ඔලිම්පික් ගිය සල්ලිකාරයෝ... | දිනමිණ

ඔලිම්පික් ගිය සල්ලිකාරයෝ...

ප්‍රින්ස් ගුණසේකර

ඔලිම්පික් ක්‍රීඩා උළෙල ලොව රටවල් 200කින් පමණ අති දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගීවන ප්‍රමුඛතම ක්‍රීඩා උළෙල බවට විවාදයක් නොමැත. වසර හතර‍කට වරක් පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ජයග්‍රාහකයන්ට ඉහළම සම්මාන පිරිනැමෙන අතර එම ජයග්‍රහණවලින් පසුව එම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට විශාල වටිනාකමක් නිර්මාණය වේ. ක්‍රීඩක ක්‍රීඩිකාවන් අයත් රටවලින් මූල්‍ය ප්‍රදානයන් හිමි වෙද්දී ඒවාට අමතරව වෙළෙඳ ප්‍රචාරක සන්නාම තුළින් කෝටි ගණන් මුදල් ඉපැයීමේ වාසනාව ඔලිම්පික් ජයග්‍රාහකයන්ට හිමි වේ.

ඔලිම්පික් සුපිරි තරු ලෙස ජනප්‍රියත්වයට පත්වූ මයිකල් පෙල්ප්ස් (පදක්කම් 28ක්), උසේන් බෝල්ට් (පදක්කම් 8ක්) ඔලිම්පික් ශූරයින් වෙද්දී අමෙරිකානු ඩොලර් මිලියන ගණනින් මුදල් උපයා ගත්හ. ජැමෙයිකානු ධාවන ශූර බෝල්ට් ඔලිම්පික් තරග බිමෙන් සමුගනිද්දී වසරකට අමෙරිකානු ඩොලර් මිලියන 100ක් ඉක්මවා අනුග්‍රාහක මුදල් ඉපැයීමට සමත් වූවේය. සුපිරි පිහිනුම් ශූර පෙල්ප්ස් අනුග්‍රාහකයන්ගෙන් පමණක් වසරකට අමෙරිකානු ඩොලර් මිලියන 55ක් පමණ ඇස්තමේන්තුගත කොට තිබිණි.

මෙවැනි ශුද්ධ වටිනාකම් වසර 4කට වරක් බිහිවන ඔලිම්පික් ශූරයන්ට ලැබෙන අතර මේ හේතුවෙන් කලින් කලට ලොව ධනවත්ම ඔලිම්පික් ක්‍රීඩකයන් කවුද? ඔවුන් සතු මූල්‍ය වත්කම් කවරේද? යන්න සොයා බැලෙනු ඇත.

රොජර් ෆෙඩර්

රොජර් ෆෙඩර් වඩාත් සාර්ථකම ඔලිම්පික් ටෙනිස් ශූරයා ලෙස ඉතිහාසගත වෙමින් ඔලිම්පික් ක්‍රීඩා උළෙල 4කට සහභාගීවී සිටී. 2008 බීජිං ඔලිම්පික් උළෙලේදී රන් පදක්කමක් හා 2012 ලන්ඩන් ඔලිම්පික් උළෙලේදී ලෝකඩ පදක්කමක් දිනාගත් හෙතෙම වෘත්තීය ටෙනිස් ක්‍රීඩාවේ ත්‍යාග මුදල් ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 100ක් ද, අනුග්‍රාහකයන්ගෙන් අමෙරිකානු ඩොලර් මිලියන 60ක් හිමිකරගෙන ඇතැයි ෆෝබ්ස් සඟරාව පවසයි. ඔහුගේ ශුද්ධ ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 400ක් බවට ගණන් බලා ඇත.

ලීබෝන් ජේම්ස්

වසර 2004දී ඔහුගේ මුල්ම ඔලිම්පික් උළෙල නියෝජනය කරමින් අමෙරිකාවට ලෝකඩ පදක්කම දිනාදීමට සමත්වී ‘බාස්කට් බෝල් රජු’ ලෙස හැදින්වුණි. අනතුරුව පැවැති ඔලිම්පික් උළෙල දෙකකදී අමෙරිකාවට රන් පදක්කම් දිනා දීමට පුරෝගාමීවූ ලීබෝන් වසර 2016දී අනුග්‍රාහක ආයතනයක් සමග අමෙරිකානු ඩොලර් මිලියන 100ක කොන්ත්‍රාත්තුවකට අස්සන් කළේය. පසුගිය වසරේදී තවත් අනුග්‍රාහක ආයතන තුනක් සමග එක්වූ ඔහු අමෙරිකානු ඩොලර් මිලියන 86ක්ද ඇතුලුව අමෙරිකානු ඩොලර් මිලියන 400ක වත්කමකට හිමිකම් කියයි.

