බෝල්ට්ගේ කඩුලු ත්‍රිත්වයෙන් නවසීලන්තයට ජය | දිනමිණ

බෝල්ට්ගේ කඩුලු ත්‍රිත්වයෙන් නවසීලන්තයට ජය

වමත් වේග පන්දු යවන ක්‍රීඩක ට්‍රෙන්ට් බෝල්ට්ගේ මංගල කඩුලු ත්‍රිත්වය හේතුවෙන් පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම සමග අබුඩාබිහිදී පැවැති පළමු එක්දින තරගයෙන් ලකුණු 47ක ජයක් අත්කර ගැනීමට සංචාරක නවසීලන්ත කණ්ඩායම සමත් විය.

මේ ජය සමගින් තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට නවසීලන්තයට හැකිවිය.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය කඩුලු 9ක් දැවී ලකුණු 266ක් රැස්කළ අතර එම ඉලක්කය හඹාගිය පාකිස්තානයට ඕවර 47.2කදී සියල්ලන් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 219ක් පමණි.

පාකිස්තාන පිළිතුරු ඉනිමේදී නායක සර්ෆ්‍රාස් අහමඩ් ලකුණු 64ක් සහ ඉමාඩ් වසීම් ලකුණු 50ක් රැස්කළද කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි වූහ.මුළු ලකුණු සංඛ්‍යාව 8ක් වෙද්දී තෙවැනි ඕවරය යැවු බෝල්ට් එහි දෙවැනි පන්දුවෙන් ෆකාර් සමාන්ගේ කඩුල්ල බිඳ දැමූ අතර බාබර් අසාම්, රොස් ටේලර් උඩ පන්දුවක් රැක ගැනීමෙන්ද, මොහොමඩ් හෆීස් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමින්ද පිට පිට පන්දු දෙකකින් දැවී ගියේ බෝල්ට් ට මංගල කඩුලු ත්‍රිත්වය හිමිකර දෙමිනි.නවසීලන්තය වෙනුවෙන් එක්දින පිටියේ කඩුලු ත්‍රිත්වයක් දවාගත් තෙවැනි පන්දු යවන්නා ලෙස බෝල්ට් වාර්තා පොතට එක්විය. මින් පෙර ඩැනී මොරිසන් සහ ෂේන් බොන්ඩ් නවසීලන්තය වෙනුවෙන් කඩුලු ත්‍රිත්වය බැගින් ලබාගෙන තිබිණි.

සර්ෆ්‍රාස් පන්දු 69කදී හතරේ පහර 7ක් ඉනිමට එක්කරගත් අතර වසීම් පන්දු 72කදි හයේ පහර 2ක් එල්ල කර තිබිණි.

පන්දු යැවීමේදී ලොකී ෆර්ගියුසන් කඩුලු 3ක් සහ කොලින් ඩි’ග්‍රෑන්ඩ්හෝම් කඩුලු 2ක්ද දවා ගත්හ.

පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය වෙනුවෙන් රොස් ටේලර් පන්දු 112කදී ලකුණු 80ක් රැස්කළ අතර ටොම් ලේතම් පන්දු 64කින් වේගවත් ලකුණු 68ක් ඉනිමට එක් කළේය. දෙදෙනාම හතරේ පහර 5 බැගින් ඉනිමට එක්කර ගත්හ.

ඔවුන් දෙදෙනා සිවුවැනි කඩුල්ලට ගොඩනැගූ සබඳතාව ලකුණු 130කි.

පන්දු යැවීමේදී ශඩාබ් ඛාන් සහ ශහීන් අෆ්රිඩි කඩුලු 4 බැගින් බිඳ දැමූහ.

දෙපිල අතර දෙවැනි එක්දින තරගය 11 වැනිදා පැවැත්වෙයි.

 

නව අදහස දක්වන්න