෙසේද ? යන්නයි. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනාධිපති - අගමැති සම විධායකයක් බිහි කිරීම අපේක්ෂා කළේ නැහැ. එයින් බලාපොරොත්තු වුණේ විධායක ජනාධිපති ධූරයේ අත්තනෝමතික යැයි කියන ඇතැම් බලතල ඉවත් කර එම බලය පාර්ලිමේන්තුවට පැවරීමයි. එහෙත්19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් ඉතාම සූක්ෂම හා කූඨ ආකාරයෙන් ජනාධිපතිවරයා සිරකරමින් අග්‍රාමාත්‍යවරයා බලය අත්පත් කර ගැනීමක් සිදු වෙලා තිබෙනවා. 1978 ව්‍යවස්ථාවේ 47 වැනි වගන්තිය යටතේ අග්‍රාමාත්‍යවරයා, අමාත්‍ය මණ්ඩලය වෙනස් කිරීමට, ඉවත් කිරීමට ජනාධිපතිවරයාට තිබූ විධායක බලය 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් ඉවත් කළේ සැලසුම් සහගත කුමන්ත්‍රණයක් විදිහට බව පැහැදිලියි.

එජාපය විසින් නිර්මාණය කළ 78 ව්‍යවස්ථාව යටතේ අග්‍රාමාත්‍යවරයාට නොතිබූ සුරක්ෂිතභාවයක්, බලයක් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් බිහි වුණේ කොහොමද ? එදා ජේ.ආර්. ජයවර්ධන අගමැතිවරයාට නොදුන් බලයක්, සුරක්ෂිතභාවයක් වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට හිමි වන්නේ කොහොමද ? එය ප්‍රශ්නයක්. මොකද 19 සම්මත වන්නේ සම්පූර්ණයෙන්ම ජනවාරි 08 ජනවරමින්. එය සම්මත වන විට පැවැති ආණ්ඩුවේ අගමැති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත් වුණේ අති සුළුතරයක් සහිතවයි. ආණ්ඩුවක් පිහිටුවීමට පාර්ලිමේන්තු බලයක්වත් එදා, රනිල් වික්‍රමසිංහ මහතාට තිබුණේ නැහැ. එදා එජාපය ආවරණය ලැබුවේ විධායක ජනාධිපතිවරයාගෙන් මිස ව්‍යවස්ථාවෙන් නොවෙයි. එනම් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පෙර පැවැති ව්‍යවස්ථාවේ 43(3) වගන්තියෙන්. 2015 අගෝස්තු 17 මහ මැතිවරණයෙන් එජාපයට හිමි වූ ජන බලයෙන් අග්‍රාමාත්‍ය ධූරය සුරක්ෂිත කරන, ශක්තිමත් කරන ව්‍යවස්ථා සංශෝධනයකට ගියා නම් ඒකට සුජාතභාවයක් හිමිවිය හැකියි. ඒත් ඒක සිදු වුණේ නැහැ. ජවිපෙ වාගේ එජාපයට සදාකාලික පසමිතුරු බලවේගවල ද සහයෙන් දිනාගත් ජනවාරි 08 ජනවරමින් එජාපය හෝ එජාප නායකයා සුරක්ෂිත වීම කිසිසේත් පිළිගත හැකි දෙයක් නොවෙයි. මේ නිසා කඩිනමින් කළ යුතු දේ වන්නේ සැබෑ ජනමතය ප්‍රකාශයට පත් නොවන ව්‍යාජ බලයක් ආරෝපණය කරගෙන අභ්‍යාස කරමින් සිටින වත්මන් පාර්ලිමේන්තුවෙන් නොව නව පාර්ලිමේන්තුවක් තුළින් ජනමතය විමසීමට පියවර ගැනීමයි. ඉතාම පැහැදිලිව වත්මන් පාර්ලිමේන්තු සංයුතිය රටේ, විශේෂයෙන් දකුණේ ජනමතයට සපුරා පටහැනි බව කිව හැකියි. එය පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් වගේම පසුගිය කාලය තුළ රට පුරා නිර්මාණය වූ වැඩවර්ජන ආදිය මගින් ද පැහැදිලිව ප්‍රකාශයට පත්ව තිබෙනවා. ජනතාව අතර සුජාතභාවයක් නැති බලයක් ක්‍රියාත්මක වීම හා අභ්‍යාස කිරීම අර්බුදකාරී දෙයක්. එයට වහාම අවසන් විය යුතුව තිබෙනවා. රටේ සැබෑ ජනමතයට පැටහැනිව පාර්ලිමේන්තුවේ ඔළුගෙඩිවලින් ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කිරීමට යාමම අනාගතයේ මීටත් වඩා බරපතළ ජනතා විරෝධයක් නිර්මාණය වීමට හේතුවක් විය හැකියි.

