රංගනගේ දඟ වැඩ ගාල්ලෙන් අවසන් | දිනමිණ

රංගනගේ දඟ වැඩ ගාල්ලෙන් අවසන්

ෆවුස් මොහොමඩ්

ආරම්භක පිතිකරු කීටන් ජෙනිංග්ස්ගේ විශිෂ්ට ශතකය මතින් සිය දෙවැනි ඉනිම ගොඩ නැගූ සංචාරක එංගලන්ත පිල ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වූ ඊයේ ඕවර 7ක් යැවීමට ඉතිරිව තිබියදී කඩුලු 6කට ලකුණු 322ක් ලබා සිය ඉනිම අත්හිටවූයේ ලකුණු 462ක දැවැන්ත ඉලක්කයක් ශ්‍රී ලංකාව හමුවේ තබමිනි. එය ගාලු ක්‍රීඩාංගණයේ දී සිවුවැනි වරට පන්දුවට පහරදෙන කණ්ඩායමට ලැබුණු විශාලතම ඉලක්කය ද වේ.

එය ශ්‍රී ලංකා ටෙස්ට් ඉතිහාසයේ හඹා යාමට ලැබුණු තුන්වැනි වැඩිම ලකුණු සංඛ්‍යාව වන අතර මීට පෙර 2007 හොබාර්ට් නුවරදී ඔස්ට්‍රේලියානුවන් ලකුණු 507ක ඉලක්කයක් ද, 2009 එස්.එස්.සී.පිටියේදී පාකිස්තානුවන් ලකුණු 492ක ඉලක්කයක් ලබා දී තිබිණි. ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැති තරගයෙන් ශ්‍රී ලංකාව පරාජයට පත්වූ අතර පාකිස්තානුවන් සමග පැවැති තරගය ජයපරාජයෙන් තොරව බේරා ගැනීමට සමත්විය.

ඊයේ දිනය නිමාවනවිට ශ්‍රී ලංකා පිල කිසිවකු නොදැවී ලකුණු 15ක් ලබා සිටි‍ අතර ජයග්‍රහණය සඳහා ඉතිරි දින 2දී තවත් ලකුණු 447ක් ලබා ගත යුතුව තිබේ.

පෙරේදා තරගයේ දෙවැනි දිනය නිමාවනවිට ලකුණු 26ක් ලබා සිටි ජෙනිංග්ස් ඊයේ පස්වරු තේ පානයෙන් පසුව සිය දෙවැනි ටෙස්ට් ශතකය වාර්තා කළ අතර එංගලන්ත දෙවැනි ඉනිම අත්හිටුවන විට නොදැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 146කි.ජෙනිංග්ස් ශතකය කරා ගියේ දිවා ආහාරයට ඕවරයකට පෙර ලකුණු 58ක් ලබා සිටියදී ධනංජය ද සිල්වාගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවූ බවට කළ ඉල්ලීම පිටියේ විනිසුරු ඉවත දමද්දී විනිසුරු තීරණ යළි විමසීමේ ක්‍රමවේදයෙන් ඔහු දවාලීමට තිබූ කදිම අවස්ථාව වැඩබලන නායක සුරංග ලක්මාල් අතහැර දැමීමෙන් පසුවය.

ජෙනිංග්ස් සමග එක්ව එංගලන්ත දෙවැනි ඉනිම ලකුණු 258 දක්වා ඇදගෙන ගිය ජොස් බට්ලර් පස්වැනි කඩුල්ලට ගොඩනැගූ සම්බන්ධතාව ලකුණු 77කි. කෞෂාල් සිල්වා රැකගත් උඩපන්දුවකින් බට්ලර් දැවී ගියේ රංගන හේරත්ට ඔහුගේ 433වැනි ටෙස්ට් කඩුල්ල ලෙසටය. ඒ අනුව ‍රංගන හේරත් වැඩිම ටෙස්ට් කඩුලුලාභින්ගේ ලැයිස්තුවේ අටවැනි තැනට පත්වූ අතර කඩුලු 434ක් දවාලූ කපිල්දේව්ගේ වාර්තාව සමකිරීමට එක් කඩුල්ලක් අඩුවෙන් සිටියේය. එංගලන්ත දෙවැනි ඉනිම ඊයේ නිමාවට පත්වීමෙන් පසුව මේ විශිෂ්ට වමත් දඟපන්දු යවන්නාගේ ‍ජාත්‍යන්තර පිටියේ පන්දු යැවීමත් අවසන් වූ අතර ඔහු ක්‍රීඩා පිටියෙන් නික්ම ගියේ නරඹන්නන්ගේ ගෞරවාචාරය මැදය.

