Rent A Car අරන් රට වටේ හොරකමේ | දිනමිණ

Rent A Car අරන් රට වටේ හොරකමේ

කුලී පදනම මත වාහන ගෙන රට වටා ගොස් මංකොල්ල කෑම්වල නිරත වූ පුද්ගලයන් දෙදෙනකු තංගල්ල සංවිධානාත්මක අපරාධ මැඩලීම් ඒකකයේ හා තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ තංගල්ල හුංගම වාඩිගල ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි හා 31 හැවිරිදි සැකකරුවන් දෙනෙකි. අත්අඩංගුවට පත් එක් සැකකරුවකු කුළියාපිටිය අධිකරණයක සේවය කරන අතරවාරයේ සිදු කළ විෂමාචාර ක්‍රියා හේතුවෙන් සේවයෙන් ඉවත් කළ අයෙකු බවයි පොලිසිය පැවසුවේය.

සැකකරුවන් දෙදෙනා හුංගම නගරයේදී සිටියදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම් වලදී මාතර ගන්දර ප්‍රදේශයේ හාඩ්වෙයාර් එකකින් හා ඇඹිලිපිටිය උඩවලව ප්‍රදේශයේ දුරකතන ඇමතුම්හලකින් සොරකම් කරන ලද භාණ්ඩ තොගයක් සැකකරුවන් සතුව තිබී සොයා ගැනීමට පොලීසිය සමත් වී තිබේ.

සැකකරුවන් සන්තකයේ තිබි සොරකම් කරන ලද විදුලි ග්‍රීල් මැෂින් කිහිපයක්, විවිධ ප්‍රමාණයේ ග්‍රීල් කටු තොගයක්, ග්‍රයින්ඩර් කිහිපයක් ,වෙල්ඩින් කූරු, වෙල්ඩින් මැෂින්,විවිධ ප්‍රමාණයේ වයර් රෝල් තොගයක්, ෆොටෝ කොපි යන්ත්‍රයක් ඇතුළු භාණ්ඩ රැසක් පොලිස් බාරයට ගෙන තිබේ.

සැකකරුවන් දෙදෙනා කුලී පදනම මත වාහන රැගෙන රට වටා ගොස් මංකොල්ලකෑමේ නිරතව ඇති බව මුලික පොලිස් පරික්ෂණ වලදී අනාවරණය වි ඇත. සැකකරුවන් දෙදෙනාට එරෙහිව පානදුර, කඩවත, අත්තනගල්ල, හලාවත , හුංගම හා අගුණුකොළපැලැස්ස අධිකරණ වලින් නිකුත් කර තිබු වරෙන්තු 07ක්ද පවතින බව පොලිසිය පැවසීය.සොරකම් හා මංකොල්ලකෑම් සම්බන්ධයෙන් සැකකරුවන්ට එරෙහිව නඩු 10ක් පැවතී ඇති අතර ඉන් නඩු 03ක් පමණක් අවසන් වි තිබේ. සැකකරුවන් දෙදෙනා කලක් තිස්සේ පොලීසියට කට්ටි පනිමින් අධිකරණ මග හරිමින් විවිධ ප්‍රදේශ වලට ගොස් මංකොල්ල කෑමේ නිරත වි තිබේ.

අත්අඩංගුවට පත් සොර බඩු තොගය සමග සැකකරුවන් දෙදෙනා වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා හුංගම පොලිසියට බාරදී තිබේ. සැකකරුවන් දෙදෙනා අගුණුකොළපැලැස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබිණි.

තංගල්ල කොට්ඨාස භාර පොලිස් අධිකාරී ලක්සිරි ගීතාල් මහතාගේ උපදෙස් පරිදි තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක දයානන්ද, තංගල්ල කොට්ඨාස සංවිධානාත්මක අපරාධ මැඩලීම් ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක කුමාර දඩල්ලගේ, පොලිස් සැරයන් මුණසිංහ (10581) පොලිස් කොස්තාපල් වරුන් වන චමින්ද (68435), දේශාන් (68664), සමන්ත (45014), රසික (45480), චමින්ද (40694), නාමල්(35599) හා දුමින්ද (80530) යන නිලධාරීන් එක්ව වැටලීම සිදු කර සැකකරුවන් සමග හොර බඩු තොගය අත්අඩංගුවට ගෙන තිබේ.

සුරියවැව විශේෂ නුවන් ජයසේකර


නව අදහස දක්වන්න

Or log in with...