එජාපයේ ප්‍රජාතන්ත්‍රවාදය හා අතීත පැටිකිරිය

එක්සත් ජාතික පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදයේ මුරදේවතාවාගේ භූමිකාවට පිවිසීම ගැන ද ජනතාව අතර ඇත්තේ හාස්‍යජනක හැඟීමක්. ඊට හේතුව 1947 දී මුල්ම එජාප ආණ්ඩුව බිහිවීමේ සිට මේ දක්වා සැබෑ භාවිතය තුළ එජාපයට ප්‍රජාතන්ත්‍රවාදය යනු හුදු බලය අල්ලා ගැනීමට එලන පාවඩයකින් එහා දෙයක් නොවන නිසයි. එජාපයේ අතීත පැටිකිරිය කියන්නේ බලය අල්ලා ගැනීම සඳහා හැකි සෑම අවස්ථාවකදීම කුමන්ත්‍රණය කිරීම සහ නීතිය නැමීම එහි ජන්ම භාවිතය බවයි.

1947 ලංකාවේ ප්‍රථම මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට පාර්ලිමේන්තුවේ බහුතර බලය දිනාගත නොහැකි වුණා ඔවුන් දිනා ගත්තේ ආසන 95න් 42ක් පමණයි .ඒ සාපයට වගකීමට සිදු වුණේ වතුකරයේ ජීවත් වූ ඉන්දීය සම්භවයක් සහිත දමිළ ජනතාවටයි. ඒ වතු ජනතාවගේ සහාය ඒ වන විට වාමාංශික පක්ෂවලට සහ ලංකා ඉන්දියානු සංගමයට හිමිව තිබූ නිසයි.එය අනාගතයේ දී එජාපයට බලවත් හිසරදයක් විය හැකි යැයි කල්පනා කළ අගමැති ඩී.එස්. සේනානායක ප්‍රමුඛ එජාප නායකයන් ඉන්දීය සම්භවයක් සහිත ජනතාවගේ බලය සදාකාලිකව අවසන් කිරීමට එදා තීන්දු ගත්තේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන පමණක් නොව මානව හිමිකම් ගැන පවා අල්ප හෝ හැඟීමකින් තොරවයි. ඒ අනුව ලංකා ඉතිහාසයේ අපකීර්තිමත්ම පනත් වශයෙන් සැලකෙන ‘‘පුරවැසි පනත’’ සම්මත කිරීමට 1948 /11/15 වැනිදා එජාප ආණ්ඩුව පියවර ගත්තා. ඒ සමඟ මෙරට පුරවැසිභාවය ඔප්පු කළ නොහැකි ඉන්දීය සම්භවයක් සහිත ජනතාවගේ ඡන්ද බලය අහෝසි වුණා. කෙටි කාලීන වාසිය 1952 මහ මැතිවරණයේ දී එජාපය විසින් අත්පත් කර ගත්තා. එහෙත් මේ දක්වා මේ පනත මගින් වතුකරයේ දමිළ ජනතාවට සහ වතු ආර්ථිකයට මුහුණ දීමට සිදුව ඇති හානිය හා පීඩාව ගණනය කළ නොහැකියි.