ඊයේ පස්වරු තේ පානය සඳහා තරගය නතර කරද්දී එංගලන්ත පිල කඩුලු 4ක් දැවී ලකුණු 212ක් ලබා සිටියේය. සිය ශතකයට ලකුණු 2ක් අඩුවී සිටියදී තේ පානයට ගිය ජෙනිංග්ස් සිය ශතකය වාර්තා කළේ තේ පානයෙන් පසුව යවන ලද තුන්වැනි ඕවරයේදීය. ධනංජය ද සිල්වා යැවූ එම ඕවරයේ දෙවැනි පන්දුව ස්ක්වෙයාර් ලෙග් කලාපයට තල්ලු කරමින් සිය ටෙස්ට් තරග දිවියේ දෙවැනි ශතකය සම්පූර්ණ කළේ මිනිත්තු 291ක් කඩුල්ලේ රැඳී සිටිමිනි. ඒ වනවිට එංගලන්තය කඩුලු 4ක් දැවී ලකුණු 224ක් ලබා සිටි අතර ශ්‍රී ලංකා පිලට වඩා ලකුණු 363ක් ඉදිරියෙන් පසුවිය.

ඊයේ උදෑසන රොරී බර්න්ස් දුවද්දී දවාලීමට හසුකරගැනීමට දිමුත් කරුණාරත්න සමත්වීමෙන් එංගලන්ත පිලේ පළමු කඩුල්ලේ සම්බන්ධතාව ලකුණු 60 දී බිඳ දැමූ ශ්‍රී ලංකා කණ්ඩායම අනතුරුව ඉනිමට තවත් ලකුණු 14ක් එක්වෙද්දී මුයින් අලි සහ නායක ජෝ රූට් දවාලමින් ප්‍රතිවාදීන්ට තරමක පීඩනයක් දැමීමට සමත්විය.

එංගලන්ත පිලේ පළමු ඉනිමේදි මුහුණු දුන් පළමු පන්දුවෙන්ම ලකුණු නොලබා දැවී ගිය මුයින් අලිට ඊයේ රැස් කිරීමට හැකිවුයේ ලකුණු 3ක් පමණි. පළමු ඉනිමේදී ලකුණු 35ක් ලැබූ නායක ජෝ රූට් මේ තරගයේ දෙවැනි වරටත් රංගන හේරත් හමුවේ දණ නැමුවේය. රූට් ලකුණු 3කට ආපසු ක්‍රීඩාගාරයට හැරී යද්දී එංගලන්ත පිලේ මුළු ලකුණු සංඛ්‍යාව 74කි.

පළමු ඉනිමේදී අර්ධ ශතකයට ලකුණු 4ක් අඩුවී සිටියදී දැවී ගිය ආරම්භක පිතිකරු කීටන් ජෙනිංග්ස් සමග එක්වූ තුන්ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටෝක්ස් දිවා ආහාරයට තරගය නතරකරන විට එංගලන්ත පිලේ දෙවැනි ඉනිම ලකුණු 111 දක්වා ඉහළට ඔසවා තැබුවේය.

බෙන් ස්ටෝක්ස් ලකුණු 62ක් රැස් කළේ ආක්‍රමණශීලී පිතිහරඹයක නිරතවෙමිනි. අකිල ධනංජය යැවූ පිට පිට ඕවර දෙකකදී දැවැන්ත හයේ පහර දෙකක් එල්ල කරමින් ලකුණු ලබාගැනීම වේගවත් කළ ස්ටෝක්ස්, ඩිල්රුවන් පෙරේරාගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් දැවීගියේ සිවුවැනි කඩුල්ලට ලකුණු 107ක සම්බන්ධතාවක් ගොඩනැගීමෙන් පසුවය. පන්දු 93කට මුහුණදුන් ස්ටෝක්ස්ගේ ඉනිමට හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් ඇතුළත් විය.

එංගලන්ත පළමු ඉනිමේදි පාදයේ ආබාධයකට ලක්වූ ශ්‍රී ලංකා පිලේ නායක දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේදි අංක 6 පිතිකරු ලෙස පිටියට පැමිණ අගනා ලකුණු 33ක්රැස් කිරීමට සමත්වූවත් ඊයේ දිනය පුරා පන්දු රැකීමට පිටියට පැමිණියේ නැත. ඔහු වෙනුවට සුරංග ලක්මාල් නායකත්වයේ වැඩ බැලූ අතර පන්දු රැකීම සඳහා අතිරේක ක්‍රීඩක රොෂේන් සිල්වා යොදවා තිබිණි. චන්දිමාල්ගේ ආබාධ තත්ත්වය පිළිබඳ සැක හැර දැන ගැනීමට ඊයේ ඔහු ස්කෑන් පරීක්ෂණයකට මුහුණ දීමට නියමිතව තිබිණි. ටෙස්ට් තරගමාලාවේ ඉතිරි තරග සඳහා ඔහුගේ සහභාගිත්වය එම පරීක්ෂණයේ ප්‍රතිළුල අනුව තීරණය කෙරෙනු ඇත. එසේ වුවත් මේ තරගයේ ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේදී චන්දිමාල් පසුපෙළ පිතිකරුවකු ලෙස පන්දුවට පහරදෙනු ඇතැයි පෙරේදා තරගයෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා පිලේ පිතිකරුවන්ගේ පුහුණුකරු තිලාන් සමරවීර කියා සිටියේය.

අද තරගයේ සිවුවැනි දිනයයි.

නව අදහස දක්වන්න