යුරෝපා රටවලට ශ්‍රී ලංකාව ගැන සෘණ ආකල්ප නෑ | දිනමිණ

යුරෝපා රටවලට ශ්‍රී ලංකාව ගැන සෘණ ආකල්ප නෑ

මහින්ද අලුත්ගෙදර
තානාපති බුද්ධි අතාවුද

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යුරෝපා රටවල කිසිදු ආකාරයක සෘණාත්මක ආකල්පයක් නොමැති බව ප්‍රංශය, පෘතුගාලය, ස්පාඤ්ඤය, මොනාකෝ යන රටවල ශ්‍රී ලංකා තානාපති බුද්ධි අතාවුද මහතා ප්‍රකාශ කරයි.

අපේ රට සම්බන්ධයෙන් ඒ ඒ රටවල මතය පිළිබඳ කරුණු දක්වන ශ්‍රී ලංකා තානාපතිවරයා මේ දිනවල ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කතාවන බවද කිසිදු ආකාරයකින් අපේ රට පිළිබඳ යුරෝපා රටවල වැරැදි අදහසක් නොමැති බවද සඳහන් කරයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නව අගමැතිවරයකු පත්කිරීම සම්බන්ධයෙන් පවතින වාතාවරණය මත අපේ රටට පැමිණෙන සංචාකයන්ගේ කිසිදු අඩුවක් නොමැති බව පෙන්වාදෙන ඒ මහතා ඉදිරියේ දී විවිධ අවස්ථාවන් සඳහා ශ්‍රී ලංකාවට වැඩි වැඩියෙන් සංචාරකයන් ගෙන්වා ගැනීම වෙනුවෙන් මේ වනවිට වැඩසටහන් ක්‍රියාත්මක වන බවද, ඒ පිළිබඳ යුරෝපීය ජාතිකයන්ගේ විශේෂ උනන්දුවක් තිබෙන බවද කියා සිටී.

ශ්‍රී ලංකාවට එරෙහිව ආර්ථික වශයෙන් හෝ වෙනත් ආකාරයක කටයුතු කිරීම හෝ යම් යම් දෑ තහනම් කිරීම සඳහා ප්‍රංශය මේ දක්වා කිසිදු තීරණයක් ගෙන නොමැති අතර, එවැනි ප්‍රචාරයන් ගෙනයාම සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව සඳහන් කරන බුද්ධි අතාවුද මහතා ප්‍රංශය සමඟ සුහඳව කටයුතු කරගෙන යන බවද ශ්‍රී ලංකාව සමඟ පවත්නා සබඳතා ශක්තිමත්ව ඉදිරියට ගෙනයාම වෙනුවෙන් ශ්‍රී ලංකාවට පැමිණ ප්‍රංශයේ නව තානාපතිවරයකු පසුගිය දා වැඩබාර ගත් බවද ප්‍රකාශ කරයි.

ප්‍රංශය, ස්පාඤ්ඤය, පෘතුගාලය ඇතුළු රටවල් සමඟ කෙරෙන වෙළෙඳ, ආයෝජන ගනුදෙනු තවදුරටත් ඉහළ නංවා ගැනීම අපේ ප්‍රධාන අරමුණ වී තිබෙන බව සඳහන් කරන ශ්‍රී ලංකා තානාපතිවරයා ඒ වෙනුවෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන තිබෙන බවද ශ්‍රී ලංකාවට ආර්ථික වශයෙන් බලපෑමක් එල්ල කිරීම සඳහා යුරෝපා රටවල කිසිඳු අදහසක් නොමැති බවද පෙන්වා දෙයි.

ජී.එස්.පී බදු සහනය ශ්‍රී ලංකාවට ලබාදීම යුරෝපා සංගමයේ තීරණයක් බව සඳහන් කරන ඒ මහතා තමා නියෝජනය කරන රටවල් යුරෝපා සංගමයට අයත් වුවද ඔවුන් යම්කිසි තීරණයක් ගන්නේ නම් එය සාමුහිකව ගනු ලබන බවද, ඒ නිසා ජී.එස්.පී බදු සහනය අහෝසි කිරීමේ අදහසක් මතුව නැතැයි ද කියා සිටී.

නව අදහස දක්වන්න