1964 දේශපාලන කුමන්ත්‍රණය

අද තම ආණ්ඩුව බලයෙන් පහකොට මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය පදවියට පත් කිරීම ගැන චෝදනා කරන එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට තම පියා වන එඞ්මන් වික්‍රමසිංහ ඇතුළු එජාප නායකයින් 1964 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවේ රාජාසන කථා විවාදයේ දී ආණ්ඩුව පරාජයට පත් කිරීමට කළ කුප්‍රකට කුමන්ත්‍රණය අමතකව තිබිය නොහැකියි. 1960 ජූලි මැතිවරණයෙන් ආසන 75ක් දිනා ගෙන බලයට පත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුව 1964 දී කුමන්ත්‍රණකාරී ලෙස බලයෙන් පහ කිරීමට එජාපය පියවර ගන්නේ ආසන 30ක බලයක් සහිතවයි. පුවත්පත් කොමිෂමට එරෙහිව පෙළගැසී සිටි ධනපති පුවත්පත් හිමියන්ගේ සහාය ඇතිව මෙම මෙහෙයුමේ මහමොළකරු රනිල් වික්‍රමසිංහ මහතාගේ පියා වූ එස්මන්ඩ් වික්‍රමසිංහ මහතා බව කියනවා. 1964 රාජාසන කතාවේ දී ආණ්ඩුව පරාජයට පත් කිරීම සඳහා ආණ්ඩුවේ මන්ත්‍රීවරු 14 දෙනකුගේ සහාය ලබා ගැනීමට එදා එජාපය හැකියාව ලැබුණා. මේ මන්ත්‍රීවරු අතර මංගල සමරවීර මහතාගේ පියා වූ මහානාම සමරවීර මහතාද සිටියා. මේ මන්ත්‍රීවරු බිලි බා ගැනීම සඳහා එකල එක් අයෙකුට රුපියල් 50, 000ක් ලබා දීමට පියවර ගෙන තිබුණා. කෙසේ හෝ තම ධනපති පුවත්පත් හිමිකරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා රාජාසන කතාව පරාජයට පත් කිරීමට එදා එජාපයට හැකියාව ලැබුණා. ඒ සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවට ඉල්ලා අස්වීමටත් සිදු වුණා. 1964 සිදු වූ මේ පාර්ලිමේන්තු කුමන්ත්‍රණය ප්‍රජාතන්ත්‍රවාදයට හා පාර්ලිමේන්තු ක්‍රමයට එල්ල වූ දැවැන්ත ප්‍රහාරයක් වශයෙන් එදා ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ දැඩි විවේචනයට ලක් වුණා. එහෙත් එදා එජාපය මේ පාර්ලිමේන්තු කුමන්ත්‍රණය සැලකුවේ මහත් වික්‍රමයක් හා පුවත්පත් නිදහස රැක ගැනීමට ගත් ප්‍රමුඛ පියවරක් වශයෙනුයි. එදා අති බහුතර ආණ්ඩුවක් ගෙදර යැවූ මේ පාර්ලිමේන්තු කුමන්ත්‍රණය පිටුපස සිටි මහ මොළකරුගේ පුතා වන රනිල් වික්‍රමසිංහ මහතාට සහ අගමැතිනිය පවා දෙමින් විපක්ෂයේ අසුන් ගත් මහානාම සමරවීර මහතාගේ පුත් මංගල සමරවීර මහතාට ප්‍රජාතන්ත්‍රවාදය සහ බහුතර බලය ගැන අලූත් පාඩම් කියා දීමට සිදුව තිබීම ඉතිහාසය දන්නා පුද්ගලයින්ගේ හාස්‍යයට හේතුවක්.

ව්‍යවස්ථාව නවමින් කළ සෙල්ලම්

1977 මහ මැතිවරණයෙන් 5/6ක අනපේක්ෂිත ජයග්‍රහණයක් ලබා ගත් එක්සත් ජාතික පක්ෂය එම පාර්ලිමේන්තු බලය මගින් අත්තනෝමතික බලතල සහිත විධායක ජනාධිපති ක්‍රමයක් නිර්මාණය කර ගැනීම ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ දැඩි විවේචනයට ලක්ව තිබෙන බව අමතක නොකළ යුතුයි. ඒ සමඟ මෙම අත්තනෝමතික බලය සඳහා අනුබල ලබා දුන් 5/6ක ජනවරම ස්ථාවර කර ගැනීම සහ පවත්වා ගැනීම සඳහා වත්මන් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ද සිටි එජාප ආණ්ඩුව ගත් ප්‍රජාතන්ත්‍ර විරෝධී ව්‍යවස්ථා සංශෝධන ගැන ද ජනතාවගේ මතකය අවදි කළ යුතුයි.

5/6ක බලයෙන් වල්මත් වී ප්‍රජාතන්ත්‍රවාදය වළපල්ලට යැවූ මුල්ම ව්‍යවස්ථා සංශෝධනය වන්නේ 1979/02/26 වැනිදා සම්මත කළ 2 වැනි ව්‍යවස්ථා සංශෝධනයයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 161 (ඈ) ඡේදයේ (2) ව්‍යවස්ථාව පරිච්චින්න කොටගෙන ආ මෙම ව්‍යවස්ථා සංශෝධනය පටු දේශපාලන අරමුණු ඉටුකර ගැනීමට ගත් ප්‍රජාතන්ත්‍ර විරෝධී පියවරක් ලෙස එදා දැඩි විවේචනයට ලක් වුණා. ඊට හේතුව මන්ත්‍රීවරුන්ට පක්ෂ මාරු කිරීමට ව්‍යවස්ථාව මගින් ලබා දී තිබූ සීමා මේ සංශෝධනය මගින් අහිමි කිරීමයි. එය 5/6ක බලයක් දිනා සිටි එජාපය වාසිදායක විපක්ෂයට දැඩි හානිකර ප්‍රජාතන්ත්‍ර විරෝධී ව්‍යවස්ථා සංශෝධනයක් වශයෙන් එයසැලකුණා.