ෂකූල් ඕ’ නේල්

සිව්වතාවක් NBA බාස්කට් බෝල් ශූරයා බවට පත්වූ ඔහු 1996දී ඇට්ලන්ටා ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ගිය අමෙරිකානු බාස්කට් බෝල් පිලේ සාමාජිකයෙකි. ලොව වැඩිම ගෙවීමක් ලබන විශ්‍රාමික ක්‍රීඩකයා ලෙසට වාර්තාවී සිටින ඔහු අනුග්‍රාහකයන්ගෙන් හා ව්‍යාපාරික ගනුදෙනුවලින් අමෙරිකානු ඩොලර් මිලියන 400ක් පමණ උපයා ගෙන තිබේ.

ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ

පෘතුගාලය නියෝජනය කරමින් 2004දී මුල්වරට ඔලිම්පික් ක්‍රීඩා උළෙල නියෝජනය කළ ඔහු එවිට 19 වියෙහි පසුවිය. ඒ වෙද්දී ලොව වෘත්තීය පාපන්දු ක්‍රීඩකයන් අතර ළාබාලතමයා ලෙස රොනල්ඩෝ ඉතිහාසයට එක්ව සිටියේය. මැන්චෙස්ටර් යුනයිටඩ් හා රියල් මැඩ්රිඩ් යන ප්‍රබලතම කණ්ඩායම් නියෝජනය කළ රොනල්ඩෝ ලොව වැඩිම ගෙවීමකට හිමිකම් කියන සුපිරි පාපන්දු තරු අතර මිල්න් ඇති නමකි. ඔහු ද අමෙරිකානු ඩොලර් මිලියන 400ක වත්නමක් හිමි සාමාජිකයින් අතර සිටී.

ෆොලොයිඩ් මේයිවේදර්

බොක්සිං වලල්ලේ සුපිරි තරුවක් බවට පත්ව සිටින මේයිවේදර් පසුගිය ගිම්හානයේදී Ultimate Fighting Championship (UFC) ශූර කෝනර් මැක්රොජර් සමග පැවැති තරගයේදී පමණක් අමෙරිකානු ඩොලර් මිලියන 200ක් උපයාගත් බව වාර්තා වේ. ඔහු 1996 ඇට්ලන්ටා ඔලිම්පික් උළෙලේදී මතභේදාත්මක විනිසුරු තීන්දුවකින් ලෝකඩ පදක්කම දිනා ගත්තේය. එහෙත් ඔහු රන් පදක්කම හිමිව තිබූ බව විචාරක මතයවී තිබිණි. බොක්සිං වලල්ලේ හා ඉන් පිටතදී පරිපූර්ණත්වට පත්වූ ඔහුගේ ශුද්ධ වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 560ක් බවට ගණන් බලා ඇත.

මැජික් ජොන්සන්

අමෙරිකානු බාස්කට්බෝල් ක්‍රීඩාවේ සංකේතයක් ලෙස හැදින්වෙන මැජික් ජොන්සන් 1992 බාසිලෝනා ඔලිම්පික් උළෙල නියෝජනය කළ සුපිරි තරුවකි. ඔහු අමෙරිකානු බාස්කට් බෝල් පිලේ සම නායකත්වයට පත්වූ අතර එහිදී රන් පදක්කම දිනා ගැනීමට සමත් විය. පස් වතාවක් NBA ශූරයා ලෙස සම්මානයට පාත්‍රවූ හෙතෙමෙ ලොස් ඇන්ජලීස් බාස්කට් බෝල් සමාජයේ ප්‍රබල සාමාජිකයෙකි. ඔහුගේ මූල්‍ය වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 600ක් බව පැවැසේ.

අදහස් 1ක් ඇත

රොජර් ෆෙඩෙරර්, ලැබ්‍රෝන් ජේම්ස්, ෂකීල් ඕ'නීල්, කෝනර් මැක්ග්‍රෙගර්

නව අදහස දක්වන්න