දෙමළ සන්ධානය රනිල්ට සහාය නොදිය යුතුයි | දිනමිණ

දෙමළ සන්ධානය රනිල්ට සහාය නොදිය යුතුයි

දෙමළ සන්ධානය මේ මොහොතේ රනිල් වික්‍රමසිංහට සහාය පළකිරීමෙන් වැළකී සිටිය යුතු බව මඩකළපුව දිස්ත්‍රික් රැකියා විරහිත උපාධිධාරී සංගමය කියා සිටී.

උතුරු, නැ‍ඟෙනහිර රැකියා උපාධිධාරීන් ලෙස තමන් එදා රැකියා ලබාදෙන ලෙස හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කළද ඒ කිසිඳු ඉල්ලීමකට ඔහු ප්‍රතිචාර නොදැක්වූ බවත් ඉතා අවිහිංසාවාදීව තම සංගමය උද්ඝෝෂණ කීපයක් කළත් තමන් කළ අරගලය අගමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ තුට්ටුවකටවත් මායිම් නොකළ බවද එම සංගමය කියා සිටී.

අව් වැසි නොතකමින් දිවා රෑ නොබලමින් තම අවිහිංසාවාදී අරගලය මාස 2කට අධික කාලයක් උතුරු, නැ‍ඟෙනහිර ප්‍රදේශවල රැකියා විරහිත උපාධිධාරීන් ඉතා දුකසේ අරගලයක නිරත වුණේ රැකියාවක් ලබාගැනීමේ අරමුණින් මිස වෙනත් කිසිදු ප්‍රතිලාභ අපේක්ෂාවෙන් නොවන බවද ඔවුහු සඳහන් කරති. තම සංගමය ආරම්භ කළ ඒ අරගල සියල්ල රනිල් වික්‍රමසිංහ විසින් දියාරු කළ බවද එම සංගමය සඳහන් කරයි. එබැවින් දැන් කළ යුත්තේ තවත් රනිල් ගැන බලාපොරොත්තු නොතබා ඔහුව මේ රටේ දේශපාලන භූමියෙන්ද අතුගා දැමීම බවද ඔවුහු පෙන්වා දෙති.

හිටපු ජනාධිපති වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා බලයේ සිටි කාලයේ උපාධිධාරීන් 45,000 කට (හතළිස්පන්දහසකට) රජයේ රැකියා ලබාදුන් බවත් රාජ්‍ය සේවකයන්ට යතුරුපැදි ලබාදීමටද කටයුතු ඔහු එසේ කළේ සැබෑ රාජ්‍ය සේවකයාට සහන සැලසීමේ අරමුණින් බවද එම සංගමය පවසයි. තවද දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමටද රනිල් වික්‍රමසිංහ එදා කටයුතු නොකළ බවත් මෙවැනි තත්ත්වයක් සැලකීමේදී දෙමළ ජාතික සන්ධානය මේ මොහොතේ කළ යුත්තේ රනිල්ට සහාය නොදී මධ්‍යස්ථව කටයුතු කිරීම බවද රැකියා විරහිත උපාධිධාරී සංගමය වැඩිදුරටත් සඳහන් කරයි. මේ අතර ඊලන් තමිලර් සුයාචිකලහම් පක්ෂයේ නායිකා සහ උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීනී අනන්දි සෂිධරන් මහත්මිය සඳහන් කරන්නේ දැනට රටේ උද්ගතව ඇති තත්ත්වය තේරුම්ගෙන ද්‍රවිඩ ජාතික සන්ධානය රනිල්ට සහාය නොදී නිහඬව සිටිය යුතු බවය.

යම් හෙයකින් ඔවුන් රනිල්ට සහාය දෙනවා නම් දැඩි කොන්දේසි මත පමණක් සහාය දිය යුතු බව ඇය සඳහන් කරයි. 2015 රනිල්ට අගමැති වීමට තම පක්ෂයද සහාය දුන්නේ කිසිදු කොන්දේසියක් මත නොවන බවත් ඒ හේතුවෙන් තම හඬට ඔහු කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වූ බවත් සඳහන් කරන සෂිධරන් ඒ නිහඬතාවය මත ඔහු අගමැති ලෙස වසර 3 ½ ක් සිය ධුරයේ සිටි බව ද ඇය කියයි.

එබැවින් මේ මොහොතේ ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා දැඩි විමසිල්ලෙන් කටයුතු කිරීමට වගබලා ගත යුතු බවද ඇය වැඩිදුරටත් සඳහන් කරයි.

නව අදහස දක්වන්න