ප්‍රජාතන්ත්‍රවාදය වළපල්ලට යැවූ ජනමත විමසුම

1977 මහ මැතිවරණයෙන් අනපේක්ෂිතව ලැබූ 5/6ක දැවැන්ත බලය තවත් වසර 06කට පවත්වාගෙන යාම සඳහා නීති සම්පාදනය කිරීමට 1981/12/23 වැනිදා සම්මත කළ 4 වන ව්‍යවස්ථා සංශෝධනය ද ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කළ බලවත් පහරක් වශයෙන් සැලකෙනවා. නියමිත පරිදි පාර්ලිමේන්තු මැතිවරණය නොපවත්වා 1989 12 23 වැනිදා දක්වා පාර්ලිමේන්තුවේ කාලය තවත් වසර 06 කින් දීර්ඝ කිරීම සඳහා මේ ව්‍යවස්ථා සංශෝධනය අනුව ජනමත විචාරණයක් පැවැත්වීමට එජාප ආණ්ඩුව පියවර ගත්තා. ‘‘ලාම්පු - කළගෙඩි සෙල්ලම’’ ලෙස ජනතාව අතර උපහාසයට ලක් වූ මෙම ජනමත විචාරණය අතිශයින් ප්‍රචණ්ඩ දූෂිත එකක් බවට ද එකළ දැඩි විවේචන එල්ල වුණා. එහෙත් එයින් ජයග්‍රහණය කළ එජාපයට 1989 දක්වා 1977 ද ලැබූ 5/6 ක බලයක් සහිත පාර්ලිමේන්තු බලය පවත්වාගෙන යාමට හැකි වුණා. මෙම ජනමත විචාරණය ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයේ දැඩි විවේචනයට ලක් වූ කුප්‍රකට මැතිවරණයක් ලෙස සැලකෙනවා. එමගින් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට කිසිදා සමනය කළ නොහැකි දැවැන්ත හානියක් සිදු වූ බවට ප්‍රබල මතයක් තිබෙනවා. එදා ප්‍රජාතන්ත්‍ර විරෝධී ජනමත විචාරණයක් නොපවත්වා මහ මැතිවරණ තිබ්බේ නම් ලංකාවේ දේශපාලන ඉතිහාසය මීට වඩා වෙනස් විය හැකිව තිබූ බවට පොදු පිළිගැනීමක් පවතිනවා.

දෙමළ ජනතාවට විපක්ෂ නායකකමත් අහිමි කළ හැටි

ලංකාවේ ජනවාර්ගික අර්බුදයේ දිශානතිය සම්පූර්ණයෙන් වෙනස් කළ සිදුවීමක් වශයෙන් පමණක් නොව පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කළ මරු පහරක් වශයෙන් ද 1983/08/08 වැනිදා සම්මත කළ 06 වැනි ව්‍යවස්ථා සංශෝධනය සැලකෙනවා. 1977 මහ මැතිවරණයෙන් විපක්ෂ නායකත්වයට පත් වූ ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණට පාර්ලිමේන්තු මන්ත්‍රීධූර අහිමි කළේ මෙම සංශෝධනය මගිනුයි. මෙම ව්‍යවස්ථා සංශෝධනය අනුව දිව්රුම් දීමට අකමැති වූ දමිළ පක්ෂවලට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර අහිමි වීම සමඟ ඔවුන්ට තිබූ එකම ප්‍රජාතන්ත්‍රවාදී විකල්පය ද අහිමි වුණා. එය පාර කැපුවේ එල්.ටී.ටී.ඊ සංවිධානය වැනි ප්‍රචණ්ඩ ත්‍රස්ත කල්ලිවලටයි. 6 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් නිර්මාණය වූ තත්ත්වය මගින් රටට සිදු කළ හානිය මිල කළ නොහැකියි.

ඉහතින් සඳහන් කළේ එජාපය ව්‍යවස්ථාපිතව හා කුමන්ත්‍රණකාරීව බලය තහවුරු කර ගැනීමට ගත් ප්‍රජාතන්ත්‍ර විරෝධී පියවර කිහිපයක් පමණයි. ප්‍රජාතන්ත්‍රවාදය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තම පටු දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් නිර්ලෝභීව භාවිත කරන එජාපයෙන් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ දී මීට වඩා දෙයක් අපේක්ෂා කිරීම දේශපාලන විහිළුවක් බව පැහැදිලිව කිව හැකියි. එනිසා වත්මන් එජාප නායකත්වය 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට මුවා වී ක්‍රියාත්මක කරමින් සිටින දේශපාලන කුමන්ත්‍රණය ද එජාපයේ අතීත පැටිකිරිය අනුව යමින් පැහැදිලි කර ගැනීම ජනතාවගේ වගකීමක්.

ඉන්ද්‍රජිත් හේවාවිතාරණ


නව අදහස දක්වන්න

Or log in with...